ආණ්ඩුව කොල්ලන්ට ගහන්න ගෙනා අලුත් ම කඳුළු ගෑස්


“උද්ඝෝෂණයකදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම අද ඊයේ සිට ක්‍රියාත්මක වූ දෙයක් නෙමෙයි. මේක ලෝක යුද්ධ කාලේ ඉඳල ම දරුණු විදිහට සිද්ධ වුණා. එදා කිසි ම අණක් ගුණක් නැතිව ප්‍රමිතියක් නැතිව හදපු කඳුළු ගෑස්වල ශරීරයට, ඒ වගේ ම ඇස්වලට තදින් බලපාන රසායනික ද්‍රව්‍ය අඩංගු කොට තිබුණා. නමුත් පසු කාලයේ ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වී මේ සඳහා නීති රෙගුලාසි පැනවූවා. අද එදා තරම් සැර රසායනික දේවල් මේ සඳහා පාවිච්චි කරන්නේ නැහැ.”
මෙසේ කියන්නේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා ය. ඔහු කලක් කොළඹ අක්ෂි රෝහලේත් රාජකාරි කළ දක්ෂ වෛද්‍යවරයෙකි.

ඔහු පවසන ආකාරයට කඳුළු ගෑස් ප්‍රහාරවලට ගොදුරු වන හැමෝට ම වාගේ සුළුවෙන් හෝ යම් බලපෑමක් ඇති වූයේ එදා ය. එහෙත් දැන් දැන් ඒ අවදානම තරමක් දරුණු අතට හැරී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණ අවස්ථාවේදී හෙළි වූ කඳුළු ගෑස් ප්‍රහාරය සමග ය.

මෙම නව කඳුළු ගෑස් සහිත ග්‍රෙනේඩ් එක හඳුන්වන්නේ N500-CS ගෑස් හෑන්ඩ් ග්‍රෙනේඩ් යනුවෙනි.

එය පෙර මෙන් ඈත සිට විදින කඳුළු ගෑස් උණ්ඩයට සමාන එකක් නොවේ. ළඟ සිට විසිකළ හැකි අත්බෝම්බයක් වැනි උපකරණයකි. එය අරගලකරුවන් අතර ම හිඳිමින් සියුම් ලෙස මුදා හැරිය හැකි ය.

“මීට පෙර පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් උණ්ඩය පොළවට පතිත වූ සැණින් උද්ඝෝෂණකරුවන් කළේ එය අහුලා නැවත පොලිසිය දෙසට විසි කිරීමයි. එහෙත් අලුත් ග්‍රැනේඩ් එක එසේ අල්ලා විසිකිරීමට නොහැකියි. ඇල්ලූ සැණින් අත පිලිස්සෙනවා. ඒ වගේ ම එය කොටස් තුනකට කැඩී ක්‍ෂණිකව පිටවන වායුව දරා ගැනීමට බැරිතරම් ඉතා සැරයි. මේ නිසා තමයි අපි අර කලින් කිව්ව විධියට වැඩි ප්‍රවේශමක් අවශ්‍ය වෙන්නේ.

මේ නිසා කැස්ස, ක්ලාන්ත ගතිය, වමනය හා හුස්ම ගැනීමේ අපහසුව වගේ ම ඇස් පෙනීමේ දුබලතාව බෙහෙවින් ඇති වෙන්න පුළුවන්.

කඳුළු ගෑස්වලින් සිදුකරන්නේ අපේ දෙනෙත්වල කඳුළු ස්‍රාවය වැඩි කරන එකයි. ඒක එක පාරට ම දරාගන්න බැරි විදිහට වැඩි කරන්නේ දැවිල්ලත් එක්කයි.

මේ තත්ත්වය තත්පර 20 විනාඩි 1ක් වගේ කාලයකදී තමයි මේ රෝග ලක්‍ෂණ මතුවෙන්නේ. මේ තත්ත්වය එක දිගට වැඩි වේලාවක් පවතිනවා. ඊට ක්‍ෂණික ප්‍රතිකර්ම හැටියට කළ යුතු වන්නේ පිරිසිදු ජලයෙන් දෙනෙත සේදීම පමණයි. සබන්වලින් සෝදන්න හැකි නම් තව ත් හොඳයි.

නමුත් කඳුළු ගෑස් ප්‍රහාරයට ගොදුරු වූ ඇතැමුන්ට එයින් පසුව බොහෝ සංකූලතා ඇති වෙන බවත් අපි අමතක කළ යුතු නැහැ.

විශේෂයෙන් ම මේ ප්‍රහාරවලට ගොදුරු වූ පසු සමහර අයට ඇසේ පීඩනය වැඩි වෙන ග්ලුකෝමා කියන රෝගී තත්ත්වය ඇති වෙනවා. ඒ නිසා ම ඇස් පෙනීම අඩු වෙනවා. මෙවැනි තත්ත්වයට පත් වූ රෝගීන් බොහෝ දෙනෙක් අපිට වරින් වර හමුවී තිබෙනවා. ඒ අතර ඇස් අන්ධ වූ අයත් ඉන්නවා.”

