කඳ සුරිඳු ජීවමානව දැක ගන්න කතරගමට ලක්ෂ ගණනින් එති

සැප්තැම්බර් 17 වැනිදා කතරගම දෙවියන් දෘශ්‍යමාන වන බවට ජේ‍යාතිෂවේදී මංජුල පීරිස් මහතා පළ කළ අනාවැකිය හේතුවෙන් ඊයේ (17දා) අලුයම බැතිමත්හු ලක්‍ෂ ගණනක් දෙනාගෙන් කතරගම පූජා භූමිය පිරී ගියහ. පෙරේදා (16දා) මධ්‍යම රාත්‍රියේ සිට කණ්ඩායම් ලෙස සෑදුණු බැතිමතුන් විශාල ලෙස කතරගමට ඇදී එනු දක්නට ලැබිණි. 17දා අලුයම වන විට එසේ ඇදී ආ ජනතාවගෙන් කතරගම දේවාල භූමිය, කිරිවෙහෙර මාවත, අභිනවාරාමය ඉදිරිපිට ඇතුළු පූජා භූමියට අයත් සියලු තැන් අතුරු සිදුරු නැතිව පිරී තිබිණි.

සාමාන්‍යයෙන් සතියේ දිනක තබා සති අන්තයේවත් මෙවන් ජනතාවක් කතරගම පූජා භූමියට නොපැමිණෙන බව කතරගම දේවාලයේ ඉහළ බලධාරියෙක් පැවැසීය. මෙවන් විශාල ජනතාවක් කතරගමට ඇදී අවේ මංජුල පීරිස් මහතා පළකළ අනාවැකිය නිසා බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.දරුවන් අතැතිව, පූජා වට්ටි ඔසවාගෙන කතරගම පූජා භූමියට පැමිණ සිටි බැතිමතුන් විශාල වශයෙන් අපහසුතාවට පත්ව සිටින ආකාරයද දක්නට ලැබිණි.

මංජුල පීරිස් මහතා පළ කළ අනාවැකිය හේතුවෙන් කතරගම මෙවන් තත්ත්වයක් ඇතිවිය හැකි බවට ලැබුණු පූර්ව ආරංචි මත කතරගමට පැමිණ පැය ගණනාවක් කිසිදු තැනකට යෑමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්ව සිටින බැතිමතුන් කතරගම දෙවියන් දෘශමාන වනසේ බලා සිටින අයුරු දක්නට ලැබිණි.

ළමා විවාහවීම් ප්‍රවණතාව ඉහළට

ශ්‍රී ලංකාව තුළ ළමා විවාහවීම් ප්‍රවණතාව ක්‍රමයෙන් ඉහළ යැමේ තත්ත්වයක්‌ දකින්නට ඇතැයි යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ. දැරියන් කුඩා අවධියේ සිටම විවාහවලට එළැඹීමේ නැඹුරුව සහ එයට හේතුවන කරුණු පිළිබඳව යුනිසෙෆ් සංවිධානය කළ සමීක්‍ෂණය සඳහා අඩු වයසින් විවාහයට පත්වූ දැරියන් 71 දෙනෙකු සහභාගි කරවාගෙන ඇත. ඔවුන්ගෙන් සියයට තිහක්‌ පමණ අවුරුදු 18 ට අඩු මව්වරු බව සමීක්‍ෂණයේ තොරතුරුවලින් අනාවරණය කර ගැනීමට හැකිවී ඇති බව එම සංවිධානය පවසයි.

මේ යටතේ විශේෂයෙන් සංවර්ධනය අඩු මට්‌ටමක පවතින පොළොන්නරුව ඇතුළු දිස්‌ත්‍රික්‌කවල මෙම තත්ත්වය බහුලව දකින්නට ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි. බොහෝ දරුවන් අඩු වයස්‌ විවාහවලට පත්වීමට මූලික හේතුව වී ඇත්තේ ඔවුන් විවිධ අයුරින් ලිංගික ලෙස අපයෝජනයන්ට ලක්‌වීමයි.

මේ අයුරින් අඩු වයසින් විවාහවීම හා ගැබ් ගැනීම් නිසා එම දරුවන්ගේ අධ්‍යාපනය ඇනහිටීම සමාජය ඉදිරියේ ඒ අයගේ තත්ත්වය පහළ වැටීම හා ඔවුන් වැඩියෙන් ගෘහස්‌ථ ප්‍රචණ්‌ඩත්වයට ලක්‌වීම ආදී අතුරු විපාකයන්ටද මෙම දරුවන් මුහුණ දෙන බව යුනිසෙෆ් සංවිධානය මෙම සමීක්‍ෂණය මගින් අනාවරණය කරගෙන ඇත.

