2024 වසර ඔබට කොහොමද?


අප සිත්සතන් තුළ අපේක්ෂා, අරමුණු බොහොමයක් පෙළගස්වමින් 2024 නව වසර උදා වෙමින් ඇත. ජ්‍යොතිෂානුකූලව බැලුවහොත් එළඹෙන වසරේ චන්ද්‍රග්‍රහණ දෙකක්, සූර්යග්‍රහණ දෙකක් සිදු වේ. ග්‍රහ යුද්ධ 18ක් සහ ග්‍රහ මාරු රැසක් පෙන්නුම් කරයි. එවන් කාලයකදී දේශගුණික, කාලගුණික විපර්යාස, ආර්ථික, සාමාජයීය, දේශපාලනික වෙනස්කම්වලට ද අපට මුහුණ දෙන්නට සිදු වනු ඇත. තත්ත්වය එසේ වුවද අප ධනාත්මක අයුරින් නව වසර දෙස බැලිය යුතුය. නව වසර පිළිගත යුතුය.ග්‍රහ තාරකා නිරන්තරව රාශි චක්‍රය වටා ගමනේ යෙදෙති. වෙනස් විය යුත්තේ අපය. හිත්-පිත් නොමැති ග්‍රහ තරුවලට වඩා උසස් මනසකින් යුතු සචේතනික වූ මානව වර්ගයාට උට්ඨාන වීර්යය උපදවාගත හැකිය. තම තමන්ගේ ආගම දහමට නැඹුරුව ඉවසීම, පරිත්‍යාගශීලිත්වය, කරුණාව, මෛත්‍රිය වැනි ගුණාංගයන් පෙරදැරිව යුතුකම් වගකීම් හරිහැටි ඉටුකිරීමට සිතට ගතහොත් ජීවිතය පහසුය.

නව වසර ජයග්‍රාහී වසරක් බවට පත්කරගත හැකි වන්නේ එවන් උතුම් ගුණධර්ම අපේ ජීවිත හා බද්ධ වූ තරමටය. එවිට ග්‍රහ තාරකාවලින් එන අසුබ කිරණ අපෙන් ඈත්ව යයි. රාශි 12න් උපන් ඔබ සැමටම පොදුවේ දිය හැකි උපදෙස නම් දාන ශීල භාවනා ආදී වැඩසටහන්වලට යොමු වීම, පංචශීලය රැකීම, ධර්ම ශ්‍රවණය කිරීම වැනි බොදු පිළිවෙත් මඟින් අපල දුරු කරගෙන නව වසර ප්‍රබෝධවත්ව ගත කළ හැකි බවය. ගහකොළට, ස්වභාවධර්මයට, තිරිසන් සතුන්ට පවා නිදහසේ හැසිරීමට ඉඩ දිය යුතුය. බෝධි පූජාමය කටයුතුවලින් චිත්ත පාරිශුද්ධත්වය මෙන්ම දේව කරුණාව අප වෙත ළඟා වීමත් පිරිතේ බලයෙන් ග්‍රහ අපල දුරු වී නීරෝගි බව, සෙත ශාන්තිය ගෙන දීම සිදුවන බැවින් ඒවාට යොමු වී නව වසරේ දියුණුව සලසා ගන්න. උත්සාහය, කැපවීම තුළින් අපේක්ෂා අරමුණු මුදුන්පත් කරගන්න. ඒ අනුව නව වසරේ ඔබේ ලග්නයට අනුව පලාපල මෙලෙසිනි.

 

මේෂ ලග්නය – නිවසට වාසනාව ගෙනෙන කාලයක්

ගෘහ ජීවිතය :- මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ රවි සමඟ 9වැන්නේ ද ගුරු ලග්නගතව ද සඳු 5වැන්නේ ද කේතු 6වැන්නේ ද බුධ / සිකුරු 8වැන්නේ ද ශනි 11වැන්නේ ද රාහු 12වැන්නේ ද ගෝචර වෙමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ලබයි. තම නිවසට වාසනාව ගෙන දෙන මේ වසරේ දේපළ, යානවාහන ලාභ ඇති බවද පෙන්වයි. තමන් අපේක්ෂා කළ යම් යම් අනාගත සැලසුම් ක්‍රියාත්මක කිරීමට සුදුසු කාලයකි. විවාහ දරුපල ප්‍රමාද වූ අයට ඒවා පිළිබඳ සුබපල ලබා දෙයි. නිවසෙහි පුණ්‍ය කටයුත්තක් සිදු කිරීමට ඉඩකඩ ඇත. සුබසාධන වැඩ, අන්‍යයන්ට, අසරණ අයට උදවු උපකාර කිරීම නිරායාසයෙන් සිදු වේ. දුර ගමන් බිමන් යෙදේ. මැයි මාසයේ ගුරු මාරුවෙන් ද සුබපල ගෙන දෙයි.

රැකියාව :- රැකියාකාරක සෙනසුරු ග්‍රහයා සියලු ලැබීම් පෙන්වන අයස්ථානයේ ජය යෝගය උදා කරමින් සිටී. 3වැන්නට සහ 7වැන්නට දෘෂ්ටි හෙළයි. ඒ අනුව දැනට කරගෙන යන රැකී රක්ෂා කටයුතුවල උසස්වීම්, පඩි වැඩි වීම් වැනි සුබපල ද නව රැකියා බලාපොරොත්තුව සිටින අයට ඒවායේ සුබ පණිවුඩ ද ලැබෙන්නට පුළුවන. ව්‍යාපාර අංශද දියුණු තත්ත්වයකට පත්වේ. ස්වයං රැකියා, තම සහජ හැකියාවන් අනුව කරගෙන යන ව්‍යාපාර ද දියුණු වේ. සහෝදරයන් සමඟ හවුලේ කරන ව්‍යාපාර ද ලාභ උපයයි.

