ඇමැති ‍ලේකම් ගොඩින් බේරාගන්නට හැදූ දියවන්නාවට ගිය රථයේ කතාව

තලවතුගොඩදී පසුගිය 17 වෙනිදා උදෑසන වාහන දෙකක ගැටී දියවන්නාවට පෙරළුණු රිය අනතුර තරම් මෑතකදී කතාබහකට ලක්වූ රිය අනතුරක් රටේ නැති තරම්ය. දිනකට සිදුවන රිය අනතුරු හා සාපේක්ෂව බැලීමේදී එකී අනතුර එතරම් බිහිසුණු එකක්ද නොවීය.
අඩුම තරමින් එම අනතුරින් කිසිවෙකුටත් සීරීම් තුවාලයක්වත් සිදුවූයේ නැත. එහෙත් මෙම අනතුර ගැන මුළු රටම කතා කරන්නට ගත්තේය. ඒ වෙන කිසිවක් නිසා නොව, ෆේස් බුක් ඇතුළු සමාජ ජාලා මගින් එම අනතුර ජනපති පුත් දහම් සිරිසේන අතින් සිදුවුණු බව සමාජගත කරන්නට වූ බැවිනි. ඒ වන විට දහම් සිරිසේන රටේත් නොසිටියේය. එහෙත් ජනතාව විශ්වාස කරන්නට වූයේ ෆේස් බුක්වල ගිය කතාවය. මේ අනතුරට නැති වටිනාකමක් ආරෝපණය වන්නේ ඒත් සමගිනි.

ජනපති පුත් දහම් සිරිසේනගේ නම ඉතා පහසුවෙන් මේ අනතුරත් සමග බද්ධ වන්නේ වෙන කිසිවක් නිසා නොව, අනතුරට ලක්වන මෝටර් රථය අධිසුඛෝපභෝගී බි.එම්. ඩබ්ලිව් වර්ගයේ මිල අධිකම ස්‍පෝර්ට් මෝටර් රථයක් වූ බැවිනි. අනතුරත් සමග එය පැදවූ පුද්ගලයා පළායාමත් ෆේස් බුක් මගින් සංසරණය වූ ජනපති පුත් දහම්ගේ කතාව සනාථ කරන්නට සාධකයක් බවට පත්ව තිබුණේය.

සැබෑ ලෙසම එම අනතුර සිදුවන විට එම මෝටර් රථය පදවා තිබුණේ කැබිනට් ඇමැතිවරයකු වන කබිර් හෂීම්ගේ ඥාතියකු විසිනි. අනාවරණය වන ආකාරයට ඥාතීත්වයෙන් එම පුද්ගලයා කබිර් හෂිම්ට වන්නේ බෑණාය. කොල්ලුපිටියේ පිහිටි සුප්‍රසිද්ධ මෝටර් රථ අලෙවි ස්ථානයක් පවා අයත් වන්නේ ඔහුටය. ඒ පියාගෙන් ඔහුට උරුම වූ ව්‍යාපාරයක් ලෙසිනි. කොල්ලුපිටිය, බොරැල්ල සහ තලවතුගොඩ යන පැති තුනේම නිවාස කිහිපයක හිමිකාරයකු වන ඔහු නමින් ෆාහීම් හුසේන් මොහොමඩ්ය. හතළිස් දෙහැවිරිදි ෆාහීම් සිය බිරිඳ සමග ජීවත්වන්නේ යැයි සඳහන් වන්නේ තලවතුගොඩ පිහිටි නිවසේය.

අනතුර සිදුවන්නේ ඔහු තලවතුගොඩ නගරයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක සිට නිවස බලා යාමට සූදානම් වූ මොහොතේය. අනාවරණය වන ආකාරයට අනුව සමාජ ශාලාවට ඔහු ගොඩවන්නේද එදින අලුයම 3.00 ට පමණය. සමාජ ශාලාවේ පැය දෙක තුනක් රැඳී සිටින ඔහු ඉන් එළියට බසින්නේ උදෑසන 6.00 ට පමණය. මෝටර් රථයට ගොඩ වූ ඔහු රථයේ ඇන්ජිම ක්‍රියාත්මක කරමින් යන්නේ වේගවත් ගමනකි. ඒ පාලනයකින් තොරවය. මහමග ගමන්කරමින් තිබුණු මෝටර් රථ දෙකකම ගැටුණු රිය දියවන්නා ඔයේ කොටසකට පෙරළෙන්නේ ඒ නිසාමය.

