අගමැති මහින්ද විරෝධතා මැද අනුරාධපුරයට


අගමැති මහින්ද රාජපක්ෂ අද (08) පෙරවරුවේ අනුරාධපුර අටමස්ථාන පුදබිමට ආශිර්වාද ලබා ගැනීම සඳහා ගොස් තිබෙනවා.
එම ගමනේ දී අග්‍රාමාත්‍යවරයා පළමුවෙන් ආශිර්වාදය ලබා ගැනීම සඳහා පැමිණියේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසටයි.

අනතුරුව රුවන්වැලි මහ සෑ රඳුන් ද වැඳ පුදා ගත් අග්‍රාමාත්‍යවරයා, චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ බැහැ දැක ආසිරි ලබාගත්තා.

ඉන්පසුව ආසිරි ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා පැමිණියේ මිරිසවැටිය විහාරස්ථානයටයි.

එහිදී මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේ.

මේ අතර, අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීමට එරෙහිව සහ පාලනයට විරුද්ධව අටමස්ථානය ඉදිරිපිට දී අද ජන විරෝධතාවක් පැවැත්වුණා.

අගමැතිවරයා ගමන් මග දෙපස රැස්ව සිටි ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වන අවස්ථාවේ දී එහි පැමිණ සිටි එක් තරුණයෙකු අගමැතිවරයාගෙන් විමසා සිටියේ හෙට (09) දිනයේ දී සුබ පණිවිඩයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

එමෙන්ම එම තරුණයා තවදුරටත් කියා සිටියේ, අගමැතිවරයා හට ''දැන් ඇති..'' යන වගයි.

මේ අතර, අග්‍රාමාත්‍යවරයාගේ නිල රථය අටමස්ථානයෙන් පිටව යද්දී, රැස්ව සිටි විරෝධතාකරුවන් සිය විරෝධය පළ කළේ ''හූ'' හඬ පළ කරමින්.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හෙට පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකර බොහෝදුරට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හිරු ප්‍රවෘත්ති අංශයට අනාවරණ කළේ.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා හෙට පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හමුවීමට නියමිත බව වාර්තාවනවා.

Gossip Lanka Hot News Previous News Archive