මවගේ අනියම් සම්බන්ධතාවක් නිසා මව සමඟ උරණ වී නිතර අඬදබර කරන පුතකුගේ කෙනෙහිලිකම් ඉවසා දරාගත නොහැකිවූ වැන්දඹු මවක් තම නිවෙසේ කාමරයක් තුළ ගෙල වැලලාගෙන මියයෑමට තැත් කළ අවස්ථාවේදී ඊට අනුබලදී නිවෙසේ ඉදිරිපස දොර වසා මව මියයන තුරු නිවෙසේ රැකවල්ලා සිටි පුතකු තලවාකැලේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු නුවරඑළිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (09) දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තැබීමට දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ඒ. ඩී. සී. සම්පත් හේවාවසම් මහතා නියෝග කොට තිබේ.තලවාකැලේ ග්ලැන්මෝරා වත්තේ පදිංචිව සිටි නල්ලුසාමි ශාන්තිරාණි නමැති 46 හැවිරිදි දෙදරු වැන්දඹු මවක් මෙම සිද්ධියෙන් මියගොස් ඇති අතර එම වත්තේගම පදිංචි සෙල්ලෙදාරේ කවිඅරයන් (20) නමැති විවාහක තරුණයකු මෙම සිද්ධියේ සැකකරු ලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇත.
ඉකුත් 5දා සිදුව ඇති මෙම අවාසනාවන්ත සිද්ධිය වන අවස්ථාවේ එය දැනගෙන ඇති අසල්වැසියන් පිරිසක් ගෙල වැලලාගෙන මියයන්නට තැත් කරන කාන්තාව බේරා ගැනීමට උත්සාහ කර ඇති අතර සැකකාර පුතා කලහකාරී ලෙස හැසිරී ඊට ඉඩ නොදී නිවෙසේ ඉදිරිපස දොර වසා එහිවූ ඉස්තෝප්පු කාමරයේ රැකවල් ලාගෙන සිට ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිකරගෙන තිබේ.