අධ්‍යාපනය :- දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය කරන මතක ශක්තිය, දැනුම ගොඩනැඟෙන ග්‍රහබල ලග්නයේ 5, 9 යන රාශිවල පෙන්නුම් කරයි. විභාගවලින් ජයග්‍රහණ අත්වන වසරකි.

සෞඛ්‍යය :- පාදවල වේදනා, තුනටියෙන් පහළ සුළු අසනීප ගති ඇතිවිය හැකි වුවත් ඒවා ඉක්මනින් සුව වීමේ ප්‍රවණතාව පෙන්වයි. සෙම් රෝග පාලනය කරගැනීම හෝ සුව කර ගැනීම ඉක්මන් වෙයි.

ඔබගේ අපල අවම කර ගැනීමට අඟහරුවාදා දිනය නිර්මාංශ වීම, එම දිනයේ රතු නෙළුම් මල් සහිත බෝධි පූජා තැබීම, අභිසම්භිධාන පිරිත කීම, ශ්‍රවණය කිරීම, කොළොන් වෘක්ෂයට සත්කාර කිරීම, කතරගම දෙවියන්ට පින් දීම ආදිය තුළින් හැකි වේ.

සුබ අංක – 1, 2, 4, 5, 7, 9, සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා,

 

වෘෂභ ලග්නය – අඩුපාඩු සම්පූර්ණ වේ

ගෘහ ජීවිතය :- වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු බුධ සමඟ 7වැන්නේ ද රවි කුජ 8වැන්නේ ද ශනි 10වැන්නේ ද රාහු 11වැන්නේ ද ගුරු 12වැන්නේ ද සඳු 4වැන්නේ ද කේතු 5වැන්නේ ද ගෝචර වෙමින් ආරම්භ වන වසර ඔබට මිශ්‍රපල ගෙන දෙනු ලබයි. එසේම වැඩි කොටසක් සුබපල බව පෙන්නුම් කරයි. රාහුට හොඳම ස්ථානයක් වන 11 රාහු සිටීම නිසා ගෘහ ජීවිතයේ බොහොමයක් අඩුපාඩුව තිබූ කරුණු කාරණා සම්පූර්ණ වෙයි. ලැබීම් සහිතය. බලාපොරොත්තු නොවූ ධනය දේපළ ලැබීම් ඇත. අවිවාහක අයට මංගල යෝජනා, දරුපල පිළිබඳව සුබ සිහින සැබෑ වන්නේ මැයි මස ගුරු මාරුවෙන් පසුවයි. ගුරු ලග්නගත වීමෙන් ප්‍රසිද්ධිය කීර්තිය සමාජයීය සුබ සාධන වැඩ කටයුතු, පුණ්‍ය කටයුතුවලට නිරායාසයෙන් යොමු වේ.

රැකියාව :- රැකියා ස්ථානය වන 10වැන්නේම සංයෝගය ජය යෝගය නිර්මාණය කරමින් යෝගකාරක සෙනසුරු ගෝචරව සිටීම අනුව රැකියා, ව්‍යාපාර දියුණු වෙයි. ඒවායින් ලාභ ප්‍රයෝජන ලැබ ගැනීමට උත්සාහයෙන් කටයුතු කරන්න. දැනට නිරතව සිටින රැකියා අංශවල උසස්වීම් සහ වගකීම් වැඩි වනු ඇත. එමෙන්ම තම ආයතන තුළ දියුණුවට බාධා ඇති කරන කටයුතු ද සිදුවීමට හැකි බැවින් අවංකව තම රාජකාරි කරගෙන යන්න.

අධ්‍යාපනය :- 5වැන්න වූ විද්‍යස්ථානයේ කේතු ග්‍රහයා ගෝචර වීම අයහපත් නොවේ. පොතපත, පරිගණක ආශ්‍රිතව දැනුම උපදවා ගනී. වර්ෂයේ මැද භාගයෙන් පසු ගුරු ග්‍රහයාගේ දෘෂ්ටිය ද වැටීමෙන් ඉගෙනීමෙන් උසස් ප්‍රතිඵල ලැබ ගනු ඇත. ඉගැන්වීමෙහි දක්ෂ හොඳ ගුරුවරු ලැබීමෙන් අපහසුතාවන් ඇති දරුවනට කාගේ හෝ පිහිටාධාර ලැබීමෙන් දැනුම බුද්ධිය පිරි දරු කැලක් බිහි වනු නොඅනුමානය.

සෞඛ්‍යය :- මුත්‍රා ආසාදන, උගුරේ ආබාධ, මලබද්ධය, දණහිස් අමාරු ආදියට ඉඩ ඇත. සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.

ඔබගේ අපල අවම කරගැනීමට සිකුරාදා දිනය නිර්මාංශව වර්ණවත් මල් සුවඳ දුම් වර්ග ගෙන උදය හෝ සවස විහාරස්ථානයකට ගොස් බෝධිපූජා පවත්වන්න.

සුබ අංක – 2, 6, සුබ වර්ණ – ක්‍රීම් පාට, රෝස සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා

 

මිථුන ලග්නය – ධාර්මික සිතුම් පැතුම් ඇති වේ

ගෘහ ජීවිතය :- මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ සිකුරු සමඟ 6වැන්නේ ද රවි කුජ 7වැන්නේ ද ශනි 9වැන්නේ ද රාහු 10වැන්නේ ද ගුරු 11වැන්නේ ද සඳු 3 හිද කේතු 4වැන්නේ ද ගෝචර වෙමින් ආරම්භ වන වර්ෂය ඔබට සුබපල ගෙන දෙයි. ලග්නාධිපති ලග්නය දැකීමත් ගුරු ශනි යන ග්‍රහයන්ගේ ගෝචරයත් අනුව නොපැකිළව තම අභිමතාර්ථයන් කරා යාමට උත්සුක වනු ඇත. සහජ දක්ෂතාවලින් ප්‍රයෝජන ගෙන යහපත් සිතුවිලි, ධාර්මික පැවතුම් උපදවාගෙන කටයුතු කරයි. විවාහ වීමට සිතා සිටින අයට සුදුසු අය මුණගැසීමත් දරුපල ප්‍රමාද අයට සිහින සැබෑ වීමටත් මැයි මාසය තෙක් උනන්දු විය යුතුය. මැයි ආරම්භයේ සිදුවන ගුරු මාරුවෙන් පසු බාධක පැමිණෙනු ඇත. ගෘහ ජීවිතය සතුටින් ගෙන යා හැකි වසරක් වුවද බාධක හමුවේ නොසැලී ධෛර්යමත් වන්න. දුර ගමන් බිමන්, විදේශ ගමන් යෙදේ.

