මැයි මාසය මැද වෙන විට ආහාර හිඟයක්


මේ වෙන විට අපේ රට දැඩි ආහාර හිඟයකට මුහුණ දී ඇත. ඊට නිසි පිළියමක් මෙතෙක් සොයා දීමට බලධාරීන් ක්‍රියා කර නැත. ඊට හේතු ලෙස ඔවුන් පෙන්වන්නේ පවතින ආහාර හිඟයට පිළියම් යෙදීමට ඩොලර් නොමැතිකමය. මේ නිසා ජනතාවට සල්ලි දීලා ගන්න කෑම බීම අද වෙළෙඳපොළේ නැත. 
 
විදේශයෙන් ගෙන්වූ ආහාර නැව් මුහුදේ නැංගුරම් දා තිබුණ ද ඒවා නිදහස් කර ගැනීමට ඩොලර් නැති නිසා මේ වෙන විට අත්‍යවශ්‍ය ආහාර බොහොමයක් වෙළෙඳපොළේ දක්නට නැත. මේ නිසා ජනතාවට ජීවත්වීමට සිදුව ඇත්තේ ගැටලු‍ රැසක් මැද ය.
සුදු ලූනූ, ලොකු ලූනූ, මුං ඇට, කව්පි, කඩල, පරිප්පු, පොල් තෙල්, කිරිපිටි, කරවල, මාළු, මස් වර්ග, බඩ ඉරිඟු, තිරිගු පිටි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර මේ වෙන විට හිඟයක් පවතියි. 
 
පවතින ඩොලර් අර්බුදය හමුවේ මෙම භාණ්ඩ ආනයනය කළ ද දිනෙන් දින මිල ඉහළ යාමක් දක්නට පුළුවන. මේ වෙන විට මුං ඇට කිලෝවක් රුපියල් දහසකි. සහල් කිලෝව රුපියල් දෙසීය පන්නලාය. පොල්තෙල් රුපියල් අටසීයයත් දහසත් අතර මිලක් ගනී. පරිප්පු කිලෝව රුපියල් හයසියය දක්වා මිල වැඩිවීමක් සිදුව ඇත. ආනයනික කිරිපිටි කිලෝව රුපියල් දෙදහසකට ආසන්නය. පසුගියදා නැවත තිරිඟු පිටි මිල වැඩි කිරීම නිසා පාන් ගෙඩියක මිල රුපියල් එකසිය පනහකි. ගැටලු‍ව ඇත්තේ වැඩි මිලට හෝ අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීමට නැති වීමය.

වෙළෙන්දන් භාණ්ඩ ආනයනය කරන අය ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වූවා කියමින් වැඩි මිලට ආහාර ද්‍රව්‍ය ගෙනාවා කියමින් දිනෙන් දින මිල වැඩි කරයි. පාරිභෝගික අධිකාරිය හෝ රජයේ වගකිව යුතු අය මේවා දැක දැක නොදැක්කා වාගේ සිටිති. මේ නිසා රට පුරා වෙළෙඳසල්වල ආහාර හිඟයක් ඇත. ජනතාව ආහාර සොයා පෝලිම්වල සිටිති. අලු‍ත් අවුරුද්දට අත්‍යවශ්‍ය ආහාර සහන මල්ලක් සතොස හරහා දීමට සැලැසුම් කළ ද එහි ජනතාවට අවශ්‍ය ආහාර තිබුණේ නැත.මෙවන් තත්ත්වයක් හමුවේ මැයි මාසය වෙන විට අත්‍යවශ්‍ය ආහාර හිඟය දැඩිව දැනෙනු ඇත.

කෑම බීම ගන්න ඩොලර් නෑ .

 ජාවාරම්කාරයින්ගේ  වුවමනාව මත ආණ්ඩුව ක්‍රියා කරනවා
 
- තුෂාන් ගුණවර්ධන



මේ ගැන අදහස් දක්වන පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ලෝක වෙළෙඳපොළේ ද ඇති වී තිබෙන බවය. නමුත් අපේ රටේ ප්‍රශ්නය වන්නේ තිබෙන ආහාර මිලදී ගැනීමට ඩොලර් නැතිකමය. ඉල්ලු‍ම් කළ අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීමට බොහෝ දෙනෙකුට බැංකු මගින් ඩොලර් නිකුත් නොකිරීම මීට හේතු වී තිබේ. මේ නිසා පොඩි පොඩි වෙළදාම් කරන අයට ආහාර ගෙන්වීමට නොහැකි වී ඇත. නමුත් මහා පරිමාණයෙන් ආහාර ගෙන්වන සමහර අයට ජාවාරකාරයින්ට නැති ඩොලර් ලබා දී අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීම සිදු වෙයි. මේ අර්බුදය හමුවේ සමහර දෙනා බලන්නේ තමන්ට ලැබෙන කොමිස් මුදල පමණක් බව තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
මහා පරිමාණයෙන් වෙළෙඳාම් කරන අය ඒ අයගේ ඩොලර් ලංකාවට ගෙන එන්නේ නැත. ඒ අය සිංගප්පූරුව වැනි රටවල ආයතන හා එකතු ව සල්ලි ඒවායේ තබා එම සමාගම් හරහා ගෙවීම් කොට භාණ්ඩ ගෙන්වයි. මේ හරහා අත්‍යවශ්‍ය ආහාර ඒකාධිකාරයක් ඇති වෙයි. ඉදිරියේදී දැඩි භාණ්ඩ හිඟයක් රටේ ඇතිවීම වැළැක්විය නොහැකිය. ලබන මැයි මැද වෙන විට කෑම බීම හිඟයක් රටේ ඇති වෙන බව තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මුදල් ලබා දුන්නත් ඒවා කෑම බීම සඳහා යොදාගත නොහැකිය. ඒවා ලබා දෙන්නේ බැංකු ගැරන්ටියක් ලෙසිනි. ආහාර ගෙන්වීමට මුදල් අප සොයා ගත යුතුය. නමුත් වත්මන් ආණ්ඩුවට ඒ සඳහා නිසි සැලැසුමක් තවම නැත. මේ තත්ත්වය උදා වෙන බව බොහෝ දෙනෙක් පෙන්වා දුන්හ. නමුත් ජාවාරම්කාරයින් කිහිප දෙනෙකුගේ වුවමනාව මත පමණක් ආණ්ඩුව ක්‍රියා කළ බව තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