නිරුවත් දර්ශන වීඩියෝ කළ අනුරපුර උපකාරක ගුරු රිමාන්ඩ්

වැසිකිළි දොරේ ජංගම දුරකථනය සූක්ෂම ලෙස රඳවා උපකාරක පංතිවලට පැමිණෙන සිසුවියන්ගේ නිරුවත් දර්ශන වීඩියෝ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම සිද්ධියට අදාළ නඩුව අද අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා ඉදිරියේ විභාගයට ගැනිණ.එහිදී මෙම ගුරුවරයා ඇප මත මුදාහරින ලෙස නීතීඥවරයෙකු දීර්ඝව කරුණු දක්වමින් ඉල්ලීමක් කළ ද අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

අනුරාධපුර කොට්ඨාස විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ නිරුවත් දර්ශන විඩීයෝගත කළ දත්ත ඇතුළත් උපාංගය විශේෂ පරීක්ෂණ සඳහා කොළඹ විශේෂ පරීක්ෂණ ආයතනයකට යවා ඇති බවය.

කාන්තාවන් හතරෙන් එකකට මානසික රෝග

ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් හතර දෙනකුගෙන් එක් අයකු ජීවිතයේ කවදා හෝ විෂාදය නමැති මානසික රෝගයට ගොදුරුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සිය දිවි නසා ගැනීමට පෙලැඹෙන පුද්ගලයන් කුමන හෝ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බව පරීක්‍ෂණවලින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීමට පුද්ගලයන් 100 දෙනකු සිතන අතර ඉන් 10 දෙනකු උත්සාහ කරන බවත්, ඉන් එක් පුද්ගලයෙක් සියදිවි නසාගන්නා බවද පෙන්වා දෙයි.

සමාජ අපවාද, බලාපොරොත්තු කඩවීම, මනා අවබෝධයක් නොමැතිවීම, මවුපිය රැකවරණය නොලැබීම සිය දිවි නසා ගැනීමට ප්‍රධානතම හේතුවක් බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

මම ස්වර්ණවාහිනියට කඩේ යනවා - සන්ජු රසංගා

සන්ජු රසංගා රොද්‍රිගෝව මුලින්ම අපි අඳුර ගත්තෙ ගුවන්විදුලි නිවේදිකාවක් විදියට. ටික කාලෙකින් ඇය රූපවාහිනි නිවේදිකාවක් බවට පත් වෙනවා. ඊට පස්සෙ රංගන ශිල්පිනියක් වෙනවා. ඒ කියන්නේ විවිධ සේවා චරිතයක්.

ගුවන්විදුලියෙන් රූපවාහිනියට ඊට පස්සෙ රංගනයට, ඊටත් පස්සෙ කොහාටද?

ඊට පස්සෙත් ඉතින් ඔහොමම යාවි. අනාගතය ගැන අයිඩියා එකක් නෑ. දැනට ඔහොම තමයි.

* එක ක්‍ෂේත්‍රයක රැඳෙන්නෙ නැත්තෙ හැකියාවේ දුර්වලතා හංගන්න නේද?
නෑ. එහෙම ප්‍රශ්නයක් මට නෑ. මට හැම ක්‍ෂේත්‍රයකින්ම වටිනාකමක් ලැබිල තියෙනවා. රේඩියෝ එකේ අපිව පේන්නේ නෑ. ඒත් සමහර මිනිසුන්ට මාව තාම මතකයි. ඊ.ඍ. එකට ආවට පස්සේ තවත් සැලකිල්ල වැඩි වුණා. හඬට ආදරේ කරපු අයට රූපෙත් එතකොට පේනවනේ. ටෙලිනාට්‍ය නම් සීමිතව තමයි රඟපාන්නේ.

ශිරානිට රට යැම තහනම්

ජාතික සංවර්ධන බැංකුවේ (එන්. ඩී. බී.) පවත්වාගෙන ගිය ගිණුම් දෙකක තොරතුරු වසර තුනක්‌ හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් නඩු තුනකට අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියගේ විදෙස්‌ ගමන් තහනම් කළ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ලබන පෙබරවාරි 19 දා උසාවියේ පෙනී සිටින ලෙසට අවවාද කරමින් ඇය ඊයේ (16 දා) ඇප තැබීමකින් තොරව මුදාහැරියේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කැඳවූ අවස්‌ථාවේදී නිකුත් කර තිබූ නොතීසියකට අනුව කළු පැහැති සාරියකින් සැරසී අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අගවිනිසුරුවරිය විත්ති කූඩුවට නැග්ගාය.