රැකියාව :- රාහු 10වැන්නේ බැවින් දැනට කරගෙන යන රැකී රක්ෂාවල කුමන හෝ වෙනසක් සිදුවිය හැක. සමහරවිට එය උසස්වීමක් හෝ ස්ථාන මාරුවීමක් ද විය හැක. ශනිගෙන් උදාවී ඇති ජය යෝගය නිසා මහජනතාවට සුබසිද්ධිය සැලසෙන බොහෝ පුණ්‍යවන්ත කටයුතු රැකියාව තුළදී ඔබගෙන් සිදු කෙරෙයි. නව ව්‍යාපාරවලට ද අත ගසයි.

අධ්‍යාපනය :- විද්‍යාස්ථානය වූ 5වැන්නේ අධිපති 6වැන්නේ ගෝචර වීම හේතුවෙන් දුවා දරුවනට නොයෙක් බාධක පැමිණීමට ඉඩකඩ පවතී. එහෙත් ඔබට ඒවා ජයගත හැකිය. දැඩි අධිෂ්ඨාන ශක්තියෙන් කටයුතු කරන්න. අවශ්‍ය සෙත් ශාන්ති කිරීම තුළින් ආත්ම විශ්වාසය ඇති කර ගන්න. කලා අංශවල ඉගෙනීම ලබන දරුවනට පහසුවෙන් ජයග්‍රහණ අත් කර ගැනීමට පුළුවන.

සෞඛ්‍යය :- ස්නායු දුර්වලතා, විවේකය අඩුකම තුළින් හිසරදය නිදිමත ආදී අපහසුතා ගෙන දෙයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන්න.

ඔබගේ අපල අවම කරගැනීමට බදාදා දිනය නිර්මාංශව එම දිනයේ උදේ හෝ සවස ලා නිල් මල් ගෙන බෝධි පූජා තබන්න. විෂ්ණු දේව පිහිට පතන්න. කොහොඹ වෘක්ෂයකට සත්කාර කරන්න.

සුබ අංක – 3, 5, සුබ වර්ණ – කොළ, කහ, සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා

 

කටක ලග්නය – ජයග්‍රාහී මාවතකට එළැඹෙයි

ගෘහ ජීවිතය :- ලග්නාධිපති සඳු දෙවැන්නේ ද කේතු 3වැන්නේ ද බුධ සිකුරු 5වැන්නේ ද රවි කුජ 6වැන්නේ ද ශනි අටවැන්නේ ද රාහු 9වැන්නේ ද ගුරු 10වැන්නේ ද ගෝචර වෙමින් ආරම්භ වන වර්ෂය ඒරාෂ්ටකයක් තිබුණ ද ඔබට අයහපත් නොවනු ඇත. දැඩි වීර්යයවන්ත ගති ඔබ තුළ පිහිටයි. බාධක හමුවේ නොසැලෙයි. එයින්ම ජයග්‍රාහී මාවතකට අවතීර්ණ වනු ඇත. සඳු දෙවැන්නේ වීම තුළ ඔබගේ කතා විලාසය ආකර්ෂණීය වේ. අන්‍යයන් අවනත කරගෙන ඕනෑම කාර්යයක් ඉටුකර ගැනීමට පුළුවන. ගෙදරදොර, පදිංචි ස්ථානයේ අඩුපාඩු, අතපසු වූ කටයුතු නිම කරයි. පුණ්‍ය කටයුතුවලට නිරතුරුව දායකත්වය ලබා දෙයි. අන් සතු ධනයක් අන්තිම කැමති පත්‍රයකින් පැවරෙන දේපළක් හෝ ලැබීමට ඉඩ ඇති අතර මැයි මස ගුරු මාරුවෙන් පසුවද ධනය හිඟ නොවේ. එම ග්‍රහ මාරුවෙන් පසුව විවාහ අපේක්ෂකයිනට සුබපල ගෙන දෙයි. විදෙස් ගමන් ඇති වේ.

රැකියාව :- මාධ්‍යවේදී, නීතිඥයන්, අලෙවිකරුවන්, ගුරුවරුන් ආදී වෘත්තිකයනට දක්ෂතාව මත තම රාජකාරිවලින් ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකියි. අවංකභාවයට, සත්‍යවාදී බවට මුල් තැන දී කටයුතු කළහොත් ඔබට සැනසීම ගෙන දෙනු ඇත. අනෙකුත් අංශවල රැකියාවන්හි නියුතු අයට ද බාධක මැද වුවද අතමිට හිඟ නොවේ. මැයි මාසයෙන් පසුව තැන්පත් ධනයක් ඉතිරිකර ගැනීමට පුළුවන.

අධ්‍යාපනය :- උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගමන් ඉල්ලුම් කර තිබූ අයට ඒවාට ඉඩකඩ සැලසේ. මෙරට අධ්‍යාපනය හදාරන උසස් පෙළ දරුවනට හරියටම විෂය ධාරා තෝරා බේරා ගැනීම කර නොගතහොත් විෂයන් මාරු කිරීමට සිදු වනු ඇත. කුඩා දරුවන්ගේ නැටුම් ගැයුම් දක්ෂතා ඔප් නැංවේ.