රථය දියේ ගිළෙන විට පැති දොර විවරකර ගනිමින් පිටතට එන රියැදුරා ගොඩට පනින්නේ මෝටර් රථයේ වහලට නැගය. ඒ සැණින් ඔහු මාර්ගයේ ගමන් කරමින් තිබුණූ ත්‍රි රෝද රථයක් නතර කර එහි නැගී පළායන්නේ අඩුම තරමින් තමන්ගේ වාහනයේ ගැටුණූ සෙසු වාහන ගැන තබා තමන්ගේ වාහනයට සිදුවූයේ කුමක්දැයි වත් සොයා නොබලමිනි.

බොහෝ වේලාවකට පසුව ‍පොලිසිය එහි එන්නේ අනතුරට ලක්වුණූ සෙසු වාහන හිමියන්ගේ දැනුම් දීමට අනුවය. ඒ එක් වාහනයක් නීතීඥවරයෙකුගේය. අනෙක පුද්ගලික ආයතනයක මූල්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකුගේය. දියවන්නාවේ ගිලී තිබුණූ මෝටර් රථයේ හිමිකරු කවුරුන්දැයි ඒ වන විටත් අභිරහසක් බවට පත්ව තිබුණි. හැබැයි ඒ පැයක් හමාරක් ගතවන තුරු පමණි. දේශපාලනඥයන්ගෙන් ‍පොලිස් ලොක්කන්ට ගලා එන්නට වූ දුරකතන ඇමතුම් ගොන්නෙන්ම රථයේ හිමිකරු කවුරුන්දැයි ‍පොලිසිය වටහා ගත්තේය.ඊට අමතරව ඇමැති ‍ලේකම්වරයෙක්ද ‍පොලිස් ලොක්කන්ට ඇමතුම් දෙමින් ඉල්ලීම් කරන්නට වූයේ සුපිරි රියේ රියැදුරා ලෙස කවුරුන් හෝ ඉදිරිපත් කරමින් කතාව ගොඩින් බේරා ගැනීමට ක්‍රමයක් සකස්කර ගන්නටය.

මේ ඇක්සිඩන්ට් එක ඇහින් දැක්ක ගොඩක් අය ඉන්නව. අනික ඩ්‍රැයිවර් ක්ලබ් එකේ ඉඳන් එළියට ඇවිත් වාහනේට ගොඩවෙලා ඒක එළවනව සී.සී.ටී.වීවලත් රෙකෝඩ්වෙලා තියෙනව. ඩ්‍රයිවර්ව මාරු කරනව වෙනුවට යුනිෆෝම් එක ගලවල ගෙදර යන එක හොඳයි. අනික මේක මිනීමැරුමක් නමෛයිනේ. සාමාන්‍ය ඇක්සිඩන්ට් එකක්නේ. හරි ඩ්‍රයිවර්ට භාරවෙන්න කියන්න. එක් ‍පොලිස් ලොක්කෙකුගෙන් එහිදී ඇමැති ‍ලේකම්වරයාට පිළිතුරු ලැබෙන්නේ එසේය.