මීට අමතරව කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක්වීමෙන් ඇතිවන ඊළඟ ආබාධය වන්නේ හුස්ම ගැනීමට ඇති අපහසුතාවයි. විශේෂයෙන්ම ම පෙනහැල්ල ආශ්‍රිත රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින රෝගීන්ට එය තදින් බලපාන බව විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා පවසයි.

“මෙවැනි කදුළු ගෑස් ප්‍රහාර ඇදුම රෝගීන්ට සුදුසු ම නැහැ. එවැනි අයට හුස්ම ගැනීමේ අපහසුව තදින් ම දැනෙනවා. ඔවුන්ගේ ජීවිතයට පවා හානි සිදුවෙන්න පුළුවන්. ඔබ දැකලා ඇති සමහර අය පපුව අල්ලාගෙන වේදනාවෙන් ඉන්න හැටි. කැස්සක් ඇති වෙනවා. මේ තත්ත්වය ගැන පහසුවෙන් සිතන්න සුදුසු නැහැ. ඒ නිසා එවැනි අය පුළුවන් තරම් දුරට මෙවැනි තැන්වලින් ඈත්වී සිටිය යුතු යි.

හුස්ම ගැනීමට අපහසු ඕනෑම අවස්ථාවකදී ඒ තත්ත්වය වැඩි වී රෝහල් ගත වූ රෝගීන් අපට ඕනෑ තරම් හමුවී තිබෙනවා. ඒ වගේ ම මිය යනවා. විශේෂයෙන් ම කුඩා දරුවන් මෙවැනි ස්ථානවලින් වහා ඈත් කර ගත යුතුයි. කඳුළු ගෑස් ප්‍රහාර සිදුවේ යැයි අනුමාන කරන තැන්වල ඔවුන් රඳවා ගත යුතු නැහැ.”

මීට අමතරව කඳුළු ගෑස් ප්‍රහාරවලට ගොදුරු වීමෙන් හටගන්නා තව ත් රෝගයක් ලෙස අපේ විශේෂඥ වෛද්‍යවරයා හඳුන්වා දෙන්නේ සමේ රෝගය.

“කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක් වූ බෙහෝ අය තුළ මේ රෝගීභාවයත් මතුවී පෙනෙනවා.

ඒ අනුව, මුලදී සිදුවන්නේ සම අධික ලෙස කැසීමට පටන් ගැනීමයි. සමේ රෝග ඇති අයට මේ තත්ත්වය වැඩිපුර දැනෙනවා විතරක් නෙමෙයි, තුවාල ඇතිවෙන්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් කඳුළු ගෑස් වැදුණට පස්සේ පෙර කී හැම රෝගී ලක්‍ෂණයක් ම දක්නට ලැබෙන්නේ විනාඩි 20ක් – පැය භාගයක් වගේ කාලයක් ඇතුළතයි. ඊට වැඩි වුණොත් වහා ම රෝහල් ගත විය යුතුයි.

ඒ වගේ ම මේ කඳුළු ගෑස්වල සැර මූණ, කට, අත් සෝදා දැම්ම කියා ඉවර වෙන්නෙත් නැහැ. ඒ සැර ඇඳුම්වලත් රඳා පවතිනවා. ඒ නිසා ඒ ඇඳුම් පවා ඉක්මනින් ම ඉවත් කරන්න ඕන. අපි දන්නවා පොලිස් නිලධාරි මහත්තුරු ඉහළින් එන අණ පිළිපදින්න ඕන නිසා කඳුළු ගෑස්වලට ඔරොත්තු දෙන මාස්ක් එකක් පාවිච්ච් කරමින් තමන්ගේ රාජකාරිය කරන බව.

නමුත් ඔවුන් දන්නේ නැහැ යුනිෆෝම් එකේ මේ සැර බොහෝ වේලාවක් රඳා පවතින බව. ඒක ඇත්තට ම ඔවුන්ගේ ශරීරයට නුසුදුසුයි.

මීට අමතරව කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක් වූ ඇතැමුන්ට ඇතිවන ශ්වසන ආබාධ නිසා ම මානසික තත්ත්වය බිඳවැටෙනවා.

මානසික සංකූලතා ඇතිවෙනවා. ඇත්තටම මේ නිසා කලබලකාරී තැන්වලින් මෙවැනි පුද්ගලයන් මඳක් ඈත්වී සිටීම තමයි වඩා හොඳ.”

කඳුළු ගෑස්වල එසේත් නැත්නම් උද්ඝෝෂකයන් පලවා හැරීමට භාවිත කරන මේ දියර අවියෙහි අපි නොදන්නා බෙහෝ රෝග කාරකයන් තිබෙන බව දැන් ඔබට වැටහෙනු ඇත. එහෙත් එසේ කියා උද්ඝෝෂණ ක්‍රියාවලිය නවතා දැමිය යුතු නැත. අවශ්‍ය වන්නේ දැනුවත් වී ඊට මුහුණ දීමය.



Gossip Lanka Hot News Previous News Archive