“හොරු ගෝ ගම” ලබන 17 දා තෙක් වසා දමයි


පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම අසල සිටි විරෝධතාකරුවන් තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත්වී තිබෙනවා.


අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කළේ තම විරෝධතාකරුවන් දියත උයන අසලින් ඉවත් කර ගන්නේ ලබන 17 වනදා යළිත් පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වන තෙක් පමණක් බවයි.

ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ, ජනපති කාර්යාලය අසල අරගලය ශක්තිමත් කරන බවයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ පැවැත්වූ විරෝධතාවට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා.

ඊයේ පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට විරෝධතා පා ගමනින් ඔවුන් මෙම ස්ථානයට පැමිණි අතර, දියත උයන ඉදිරිපිට අට්ටාල ඉදිකරමින් එහි නවාතැන් ගනු ලැබුවා.

ඊයේ රාත්‍රියේ දී ද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.සිසුන් ඊයේ රැය පහන් කලේ පාර්ලිමේන්තු වටරවුම අසළ අට්ටාල ඉදි කරමිනුයි.හොරු-ගෝ-ගම ලෙස මෙම ස්ථානය සිසුන් විසින් හඳුන්වා දී තිබෙනවා.

 “ආයෙත් පාර්ලිමේන්තුව රැස් වෙන්න කලින් රාජපක්ෂලා ගෙදර නොගියොත් සිව් දෙසින් ම වටලනවා” – අන්තරේ කැඳවුම්කරු

 මීළඟට පාර්ලිමේන්තුව රැස්වන දිනයට පෙර ආණ්ඩුව ඉල්ලා අස්වීමට කටයුතු නොකරන්නේ නම්, පාර්ලිමේන්තුව රැස්වූ පළමු මොහොතේ සිට ම සිව් දෙසින් පාර්ලිමේන්තුව වටලන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අනතුරු අඟවයි.

එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ, මේ මොහොතේ සිය සාමාජිකයින් පාර්ලිමේන්තුව අසලින් ඉවත් වන බව ත් යළි ත් මැයි 17 වන දින එනම්, පාර්ලිමේන්තුව රැස්වන මීළඟ දිනයේ එම ස්ථානයට පැමිණෙන බව ත් ය.

තමන් මෙලෙස ඉවත්ව යන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වීමට තීරණයක් ගැනීම සඳහා ඉඩ ලබා දීමට බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

“ආණ්ඩුවට අපි කල් දෙනවා. ගෝඨාභය රාජපක්ෂලාට, මහින්ද රාජපක්ෂලාට, ආණ්ඩුවට අපි කල් දෙනවා. ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයට පෙර වහා ම ඉල්ලා අස්වෙන්න ඕන. එහෙම නැත්නම් අපි බලමු. පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න එකදු මන්ත්‍රී කෙනෙක් හරි පාර්ලිමේන්තුව ඇතුළට යන්න අපි අවකාශය ලෑස්ති කරන්නේ නෑ. මේ ගේට්ටුව විතරක් නෙමෙයි, මේ වට කරලා තියෙන ඉතිරි ගේට්ටු සියල්ල වහලා, පාර්ලිමේන්තුව අපි අහෝසි කරනවා.

නැවත වටයකින් තව සුමාන කිහිපයකින් අපි ලෑස්ති කරනවා. ඒ නිසා අද අපි ආණ්ඩුවට දෙන්නේ වෝර්නින් එකක්. රතු නිවේදනයක්. අපි අද මෙතැනින් නික්ම යන්නේ ඊළඟ දවස් ගණන ආණ්ඩුව ගණන් කරලා තියා ගන්න. බැරියර් ගහ ගන්න. බංකර් හදාගන්න. අපි එනවා ඊළඟ දවසේ පාර්ලිමේන්තුව වටලන්න. ඒ පාර්ලිමේන්තුව වටලන්නේ එක පැත්තකින් නෙමෙයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂලාගේ කතාව ඉවර යි. අපි දෙන කාලය ඇතුළේ ගෞරවාන්තවිතව බැහැලා යන්න.”

Gossip Lanka Hot News Previous News Archive