ඒ වන විටත් තලංගම ‍පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් වාහනයේ සඳහන්ව තිබුණු ගරාජ් අංකයෙන් හිමිකරු කවුරුන්දැයි සොයාගෙන තිබුණේය. හැබැයි ගරාජ් අංකයක් එහි එල්ලාගෙන තිබුණද එම රථයට ලියාපදිංචි අංකයක් පවා ඒ වන විටත් මෝටර් රථ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත්කර තිබුණේය. එම අංකය වන්නේ සී.බි.බි. 5005 ය. එකී ලියාපදිංචි අංකය පවා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් නිකුත්කර ඇත්තේ පසුගිය 15 වෙනිදාය. මෙසේ සුපිරි වාහනයක් ගරාජ් අංකයෙන් පදවමින් අනතුරකින් පසු පලායන්නේ වෙන කිසිවකු නොව ඇමැති ඥාතියාමය

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට ‍පොලිසිය මුලින්ම යන්නේ වාහනයේ ලියාපදිංචිය ඇති බොරැල්‍ලේ ඔස්ටින් පෙදෙසේ පිහිටි නිවසටය. තලවතුගොඩපිහිටි නිවසට යන්නේ බොරැල්‍ලේ නිවසේ ඔහු නොමැතිබව පසක් වීමෙන් අනතුරුවය. එහෙත් ඒවන විටත් ඔහු සිටියේ තලවතුගොඩ නිවසින් ද පලාගොස් සැඟවිලාය. අනතුරුව ‍පොලිසිය කොල්ලුපිටියේ පිහිටි ඔහුට අයත් නිවසද පරීක්ෂාකරන්නේ ඔහු එහිවත් සැඟවී සිටීදැයි සැකහැර දැන ගන්නටය.
මේ අතර කබිර් හෂිම් ඇමතිවරයා මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරන්නේ අනතුරට සම්බන්ධ වාහනයේ හිමිකරු තමන්ගේ ඥාතියෙකු බව සඳහන් කරමිනි. එම ඥාතියා සිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු නොවන බවද ඔහු ඒ නිවේදනයෙන් අවධාරණය කර තිබුණේය. කබිර් ඇමතිවරයා ඒ නිවේදනය නිකුත් කරන්නේද ෆේස් බුක් ඇතුළු සමාජ ජාල හරහා ජනපති පුත් දහම්ගේ නම හුවමාරුවෙමින් තිබියදී වීම විශේෂිතය.

සමාජයේ දැඩි කතාබහට ලක්වෙමින් තිබුණු එම මෝටර් රථය තමන්ගේ ඥාතියෙකුගේ බව කබිර් ඇමැතිවරයා ඉතා පැහැදිලිවම එම අනතුරින් පැය 34 කට පසුව නිවේදනයක් නිකුත් කරන මොහොත දක්වාම ‍පොලිසිය ඒ ගැන වචනයක් කට හොල්ලන්නට ගියේ නැත. හැබැයි ඒ වනවිටත් ෆේස් බුක් ඇතුළු සමාජ ජාල හරහා පටි කුඩුකරමින් තිබුණේ ජනපති පුත් දහම් සිරිසේනගේය.

එසේ සමාජ ජාල හරහා කබිර්ගේ ඥාතියා දහම් සිරිසේන බවට පත්වන විට ඒ ගැන තබා අනතුර ගැනවත් කෙළ බිඳක් නොහෙල්ලූ ‍පොලිස් මූලස්ථානය දින දෙකට පසු නිවේදය කරන්නේ දේශපාලන වෛරී භාවයන් සාක්ෂාත්කර ගැනීමට ජනාධිපතිවරයාගේ සම්බන්ධතාවක් තිබෙන බව සමාජ ජාල හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් පවතින බවය.