සෞඛ්‍යය :- සෙම් රෝග, පිත් රෝග, අජීර්ණ රෝග පහසුවෙන් වැලඳිය හැකි බැවින් ආහාරවලින් ප්‍රවේශම් වන්න. නියමිත වේලාවකට ආහාර රටාව හදාගන්න.

ඔබගේ අපල අවම කරගැනීමට සඳුදා දිනය නිර්මාංශ වන්න. එම දිනයේ සුදු මල් සහිත බෝධි පූජාවක් කරන්න. පත්තිනි දේවියගේ පිහිට ආරක්ෂාව පතන්න.

සුබ අංක – 2, 7, 9, සුබ වර්ණය – සුදු, සුබ දවස් – ඉරිදා, සඳුදා, අඟහරුවාදා

සිංහ ලග්නය – සුබපල ගෙන දෙන වසරක්

ගෘහ ජීවිතය :- සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි කුජ සමඟ 5වැන්නේ ද සෙනසුරු 7වැන්නේ ද රාහු 8වැන්නේ ද ගුරු 9වැන්නේ ද සඳු ලග්නයේ ද කේතු දෙවැන්නේ ද ශුක්‍ර බුධ සිවුවැන්නේ ද ගෝචර වෙමින් ආරම්භ වන වර්ෂය සුබපල ගෙන දෙයි. ලග්නාධිපති රවි යෝගකාරක කුජ සමඟ පූර්ව පුණ්‍යස්ථානය වූ 5වැන්නේ බැවින් ගෘහ ජීවිතය තුළ ආදරය සමගිය මෙන්ම උද්‍යෝගීමත් ලෙස කලදවස ගත කරයි. ගුරුද පුණ්‍යස්ථානයේ බැවින් ධර්ම ත්‍රිකෝණයක් නිර්මාණය වී ඇත. ලෞකික දියුණුව මෙන්ම ලෝකෝත්තර පැත්තට ද බර වැඩිය. එය වසරේ භාග්‍යයකි. ඔබගේ වචනය සහ ප්‍රියමනාප බව නිසා කරන කියන කටයුතුවල ලාභ ආදායම්වලින් හොඳ ආයෝජනයක් පවත්වා ගත හැකි බවක් පෙන්වයි. යුග දිවියේ සුළු මත ගැටුම් නැවත මහත් සෙනෙහසකට මඟ පාදයි. එවැනි ගැටලුකාරී අවස්ථාවල එක් අයෙක් නිහඬව දරාගන්න.

රැකියා :- සෙනසුරු ජය යෝගය සස යෝගය දෙකම උදා කරමින් 7 වැන්නේ ගෝචර වීම ඔබගේ රැකීරක්ෂා, වෙළෙඳ ව්‍යාපාර දියුණුවට රුකුලක් වේ. උද්‍යෝගය උනන්දුව වැඩි කරයි. නවතාවයෙන් කටයුතු කරයි. කෘෂිකාර්මික අංශවල මැණික් පතල් ආශ්‍රිතව මෙන්ම සුඛෝපභෝගී වෙළෙඳ ව්‍යාපාරවලට සුබ වසරකි.

අධ්‍යාපනය :- විද්‍යාස්ථානයේ රවි කුජ දෙදෙනා නිසා උද්‍යෝගිමත් බව තිබුණද දරුවන් තුළ හිතුවක්කාර ගති වැඩි කරති. ඒ නිසා අවශ්‍ය සෙත් ශාන්ති නියමිත වේලාවල්වලදී ඔවුන්ට ලබාදීම මවුපියන් සතු වගකීමකි. උෂ්ණාධික රෝග වුවද වැලඳිය හැකි බැවින් එය අධ්‍යාපනයට බාධාවක් වන නිසා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද සොයා බලන්න. ජයග්‍රහණයට උදවු කරන්න.

සෞඛ්‍යය :- උෂ්ණාධික රෝග, අක්ෂි රෝග, මුත්‍රා ආසාදන, සෙම් උණ රෝගවලට ඉඩ ඇත.

ඔබගේ අපල අවම කරගැනීමට ඉරිදා දිනයේ නිර්මාංශ වීම, රතු නෙළුම් මල් සහිත බෝධි පූජා තැබීම, සූරිය පිරිත කීම, ශ්‍රවණය කිරීම ආදිය තුළින් හැකි වනු ඇත.

සුබ අංක – 1, 4, 8, සුබ වර්ණය – රතු, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා

 

කන්‍යා ලග්නය – ශීත පළාත්වල වාසයට ඉඩ

ගෘහ ජීවිතය :- ඔබගේ ලග්නාධිපති බුධ සිකුරු සමඟ 3වැන්නේ ද කුජ රවි 4වැන්නේ ද ශනි 6වැන්නේ ද රාහු 7වැන්නේ ද ගුරු 8වැන්නේ ද සඳු 12වැන්නේ ද කේතු ලග්නයේ ද ගෝචර වෙමින් ආරම්භ වන වර්ෂය ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙන වර්ෂයක් වනු ඇත. සතුරු කරදර තිබුණේ නම් ඒවා අවම වී සමාදාන වේ. සිතට සැනසිලිදායක කාලයකි. දේශපාලන කටයුතු කරන අයට ප්‍රසිද්ධිය හිමි වේ. විදේශ ගමන් සහ විදේශ රටවල සිටින අය සමඟ සබඳතා වැඩිදියුණු වෙයි. අසල්වාසීන් සමඟ හොඳ හිත, ප්‍රීති උත්සව මෙන්ම අලුත් ඇඳුම් පැලඳුම්, යානවාහන ලැබීමට ඉඩ ඇත. තද ශීත දේශගුණ ඇති පළාත්වල වාසයට ඉඩ සැලැසේ. ප්‍රේම බන්ධන වැඩිදියුණු වේ. එහෙත් ඒවා පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී වඩා සැලකිලිමත් විය යුතුය. මැයි මාසයේ සිට පුණ්‍ය කටයුතුවලට වැඩි නැඹුරුවක් දක්නට ලැබෙයි. සුබ වසරකි.