නඩුව විභාගයට ගත් අවස්‌ථාවේදී හිටපු අගවිනිසුරුවරිය විත්ති කූඩුවට නැග සිටීම පිළිබඳව ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා කළ විමසුමකට පිළිතුරු දුන් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා "ඇයත් විත්තිකරුවෙක්‌නේ ස්‌වාමීනි..." යනුවෙන් කියා සිටියේය.

මියගිය මන්ත්‍රිවරයකුට රනිල් බර්ත් ඩේ කාඩ් එකක් යවලා

මීට වසර එකහමාරකට පමණ පෙර හදිසි අනතුරකින් මියගිය එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයකුගේ නමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපන් දින සුබ පැතුම් පතක් යැවීම හේතුවෙන් එම නිවෙසෙහි ඥාතීන් අතර දැඩි උණුසුම්කාරී වාතාවරණයක් හටගෙන ඇති බව දැනගන්නට ඇත. රනිල් වික්‍රමසිංහ මහතා මීට දින කිහිපයකට ඉහතදී මෙසේ උපන් දින සුබ පැතුම් පතක් යවා ඇත්තේ ඉකුත් මැයි පළමු දින යාපනයේ පැවැති එජාපයේ මැයි දින රැලියට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදී හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ සුබසිංහ සිරිවර්ධන නමැති කඩුගන්නාව හිටපු නාගරික මන්ත්‍රිවරයාටය.

එම නාගරික මන්ත්‍රිවරයා මියගොස් වසර එකහමාරකට පසුව වික්‍රමසිංහ මහතා විසින් ඒ මහතාගේ උපන් දිනය යෙදී තිබුණු පසුගිය සතියේදී උපන් දින සුබපැතුම් පතක් යවනු ලැබීමත් සමඟ එම පවුලේ ඥාතීන් මහත් කලබලයටත්, කෝපයටත් පත්ව ඇත. එහිදී ඥාතීන්ද අසල්වැසින්ද සිද්ධිය දැනගැනීමත් සමඟ තම පක්ෂයේ මන්ත්‍රිවරයකු මියගිය බවවත් නොදන්නා පක්ෂ නායකයකු පක්ෂයක් පාලනය කරන්නේ කෙසේද යන්න කියමින් ප්‍රදේශයේ එජාප නායකයන් හට ‍ෙදාස් පවරා ඇත. 

සිද්ධිය පිළිබඳ වාර්තා වීමත් සමඟ එම නිවෙසට ගොස් ඇති වික්‍රමසිංහ මහතාගේ සමීප හිතවතකු වන සාගල රත්නායක මහතා නායකයාගෙන් සිදුව ඇති අත්වැරැද්දට සමාව ගෙන අදාළ සුබපැතුම් පත ආපසු ඉල්ලාගෙන ඇති බවද දැනගන්නට ඇත.

'හිතුමතේ ජීවිතේ' 41 වසරකට පසු හිරෙන් එලියට එයි

වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක අච්චුවක් අදිමින් සිටි කළුතර බී.ඩී. සුමතිපාල නොහොත් 'හිතුමතේ ජීවිතේ' නමැති සිරකරුවා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ සමාව ලැබ පසුගිය 9දා නිදහස ලැබුවේය.
අවස්ථා කිහිපයක්ම මරණීය දණ්ඩනයෙන් ගැලවුණු 'හිතුමතේ ජීවිතේ' පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම සිරකරුවාද වන්නේය. මිනී මැරුම් චෝදනා 6කට සහ සිරගෙයින් පලායෑම් පහකට වරදකරු වීම නිසා අධිකරණය අවස්ථා කිහිපයකදී ඔහු මරණීය දණ්ඩනයට යොමු කළේය. වසර 129ක් දිග අච්චු කාලයක් ඔහුට නියමවී තිබුණේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවීම නිසාය.

1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවැති අවුරුදු කුමරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැඟණිය පැහැර ගෙන දූෂණය කොට මරා දැමූ පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු ඝාතකයන් ලුහුබැඳ ගිය 'හිතුමතේ ජීවිතේ' ඔවුන් සියල්ලන්ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේය. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔහු සිවු වතාවක් බන්ධනාගාරයෙන් මිදී පලා ගියේය. අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙයි ජීවිතය ගත කළේය.

Gossip Lanka Hot News Previous News Archive