ලියාපදිංචි නොකළ එවන් සුඛෝපභෝගී මෝටර් රථයක් අපේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට පරිහරණය කරන්නට කිසිසේත්ම නොහැකිය. මෙවන් මෝටර් රථ පරිහරණය කරන්නේ නම් ඒ අපේ රටේ ප්‍රභූ පැලැන්තිය හෝ දේශපාලන බලවතුන්ගේ දරුවන්ය. අනතුරින් පැය කිහිපයක් ඉක්ම යන විට එහි හිමිකරු මෙන්ම පැදවූ පුද්ගලයා කවුරුන්දැයි ‍පොලිසිය හෙළිකරගෙන තිබියදීත් ඒ ගැන මාධ්‍යයට කරුණූ වසන් කරමින් සිටීම හේතුවෙන් ඒ ගැන ඇතිවන්නේ කුකුසකි. සමාජ ජාල මගින් සිදුවී ඇත්තේ කුකුසකින් සිටි ජනතාවට හරි හෝ වැරදි තොරතුරු ලබාදෙමින් ඔවුන්ගේ තොරතුරු පිපාසය සංසිඳුවීමකි. ‍පොලිසිය ඊට පෙර ඉක්මන් වූයේ නම් ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන සම්බන්ධයෙන් වැරදි තොරතුරු එසේ සමාජ ගතවන්නේ නැත.

‍පොලිස් මූලස්ථානය සිය නිල ප්‍රකාශය පවා එසේ නිකුත් කරන්නේ ඇමැති කබිර් හෂීම්ගේ ඥාතියා නීතීඥ සහාය ඇතිව ‍පොලිසියට භාරවීමෙන් අනතුරුවය. පසුගිය 19 වෙනිදා ‍පොලිසියට භාර වන ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන්නේ 20 වෙනිදාය. එහිදී ඔහුට එරෙහිව ‍පොලිසිය එල්ල කරන්නේ රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරික්ෂාකාරීව රිය පැදවීම, අනතුරක් වාර්තා නොකර පළායාම සහ වෙළෙද අංකයකින් වාහනයක් ධාවනය කිරීම වැනි චෝදනා කිහිපයක් පමණි. මේ චෝදනා හැරුණු කොට ඔහුට එරෙහිව වෙනත් කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට ‍පොලිසියට නැති තරම්ය. ඔහු එදා පළා නොගියේ නම් ඔහුට එල්ලවන්නේ චෝදනා එකක් හෝ දෙකක් පමණි. එවිට ඔහුට රුපියල් 10000 කට අඩු දඩ මුදලකින් සියල්ල ගොඩ දාගැනීමට හැකියාව තිබුණේය. ඒ ගැන ඔහුද නොදන්නාවා විය නොහැකිය. ‍පොලිසිය සැක කරන්නේ ඔහු ඒ මොහොතේ බිමත්ව සිට ඇති බැවින් එසේ පළායන්නට ඇති බවය.

‍පොලිසියට භාරවූ ඇමැති ඥාතියා නම් පවසා ඇත්තේ ඒ මොහොතේ තමන් බිමතින් නොසිටි බවය. රාත්‍රි සමාජ ශාලාවකට අලුයම් කාලයේ රිංගා සිටියේ මත්පැන් තොලගෑමට නොවේ නම් මොන බම්බුවකටදැයි අමුතුවෙන් කියන්නට ‍පොලිසියට වුවමනාවක් නොවීය. ඒ බව සනාථ කිරීමට තරම් සාක්ෂි සමාජ ශාලාවේම ඇති ආරක්ෂක කැමරාවල නැතුවාම නොවේ. එහෙත් ඔහු ‍පොලිසියට භාරවන්නේ දින දෙකකට පසු බැවින් බිමත්ව සිටියේ යැයි අධිකරණයට කියන්නට තරම් විද්‍යාත්මක සාක්ෂියක් ‍පොලිසිය සතුව නොවීය. බිමතින් රිය පැදවීමේ චෝදනාව එල්ල කරන්නට නොහැකිවන්නේ එබැවිණි. ඒ අනුව ඔහුව කඩුවෙල අධීකරණයට ඉදිරිපත් කරන්නේ සෙසු චෝදනා තුන පමණක් ගොනු කරමිනි. ඔවුන් සිතන්නේ ශරීර ඇපයක් හෝ දඩයක් මත නිදහස හිමිවෙතැයි කියාය. එහෙත් සිදුවන්නේ විනිසුරුවරයා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමය. ඒ ලබන 27 වෙනිදා දක්වාය.

ගයාන් කුමාර වීරසිංහ


Gossip Lanka Hot News Previous News Archive