රැකියා :- රැකී රක්ෂා, වෙළහෙළඳාම් කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලද හැකි වසරකි. රාජ්‍ය අංශවල හෝ පෞද්ගලික අංශවල අයගේ වැටුප් වැඩිවීම් හෝ උසස්වීම් පෙන්නුම් කරයි. කෘෂිකාර්මික අංශ, ස්වර්ණාභරණ, මුද්‍රණ කටයුතු ආදියට මෙන්ම පරිගණක ක්ෂේත්‍රවලින් ද ආදායම් උපයන්නට පුළුවන.

අධ්‍යාපනය :- ඉගෙනීමේ යෙදෙන දරුවනට තම දක්ෂතා වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය මතක ශක්තිය ගොඩනැඟේ. කලා කටයුතුවල වැඩි වර්ධනයක් පෙන්නුම් කරයි. සමස්තයක් වශයෙන් දුර්වල දරුවනට ගුරුවරුන්ගේ කැපකිරීම් නිසා සහනයක් සැලසේ. දුෂ්කර ප්‍රදේශවල අසීරුතා ඇති දරුවන්ට ද නොයෙක් සංවිධානවලින් පාසල් උපකරණ පොතපත ලැබීමෙන් ඔවුන් සතුටින් පාසලට යනු ඇත. එවන් වසරක් එළඹීම සතුටකි.

සෞඛ්‍යය :- ආමාශගත රෝග, හිසෙහි බර ගතිය, ලේ දෝෂ, මුත්‍රා දෝෂ ඇතිවිය හැකිය.

ඔබගේ අපල අවම කරගැනීම සඳහා බදාදා දිනය නිර්මාංශ වීම, එම දිනයේ බෝධි පූජා පැවැත්වීම, විෂ්ණු දේව පිහිට පැතීම, කොහොඹ පැළයකට සත්කාර කිරීම ආදියෙන් හැකි වනු ඇත.

සුබ අංක – 2, 3, 5, 7, සුබ වර්ණය – කොළ, සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

 

තුලා ලග්නය – බලාපොරොත්තු ඉටුවන කාලයක්

ගෘහ ජීවිතය :- ලග්නාධිපති සිකුරු බුධ සමඟ දෙවැන්නේ ද ශනි 5වැන්නේ ද රාහු 6වැන්නේ ද ගුරු 7වැන්නේ ද සඳු 11වැන්නේ ද ගෝචර වෙමින් ආරම්භ වන වසර ඔබට මිශ්‍රපල ගෙන දෙනු ඇත. තමන්ගේ අරමුණු බලාපොරොත්තු බොහොමයක් ඉෂ්ට සිද්ධ කරගැනීමට හැකි වසරකි. ලග්නාධිපති සිකුරු බුද්ධිකාරක බුධ හා දෙවැන්නේ නිසා තීක්ෂණ නුවණින් වැඩ කටයුතු කරයි. සැහැල්ලුවෙන් ජීවිතය ගෙන යයි. කිසිවකුගේ කීමට නොනැමෙන බිය නැතිව වැඩ කරන කෙනෙක් වේ. ස්වයං හැකියාවට මුල් තැනක් ලැබෙනු ඇත. නිතර ගමන් බිමන් ඇති කරයි. ඒවායින් ලාභ ප්‍රයෝජන ලබයි. යුග දිවිය තුළ සාමය සමාදානය ගෙන දෙයි. සහෝදර පක්ෂය සමඟ සිත් රීදීම් ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. මැයි මාසයේ මුලදී ගුරු 8 වැන්නට පැමිණීම නිසා දියුණුව තරමක් අඩාළ කරන්න හැකියාව පවතී. සෙත් ශාන්තිවලට යොමු වන්න.

රැකියාව :- සඳු අයස්ථානයේ බැවින් ඉක්මනින් ලාභ ප්‍රයෝජන ඉපයීමට ඔබ සිතනු ඇත. එහෙත් සාධාරණ අයුරින් වෙළහෙළදාම් කටයුතු කිරීම ඔබට ගුණදායක වෙයි. රාජ්‍ය අංශවල රැකියාවක නියුතු වූ අයට වඩා වෙළෙඳ ව්‍යාපාර ආරම්භයට සුදුසු ඒවායින් ලාභ ප්‍රයෝජන අත්කරගත හැකි කාලයකි. ඔබගේ අදහස් ක්‍රියාත්මක කරන්න.

අධ්‍යාපනය :- ඉගෙනීමෙන් ජය ලබන, වර්ෂයේ මැද කොටසේදී විදෙස් අධ්‍යාපනයට ද අවස්ථා ලැබෙන බවක් පෙන්නුම් කරයි. නීතිය, ජනමාධ්‍ය, උපදේශකත්වය වැනි අංශවලින් සහ සංගීතය හදාරන දරුවන්ගේ දක්ෂතා පෙන්නුම් කරයි. ජයග්‍රහණ හිමි වෙයි.

සෞඛ්‍යය :- තුනටියෙන් පහළ වකුගඩු, මුත්‍රා දෝෂ හා උගුරේ ආබාධවලට ඉඩ ඇත.

ඔබගේ අපල අවම වීමට සිකුරාදා දින නිර්මාංශව සිටීම, සිකුරාදා දිනයේ බෝධි පූජා පැවැත්වීම, කරඳ වෘක්ෂයකට සත්කාර කිරීම, වකුගඩු රෝගීන්ට උපකාර කිරීම වැනි දෙයින් හැකි වේ.

