භූමිතෙල් පෝලිමක පැය 5ක් රැඳී සිටි පුද්ගලයෙක් නිවසේදී මිය ගිහින්


භූමිතෙල් මිල දී ගැනීම සඳහා හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසල පැය 5කට අධික කාලයක් පෝලිමේ රැඳී සිටි ව්‍යාපාරිකයෙකු අද (අප්‍රේල් 27) දින අලුයම ඔහු පදිංචි නිවසේදී මියගොස් ඇති බව හැටන් පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන්, දුඹුරුගිරිය පාරේ පදිංචි 55 හැවිරිදි දෙදරු පියෙකි.

මිය ගිය ව්‍යාපාරිකයා හැටන් නගරයේ පැති වීදියේ කුලී පදනම මත ලබාගත් වෙළෙඳසලක නිමි ඇඳුම් ව්‍යාපාරයක් සිදුකර ගෙන ගොස් තිබේ.

ඊයේ (අප්‍රේල් 26) දින රාත්‍රී 7.00ට පමණ නිවසට අවශ්‍ය භුමිතෙල් ලබා ගැනීමට ඉන්ධන පිරවුම්හලේ පෝලිමට ගිය සැමියා අද අලුයම 12.30ට පමණ නිවසට පැමිණ තමන්ට දැඩි තෙහෙට්ටුවක් දැනෙන බව පැවසූ බව ත්, පසුව රාත්‍රී ආහාර ලබා ගන්නා අවස්ථාවේ ඔහුට වමනය ගිය බව ත් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ පැවසුවා ය.

ඇය සඳහන් කළේ, ඉන් අනතුරු තම සැමියා එකවර ම මිය ගිය බව ය.

තම සැමියාට මිට ප්‍රථම කිසිදු රෝගී තත්ත්වයක් නොතිබුණු බව ත්, භුමිතෙල් ලබා ගැනීමට පැය ගණනක් පෝලිමේ රැඳී සිටි නිසා දැඩි වෙහෙසට පත් තම සැමියා අකාලයේ මිය ගිය බව ත් ඇය පැවසුවා ය.

මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව හැටන් පොලිසිය පැවසීය.

සති ගණනාවකට පසු හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඊයේ පස්වරු 4.00ට පමණ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලද භුමිතෙල් ලීටර් 6600ක් මිල දී ගැනීමට පාරිභෝගිකයින් දෙදහසකට වැඩි පිරිසක් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ දිගු පෝලිම්වල රැඳී සිටි අතර එම පාරිභෝගිකයන්ට රු. 500ක භුමිතෙල් නිකුත් කිරීම අද දින අලුයම 3.00 පමණ වන තෙක් සිදු කළ බව ඉන්ධන පිරවුම්හලේ සේවකයෙක් කියා සිටියේ ය.

රංජිත් රාජපක්ෂ –හැටන්

Gossip Lanka Hot News Previous News Archive