ගැටලු‍වට විසඳුම් සොයනවා වෙනුවට කබ්රාල්වාදීන් කළේ සල්ලි අච්චු ගැසීම පමණය. ජනතාව උද්ඝෝෂණ කර පාරට බැස්සේ නැත්නම් මේ අය මේ ජාවාරම දිගටම කරගෙන යති. එසේ වූවා නම් මෙහි ප්‍රතිඵල මීට වඩා දරුණුවීමට ඉඩ තිබුණි. නමුත් මෙහි ප්‍රතිඵල මැයි මාසය මැද වෙන විට ලැබෙයි. දැනටත් ආහාර ද්‍රව්‍ය නිපදවන බොහෝ කර්මාන්ත ශාලා අවුරුද්දෙන් පසු විවෘත කොට නැත. ඒ අයට එම ආහාර ද්‍රව්‍ය නිපදවීමට අමුද්‍රව්‍ය නොමැති වීම නිසාය. මෙම ආයතන වැසි ගියොත් රැකියා අවස්ථා බොහොමයක් නැති වෙනු ඇත. ඒ අනුව තදබල ගැටලු‍ රැසකට අපට මුහුණ දීමට සිදුවෙයි. මේ අනතුර රාජ්‍ය නිලධාරින් මෙන්ම පාලකයින්ද නොදැක්කා යැයි කීම පිළිගත නොහැකිය. මේ අය කරන්නේ දරුණු අපරාධයක් බවත් ඒ අයට අපරාධ නීතිය යටතේ දඬුවම් දිය යුතු බවත් තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
 
මේ වෙන විට පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයා ආරක්ෂා කරන වැඩක් කරන්නේ නැත. එක් එක් අයගේ බලපෑම් හමුවේ දත්ත එකතු කළා පමණි. මේ වෙන විට පාරිභෝගික අධිකාරියට කළ හැකි වෙන්නේ වැරැදි ක්‍රමවලට භාණ්ඩයක් විකුණන විට දී ඇති වෙන ගැටලු‍වලට හා හාණ්ඩ සැඟ වූ විට මැදිහත්වීම පමණි. මිල පාලනය කිරීමට ගසා තිබූ ගැසට් ඉවත් කිරීම නිසා පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට පාරිභෝගික අධිකාරියට ලබා දී තිබූ මැදිහත්වීම දැන් නැත. දැන් තිබෙන තත්ත්වය හමුවේ මිල පාලනය කළොත් භාණ්ඩ හිඟ වී නැති වී යයි. මේ නිසා අපට දැන් තියෙන්නේ විකෘති ආර්ථිකයකි. ඒනිසා සල්ලි අතේ තියාගෙන බොහෝ දෙනා දුක් විදිති. අද වෙන විට වෙළෙඳසල්වල ආහාර නැත. මේ නිසා නාගරිකව ජීවත්වෙන මධ්‍යම පංතික ජනතාවට කෑම නැති වෙනු ඇත. ගමේ ඉන්න කෙනා කොස් ගෙඩියක් හෝ කඩාගෙන කති. සල්ලි ඇති කෙනා රටින් ගෙනත් හෝ කෑම ගනිති. එනිසා ඉදිරි මාසය අපට තීරණාත්මකය. මැයි මැද වෙන විට මෙරට ජනතාවට කන්න බොන්න නැති වෙයි. දැනටමත් එහි පෙර නිමිති දැකීමට පුලු‍වන. අද ජනතාව පාරට බැස උද්ඝෝෂණ කරන්නේ තම පවුලේ අයට කන්න බොන්න දේ නැතිකම නිසාය. පාලකයෝ ඒවා තේරුම් නොගනිති. අද මෙරට ඉන්න බොහෝ ඇමැතිවරුන් කියන්නේ ප්‍රාථමික කතාය. අද පවතින ආර්ථික අර්බුදය ජනතාවට දරා ගැනීමට නොහැකිය. මෙසේ ගිය විට රටේ අනාගතය ගැන සිතා ගැනීමට බැරි බවද තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි

 

Gossip Lanka Hot News Previous News Archive