සුබ අංක – 6, 8, සුබ වර්ණ – සුදු, ක්‍රීම්, ළා නිල්, සුබ දවස් – බදාදා සිකුරාදා, සෙනසුරාදා

 

වෘශ්චික ලග්නය – ගේදොර – යානවාහන ලාභ

ගෘහ ජීවිතය :- ඔබගේ ලග්නයේ සිකුරු සහ බුධද දෙවැන්නේ ලග්නාධිපති රවි සමඟද 4වැන්නේ ශනිද 5වැන්නේ රාහුද 6වැන්නේ ගුරුද 10වැන්නේ සඳුද 11වැන්නේ කේතුද ගෝචර වෙමින් ආරම්භ වන වර්ෂය තුළ මිශ්‍රපල ගෙන දෙයි. සුබපල වර්ධනය කරගැනීමට ඔබට පහසුය. ඒ ඔබගේ උත්සාහය සහ උද්‍යෝගය තුළිනි. ඔබට වඩා ළාබාල අය හවුල් ව්‍යාපාර, සමාජයීය පොදු කටයුතුවලදී ඇසුරට ලැබෙනු ඇත. ඒ නිසා සැහැල්ලුවෙන් ජීවිතය ගෙන ගියද පදිංචි ස්ථානයේ දියුණුව සලසා ගැනීමට බුද්ධිමත් වන්න. වැඩිහිටි අයගේ උපදෙස් ලබා ගෙදරදොර මඟහැරී ගිය කටයුතු උපක්‍රමශීලිව හදාගන්න. වචන භාවිතයේදී සංයමයකින් කතා කරන්න. නැතිනම් හිතවතුන් අමනාප විය හැකිය. ගේදොර, යානවාහන ලාභ පවතී. විවාහයට ළාබාල සහකාරියක ලැබීමට පුළුවන.

රැකියාව :- කෘෂිකාර්මික අංශවලින් ලාභ ප්‍රයෝජන අත්කර ගැනීමට ඔබට මේ වසරේ හැකියාව ඇත. රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවය කරන අයට ද ඇවිදිලි වැඩි වේ. ජලය ආශ්‍රිතව කරගෙන යන රැකියා කර්මාන්ත දියුණු වේ. විදේශ රැකියා ඉල්ලුම් කර තිබුණේ නම් ඒ පිළිබඳ සුබපල ගෙන දෙන ලකුණු ඇත.

අධ්‍යාපනය :- විද්‍යාස්ථානය වූ 5වැන්නේ රාහු ගෝචර වීම එතරම් සුදුසු නොවේ. අමතක වීම් අතපසු වීම් අවධානය දස අත දිවීමද සිදු වෙයි. ඒ නිසා වැටකෙයියා මල් බෝධියට පූජා කර විෂ්ණු දෙවියන්ට පින් දී දරුවාට සෙත් පතන්න. වැටකෙයියා පැළයකට සත්කාර කරවන්න. ගණ දෙවියන් පුදන්න.

සෞඛ්‍යය :- උණ, සෙම් රෝග, මුත්‍රා දෝෂ ගෙන දිය හැකිය.

ඔබගේ අපල අවම කරගැනීමට අඟහරුවාදා දවස නිර්මාංශ වීමත් එම දිනයේ රතු නෙළුම් හෝ වෙනත් රතු මල් බෝධියට පූජා කර බෝධි පූජා තැබීමත් කොළොන් වෘක්ෂයට සත්කාර කිරීමත් කතරගම දෙවියන්ට පින් දීමත් අභිසම්භිධාන පිරිත කීම තුළිනුත් හැකි වනු ඇත.

සුබ අංක – 1, 2, 4, 5, 7, සුබ වර්ණය – රතු, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

 

ධනු ලග්නය – ස්ථිර වාසස්ථානයක හිමිකම

ගෘහ ජීවිතය :- ඔබගේ ලග්නාධිපත් ගුරු 5වැන්නේ ද කුජ රවි ලග්නයේ ද ශනි 3වැන්නේ ද රාහු 4 වැන්නේ ද බුධ සිකුරු 12වැන්නේ ද සඳු 9වැන්නේ ද ගෝචර වෙමින් ආරම්භ වන වසර ඔබට යහපත් සුබපල පමුණුවන වසරක් වේ. පදිංචි ස්ථානය ස්ථිර නොවේ නම් ඒ පිළිබඳ ස්ථිර වාසස්ථානයකට හිමිකම් ඇති කරයි. අනාගතය පිණිස සැලසුම් කරන සියලු වැඩකටයුතුවලට යහපත් ප්‍රතිඵල ගෙන දෙන කාල පරිච්ඡේදයකි. අවිවාහක අයට මංගල යෝජනා ප්‍රමාද, දරුපල ආදිය සම්බන්ධයෙන් කළ යුතු සෙත් ශාන්ති වත්පිළිවෙත් කිරීමෙන් ඒවායේ සුබපල බලාපොරොත්තු වීමට හැකි වසරකි. විදෙස් ගමන් බලාපොරොත්තුව සිටියේ නම් ඒ සිහින සැබෑ වේ. දරුවන්ගේ සියලු යහපත් කටයුතු පල දරයි.

රැකියාව :- ඔබ දැනට කරගෙන යනු ලබන රැකීරක්ෂා පිළිබඳව සතුටු විය හැකි ආකාරයට උසස්වීම්, පඩි වැඩි වීම්, ප්‍රශංසාවට ලක්වීම් වැනි කරුණු සිදු වේ. අලුතෙන් රැකියාවක් බලාපොරොත්තුව සිටින ධනු ලග්න හිමි ඔබට නව රැකීරක්ෂාවලට යාමට හැකි වනු ඇත. වෙළෙඳ ව්‍යාපාර ආදි‍ෙයන් ද ලාභ ප්‍රයෝජන අත්වන විදෙස් රැකියා හිමි වන කාලයකි. කිසිවකුටත් නොදෙවැනි ස්වරූපයකින් රාජකාරි අකුරට ඉටුකරන බව ලග්නයේ රවි කුජ සංයෝගයෙන් පෙන්වයි.

අධ්‍යාපනය :- විභාගවලින් ජයග්‍රහණ හිමි වේ. විවිධ භාෂා, පරිගණක ක්ෂේත්‍ර අධ්‍යයනය කරන්නට පෙලඹේ. ඉගැන්වීමට දක්ෂ ගුරුභවතුන් මුණගැසෙන මේ වසර තුළ ඔබට අන්‍යයන්ගෙන් උදවු උපකාර ද ලැබෙයි. පාසල් නොගොස් සිටි දරුවන්ට ද ඒ අවස්ථා උදා වේ.

