සමන්තභද්‍ර හිමිගෙන් රට හදන යෝජනාවලියක්


මෙරට දේශපාලනඥයන් හොඳක් කරාවි යැයි සිතා වසර 75 ක කාලයක්ජනතාව බලා සිටි බවත්රටට අවශ්‍ය කරන වැඩපිළිවෙල හැදෙන්නේ නැත්නම්වසර 85 ක් යන තුරු බලා නොසිට මහනායක හිමිවරුන් ද අනෙකුත් ආගමික නායකයන්ද පොදුවේ ශ්‍රී ලාංකික ලෙස සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව එකතුවී හොඳ වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළ යුතු බව සමන්තභද්‍ර හිමියෝ මහනුවර දී පැවසීය .
එම හිමියන් අද (05දා) රට හදන යෝජනාවලියක් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන්ට පිළිගැන්විමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ පැවසීය .

පාලනය වෙනස් කිරීමෙන් රටට සෙතක් වේයැයි අවුරුදු 75 ක් තිස්සේ මේ රටේ ජනතාව එය සිදු කලා . නමුත් අපේක්ෂිත ප්‍රතිඵලය ලැබුනේ නැහැ. එසේනම් දැන් කළ යුතුව ඇත්තේ පාලනය වෙනස් කිරීම නොව පවතින ක්‍රමය වෙනස් කිරීමයි .

පාරක් නොදැන අද අපි දුවමින් සිටිනවා . මුලින් කළ යුත්තේ දිවීම නතර කර පාරක් හදා ගැනීමයි . ඒ සඳහා යෝජනා තුනක් මා විසින් රටට ඉදිරිපත් කරනවා .මා ඉදිරිපත් කරන යෝජනාවලියේ කරුණු තුනක් තිබෙනවා. ඒක හරියට දුවන්න හොඳ පාරක් හදා ගන්නවා වගේ වැඩක් . අපි දැන් කරන්නේ පාරක් නැතුව හිතෙන හිතෙන තැනින් දුවන එකයි . මම ඉදිරිපත් කරන යෝජනා තුනෙන් පළමු වැන්න තමයි සියලුම දේශපාලනඥයින්, ඔවුන්ගේ පවුල්වල අය, සියලුම රාජ්‍ය නිලධාරීන් විගණනය හා විමර්ශනයට ලක් විය යුතුමයිකියන එක . අපිට ජාතික වැඩපිළිවෙළක් නැහැ . එක ආණ්ඩුවක් ඇවිල්ලා කරන දේ ඊළඟ ආණ්ඩුව නතර කරනවා . දශක ගණනාවක් තිස්සේ සිද්ධ වුණේ එයයි.

මේ අයට වසර දහයක් සඳහා කිසිඳු කෙනකුට වෙනස් කළ නොහැකි ජාතික වැඩපිළිවෙළක් හදන්න ඕන කියන එක මගේ දෙවන යෝජනාවයි .මාගේ තුන්වෙනි යෝජනාව වන්නේදේශපාලනයේ නිරත සියලු අය වරප්‍රසාද වරදාන නොගෙන ස්වෙච්චාවෙන් තමන්ගේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දේශපාලනයක නිරත වෙන්න ඕන . මේ වෙලාවේ අපි ඉතාම අසීරු තත්ත්වයට වැටිලා ඉන්නේ . අපේ සංචිත බින්දුවට වැටිලා . මෙහෙම කොහොමදරටක් ඉස්සරහට යන්නේ ? හෙට දවස ගැන අපිට විශ්වාසයක් නැහැ . තෙල්, ගෑස්, බෙහෙත් තියේද කියන ප්‍රශ්නය හැමෝටම තියෙනවා .

පිට රට වල ඉන්න අය මෙරටට ආයෝජන ගේන්න කැමතියි .නමුත් රටේ පාලකයන් ගැන ඔවුන්ට විශ්වාසයක් නැහැ.එම විශ්වාසය ගොඩනැගීමට මෙම යෝජනාවලිය ඉවහල් වන බව ද සමන්තභද්‍ර හිමියෝ වැඩිදුරටත් පැවසීය .

Gossip Lanka Hot News Previous News Archive