ශ්‍රී දේවී මියගිය ආකාරය අභිරහසක්

මත්වී දියේ ගිලී සිදුවූ මරණයක්
-මරණ පරීක්ෂණ වාර්තාව
පසුගිය සෙනසුරාදා ඩුබායිහිදී මියගිය ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවී මැරුණ ආකාරය සම්බන්ධයෙන් ලැබී තිබෙන අලුත්ම ආරංචි අනුව සැක මුසු කාරණා ගණනාවක් සමග එය දැන් අභිරහසක් බවට පත්ව තිබේ.
ශ්‍රී දේවී ඩුබායිහි ඥාතී විවාහ උත්සවයකදී හෘදයාබාධයකින් මියගිය බව මුලින් වාර්තා පළවුවත් සැබැවින්ම ඇගේ මරණය සිදුව ඇත්තේ මංගල උත්සවයෙන් දින 3 කට පසු ඇය නැවතී සිටි හෝටලයේ නාන කාමරයකදී බව අනාවරණය වී තිබේ.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
ඇයත් ඇගේ බාල දියණිය කුෂීත් සැමියා බොනීත් පසුගිය සතියේ ඩුබායි වෙත පැමිණ තිබෙන්නේ ශ්‍රී දේවිට ඥාතීත්වයෙන් බෑනා වන මෝහිත් මර්වාගේ විවාහ මංගල්‍යය වෙනුවෙනි. ඩුබායි හෝටලයක එය පවත්වා ඇත්තේ පසුගිය බදාදා (21) වන අතර එය අවසන් වූ පසු බොනී දියණිය කුෂී සමග හිතවතෙකුගේ උපන්දින සාදයකට යාමට අවශ්‍ය නිසා නැවත ඉන්දියාවට ගොස් තිබෙන අතර ශ්‍රී දේවී දින කිහිපයක් Jumeirah Emirates Towers සුපිරි හෝටලයේ තනිව නවාතැන්ගෙන තිබේ.
ඇය එසේ නතරවීමට හේතුවී ඇත්තේ ඇය නිර්මාණය කළ සිතුවම් අලෙවි කරන වෙන්දේසියක් ඉදිරි දිනවල ඩුබායිහි පැවැත්වෙන නිසා එයට සහභාගීවීමටය.
මේ අතර බොනීට සිය බිරිය පුදුම කරවීමට අවශ්‍යවී ඇයට නොකියාම නැවත ඩුබායි බලා පැමිණ සෙනසුරාදා ඇය සිටි හෝටලය වෙත පැමිණ තිබේ. ඇය ඇත්තටම ඔහු දැක පුදුමවී තිබෙන අතර එම අවස්ථාවේ ඇය සමග ඔහු කථාබස් කර රාත්‍රී කෑම වේල Restaurant Zuma වෙත ගොස් පිටතින් ගමු යයි යෝජනාවක්ද කර තිබෙයි.

ඒ සඳහා සූදානම් වීමට ශ්‍රී දේවී හෝටල් කාමරයේ නාන කාමරය වෙත ගොස් ඇති නමුත් බොනී ඇය එනතුරු මිනිත්තු 15 කටත් වැඩි කාලයක් බලා සිටියත් ඇය නාන කාමරයෙන් පිටතට නොඒම ගැටලුකාරී වී තිබේ.
දොරට ගැසූවත් ඇගෙන් ප්‍රතිචාර නොවුණ නිසා ඔහු කලබලවී ඇති අතර පසුව දොර කඩා ඇතුළුවී තිබේ.
එම අවස්ථාවේ ඇය නාන බේසමේ ගිලී සිටි බව බොනී කපූර් සාක්ෂි සපයා ඇත. රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් තිබෙන බව ඩුබායිහි රෂිඩ් රෝහල පසුව දැනුම් දෙන ලදි.

ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත්වූයේ සඳුදා(26) සවසයි. ඩුබායි නිවාරක වෛද්‍ය අධ්‍යක්ෂ සහතිකයෙන් කියැවුනේ ඇගේ මරණයට හේතුව ‘අහඹු දියේ ගිලීමක්‘ බවයි.

ඉන්දියාවේ Asian News International (ANI)මාධ්‍ය වාර්තාවකින් කියැවෙන්නේ අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව ඇගේ සිරුරේ ඇල්කොහොල් තිබී හමුවූ බවත් ඇය මත්වී සිරුරේ සමබරතාව පාලනය කළ නොහැකිව නාන බේසමේ ගිලෙන්නට ඇති බව සැක කරන බවයි. මෙම සිදුවීමට අදාළ සැකසහිත කාරණා පවතින නිසා ඩුබායි බලධාරීන් මේ සම්බන්ධ නීතිමය කාරණා වැඩිදුර විමර්ශනය කරනු ඇැතැයි Govt of Dubai Media Office වාර්තා කර ඇති බවයි.
ශ්‍රී දේවිගේ ඥාතී සිනමා නළු අනිල් කපූර් Dubai’s Khaleej Times වෙත අදහස් පළකරමින් දන්වා සිටියේ ‘අපි මේ ගැන සම්පූර්ණයෙන් කම්පනයට පත් වුණා. ඇයට හෝ පවුලේ අයට හෘදයාබාධ රෝග ඉතිහාසයක් නෑ‘ යනුවෙනි.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණ කටයුතු නිසා සඳුදා ඉන්දියාවට ගෙන එන්නට තිබුණ ශ්‍රී දේවිගේ දේහය ගෙන ඒම අඟහරුවාදා දක්වා පමා කෙරිණි.
ඉන්දියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අනිල් අම්භානි ශ්‍රී දේවිගේ දේහය මව් රටට ගෙන ඒම සඳහා විශේෂ පුද්ගලික ජෙට් යානයක් නොමිලයේ ධාවනයේ යොදවන්නට ඉදිරිපත්ව සිටින බවටද මාධ්‍ය වාර්තා පළවිය.

මේ සිදුවීම නිසා බොලිවුඩයම කැළඹීමට පත්ව ඇති අතර මේ වනවිට සියලු සිනමා රූගත කිරීම් කටයුතුද අත්හිටුවා ඇතැයි ඉන්දීය වාර්තා සඳහන් කරයි.
ශ්‍රී දේවිගේ හදිසි මරණය අභිරහසක් බවට පත්වීමත් සමග විවිධ තහවුරු නොකළ කටකතාද සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට පටන්ගෙන ඇත.‘බොනී ඇයව ඝාතනය කරා‘ යන්න එක් කථාවකි. ‘ඇයට කිසිවෙකු විස පානයක් ලබාදී ඇත‘ තවත් කථාවකි.
මේ අතර තවත් ගල්ෆ් පුවත්පතක් මගින් තහවුරු නොකළ ආරංචියක් ලෙස හෙළි කරඇත්තේ ඇය නාන කාමරයේ මියගොස් සිටි වේලාවෙ බොනී කපූර් පැමිණ නොසිටි බවයි. ඇයගෙන් ප්‍රතිචාර නැති නිසා හෝටල් බලධාරීන් දොරවල් කඩා බලද්දී ඇයගේ සිරුර හමුවූ බවකි.
සිදුවීම පිළිබඳ ඉදිරි පරීක්ෂණ අනුව තවත් දේ ඉදිරියට හෙළිවනු ඇත.

Gossip Lanka Hot News Previous News Archive