සෞඛ්‍යය :- සෙම් පිත් රෝග, මලබද්ධය සහ උෂ්ණාධික රෝග ද ඇතිවිය හැකිය.

ඔබගේ අපල අවම කරගැනීමට බ්‍රහස්පතින්දා දිනය නිර්මාංශ වීමත්, කහපාට මල් පූජා කිරීම, බෝ මළුව අමැදීම, පැන් කළ දැමීම ආදිය කරන්න.

සුබ අංක – 3, 5, 6, 8, සුබ වර්ණය – කහ, සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

 

මීන ලග්නය – ඉඩකඩම් දේපළ භාග්‍යය

ගෘහ ජීවිතය :- ලග්නයේ රාහු දෙවැන්නේ ගුරු 6වැන්නේ සඳු 7වැන්නේ කේතු 9වැන්නේ බුධ සිකුරු 10වැන්නේ රවි කුජ 12වැන්නේ ශනි ද ගෝචරව සිටින විට වර්ෂය ආරම්භ වෙයි. ලග්නයේ රාහු පිහිටීම අනුව මනස නිරවුල්ව තබා ගැනීමට තරමක් අපහසු වෙයි. නොයෙකුත් ව්‍යාකූලතා මතුවිය හැකිය. එහෙත් ඔබගේ වචනයට අන්‍යයන් ගරු කරයි. 4 අධිපති 9 බැවින් පුණ්‍ය කටයුතුවලට වැඩි නැඹුරුතාවක් දක්වමින් ජීවිතය පවත්වාගෙන යා හැකිය. නිතර විහාරස්ථානවලට උදවුපදවු කරන්නට පෙලඹේ. පදිංචි ස්ථානයේ අලංකරණය පිණිස වෙහෙස වෙයි. ඒරාෂ්ටකයක් පවතින බැවින් කායික මානසික අපහසුතා පැනනඟී. ගමන් බිමන් වැඩි වේ. ඉඩකඩම්, දේපළ මිලදී ගැනීම්වලට භාග්‍ය ඇත. විදෙස් ගමන් බලාපොරොත්තුව සිටි අයට ඒවා සපල වීමේ ඉඩකඩ පවතී.

රැකියාව :- කෘෂිකාර්මික අංශ, සුඛෝපභෝගී භාණ්ඩ, රන් ආභරණ, මැණික් ආදී ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. රාජ්‍ය අංශවල නිරතව සේවය කරන්නන්ට ද තනතුරු, උසස්වීම් ආදියට ඉඩ ඇත. ස්ථාන මාරුවීම් ද පෙන්වයි. මැයි මාසයෙන් පසු තැන්පත් ධනයකට අවකාශ අඩු වේ. නීතිඥ, ගුරු, උපදේශක හා ආරක්ෂක අංශවල උසස් නිලධාරීන්ගේ වෘත්තීමය දක්ෂතා පිළිබිඹු වේ.

අධ්‍යාපනය :- අධ්‍යාපනයට බාධා පැමිණිය හැකි තත්ත්වයක් පෙන්නුම් කරයි. ඉගෙනීමෙහි යෙදෙන විට අවධානය වෙනස් වීමට ඉඩ ඇති බැවින් සෙත් ශාන්තිවලට යොමු කරවීම තුළින් සහනයක් ලබාගත හැකිය. වැටකෙයියා මල් පූජා කිරීම තුළින් අධ්‍යාපනයට ඇති බාධා මඟ හැරේ.

සෞඛ්‍යය :- ඉදිමුම් ගති, ලේ අඩුකම, පාදවල වේදනා, සෙම් රෝග බලපවත්වයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.

අපල අවම කරගැනීමට බ්‍රහස්පතින්දා දිනය නිර්මාංශව බෝධි පූජා ආදියට යොමුවන්න. භික්ෂූන් වහන්සේට ගිලන්පස පිළිගන්වන්න. බෝ මළුව ඇමදීම, පැන් වත් කිරීම වැනි දෑ සුදුසුය.

සුබ අංක – 3, 9, සුබ වර්ණය – කහ, සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

 

මකර ලග්නය – ධර්ම පොතපතට වඩා ළැදි වේ

ගෘහ ජීවිතය :- ලග්නාධිපති දෙවැන්නේ ද රාහු 3වැන්නේ ද ගුරු සිවුවැන්නේ ද සඳු 8වැන්නේ ද කේතු 9වැන්නේ ද සිකුරු බුධ 11වැන්නේ ද රවි කුජ 12වැන්නේ ද ගෝචර වෙමින් ආරම්භ වන වර්ෂය අයහපත් නොවේ. යම්කිසි දෙයක් උපයා සපයා ගන්නා වසරකි. උත්සාහය ධෛර්යය කැපවීම අත් නොහැර බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීමෙහි දක්ෂ වේ. ගෙදරදොර පිළිවෙළට සකසා පිරිසිදු කර පින්කම් ආදිය කරයි. ධර්ම පොතපත කියවයි. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවීමට පුළුවන. පදිංචි ස්ථානයේ වෙහෙසක් ද ඇති කෙරෙයි. විදෙස් ගමන් ඉල්ලුම් කර තිබුණේ නම් ඒවා ඉෂ්ට සිද්ධ වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. ඒරාෂ්ටක තත්ත්වය ද ගෙවෙමින් පවතින හෙයින් අපලකාරී බව අඩු වෙයි.

