ඉස්සර පවුලක දරුවෝ හතර පස් දෙනෙක් ඉන්න එක සාමාන්‍ය දෙයක්. දරුවො දහ දොළොස් දෙනෙක් හිටියොත් තමයි ලොකු පවුලක් කියලා කියන්නෙ. ඒත් දැන් පවුලක දරුවො හතර පස් දෙනෙක් හිටියොත් ඒක ලොකු පවුලක් වෙනවා. පුංචි පුවල රත්තරන් කියලා කියපු නිසා දැන් පවුලක දරුවෝ දෙන්නෙකුට වැඩියෙන් හදන්න දෙමාපියන් උනන්දු වන්නේ නැහැ.
මේ තත්ත්වය දැන් තවත් අඩුවේගෙන යන්න පටන් අරගෙන තියෙනවා. ඒකට හේතුවෙලා තියෙන්නෙ පුංචි පවුල රත්තරන් කියලා හිතන නිසා නොවෙයි. තමුන්ගේ රූපේ වටිනාකම රත්තරන්වලටත් වඩා වැඩි වටිනාකමක් ඇතිකරගන්න කියලා හිතාගෙන කරන කටයුතු නිසයි. ඇත්තටම තමුන්ගේ රූපේ වටිනාකම කාටවත් මිල කරන්න බැහැ. කාගෙවත් රූපයකට සම කරන්නත් බැහැ.
ඒත් වර්තමානයේ තියෙන ජනප්‍රිය රැල්ල නිසා දැන් ඔක්කොම කනපිට හැරෙන්න පටන් අරගෙන තියෙන්නේ. සිරුරේ නිරෝගී කමට වඩා පිට පොත්ත ගැන හිතන්න ගිහින් අද ගොඩක් තරුණ තරුණියන් තමන්ගේ නිරෝගීකම නැතිකරගෙන තියෙන්නේ. ඒ හින්දා මේ වනවිට බොහෝ තරුණ තරුණියන් නොදැනීම ඔවුන්ගේ ප්‍රජනන ශක්තිය දුර්වලවීමට පටන්ගෙන තිබෙනවා. තවත් සරල කරලා කිව්වොත් වඳ භාවයට පත්වෙලා. ඒකෙ ප්‍රතිපලය වෙන්නේ විවාහ වූ විට ඔවුනට දරුඵල අහිමි වෙන එකයි.