රැකියාව :- රැකියාකාරක සෙනසුරු 2වැන්නේ ද 10වැන්න වූ රැකියා ස්ථානයේ අධිපති සිකුරු සියලු ලැබීම් පෙන්වන අයස්ථානයේ ද සිටින බැවින් කරන කියන රැකීරක්ෂා, වෙළහෙළඳාම් දියුණු වෙයි. ආදායම් උපයයි. කෘෂිකාර්මික අංශ, සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය තුළින් ලාභ අත්කර ගැනීමට පුළුවන. තැන්පත් ධනයක් වර්ධනය කර ගැනීම අසීරු බවක් පෙන්වන බැවින් වියහියදම් පාලනය කරගන්න.

අධ්‍යාපනය :- කලා අංශවල ඉගෙනුම ලබන දරුවනට මේ වසරේ විභාගවලින් උසස් ප්‍රතිඵල නිරායාසයෙන් ම ලැබ ගැනීමට හැකියාව පවතී. අනෙකුත් විෂය ධාරාවලින් ඉගෙනුම ලබන දරුවනට දැඩි කැපවීමකින් ජයග්‍රහණ ලැබිය හැකි අතර විදෙස් අධ්‍යාපනයට ද පිවිසීමේ භාග්‍ය වැඩිදෙනකුට ඇත.

සෞඛ්‍යය :- ලේ අඩුකම, පාදවල වේදනා, අක්ෂි රෝග, ක්ලාන්ත ගති ආදිය ඇතිවීමට ඉඩ ඇත. අධික වෙහෙස මඟහරවා ගැනීම, ආහාර කලට වේලාවට ගැනීම සෞඛ්‍ය රැකගැනීමට හේතු වේ.

ඔබගේ අපල අවම කරගැනීමට සෙනසුරාදා දවසේ නිර්මාංශ වීමත් එදින නිල්මල් සහිත බෝධි පූජා පැවැත්වීම විෂ්ණු දෙවියන්ට පින් දී අපල දුරු කරගැනීමට පිහිට පැතීම සුදුසුය.

සුබ අංක – 6, 8, සුබ වර්ණය – නිල්, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

 

කුම්භ ලග්නය – සස සහ ජය යෝග වාසනාව

ගෘහ ජීවිතය :- ලග්නාධිපති ලග්නයේමද රාහු දෙවැන්නේත් ගුරු 3වැන්නේත් සඳු 7වැන්නේත් කේතු 9වැන්නේත් බුධ සිකුරු 10වැන්නේත් රවි කුජ 11වැන්නේත් ගෝචර වී සිටියදී වර්ෂය ආරම්භ වේ. සස යෝගය ජය යෝගය පිහිටා ශනි ලග්නගත වීම බලවත්ය. යෝගකාරක සිකුරු 5 අධිපති සමඟ 10වැන්න වූ කර්මස්ථානයේය. ඒ අනුව ඒරාෂ්ටකයක් පැවතිය ද ඔබගේ අරමුණු අපේක්ෂා මුදුන්පත් කරගත හැකි වසරකි. තැන්පත් ධනයක් ඉතිරි කරගැනීමට නොහැකි වුවද පදිංචි ස්ථානයේ සුබ සිද්ධය පිණිස අඩුපාඩු සම්පූර්ණ කර ගනියි. ගේදොර, යානවාහන ආදියට ද භාග්‍ය පවතී. ඒරාෂ්ටක කාලවලදී වැඩියෙන් තම දියුණුවට වැඩ කරගැනීමට මඟ පෑදේ. ගෘහ ජීවිතය යුගදිවිය සතුටින් ගෙවෙයි. දරුවන්ගේ සුබ සිද්ධිය සැලසේ. වචන භාවිතයේදී සැලකිලිමත් වන්න. ආවේගශීලි නොවී වචන පිට කරන්න.

රැකියාව :- රැකියාකාරක ශනි ලග්නගතව සිට රැකියා ස්ථානය වූ 10වැන්න දැකීම හේතුවෙන් ඔබ දැනට කරගෙන යන්නා වූ රැකියා අංශවල උසස්වීම්, පඩි වැඩි වීම් වැනි සුබවාදී වෙනසක් සිදු විය හැකිය. එමෙන්ම රැකියා බලාපොරොත්තුව සිටි අයට නව රැකියා ලැබීම් හෝ විදෙස් රැකියා ලැබීම් සිදු විය හැකිය. කෘෂිකාර්මික අංශවලින් වැඩි ලාභ අත්කර ගත හැකිය. ගනුදෙනුවලදී වඩාත් ප්‍රවේසම් වන්න.

අධ්‍යාපනය :- ඉංජිනේරු, නීතිය, කෘෂිකාර්මික අංශවල ඉගෙනුම ලබන දරුවන්ගේ දක්ෂතා වඩා වර්ධනය වන ග්‍රහබල දක්නට ලැබුණ ද අනෙකුත් දරුවනට ද අයහපත් වසරක් නොවේ. දුෂ්කර පළාත්වල දරුවනට නොයෙකුත් සංවිධාන මඟින් හෝ අඩුපාඩු පාසල් උපකරණ ආදිය ලැබීමේ භාග්‍ය පවතී. ඉගෙනීමට මැළිකමක් දක්වන දරුවන් පවා ඉදිරි වසර තුළ කෙසේ හෝ පාසල් අධ්‍යාපනයට යොමු වේ.

සෞඛ්‍යය :- සෙම් රෝග, උණ, රුධිර පීඩනය වැනි ලේ නහර මතු වීමෙන් ඇතිවන වේදනා පෙන්වයි.

ඔබගේ අපල අවම කරගැනීමට සෙනසුරාදා දවස නිර්මාංශව එදින එළඟිතෙල් පහන් දල්වා බෝධි පූජා පැවැත්වීමත් විෂ්ණු දෙවියන්ට පින් දීමත් රතන සූත්‍රය වැනි පිරිත් සජ්ඣායනා කිරීමද සුදුසු වේ.

සුබ අංක – 3, 8, සුබ වර්ණය – නිල්, සුබ දවස් – සෙනසුරාදා, සිකුරාදා, බ්‍රහස්පතින්දා

Gossip Lanka Hot News Previous News Archive