මාතර ගැටුම සම්බන්ධයෙන් මංගල සමරවීර පොලිස් භාරයට

ඊයේ (05) මාතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයේ ප්‍රධානී හා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා මීට සුළුමොහොතකට පෙර පොලිස් භාරයට ගෙන ඇතැයි වාර්තා වේ. 

ඔහු සමග ඔහුගේ ආධාර කරුවන් 22 දෙනෙකුද පොලිසිය විසින් කටඋත්තර ලබා ගැනීමට පොලිස් භාරයේ රදවාතබාගෙන සිටින බවද පැවසේ. 

අදාල පිරිසෙන් කටඋත්තර ලබා ගැනීමෙන් පසුව ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගෙන ඇති ඇතැම් පුද්ගලයන් ඊයේ (05) මාතර ප්‍ර දේශයේ නොසිටි අය බවද,මේ අය අත්අඩංගුවට ගෙන ඇත්තේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ලේකම්වරයෙකු විසින් ලබාදුන් නම් ලයිස්තුවකට අනුව බවත් මංගල සමරවීර මහතාගේ ප්‍රකාශකයකු වන නීතීඥ දිනේෂ් දොඩංගොඩ මහතා පැවසීය.

චැම්පියන්ස් ලීග් අවසන් මහා තරගය මුම්බායි හා රාජස්ථාන් අතර අද

චැම්පියන්ස් ලීග් තරඟාවලියේ අවසන් මහා තරගය මුම්බායි ඉන්දියන්ස් හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර අද (06) නවදිල්ලියේදී පැවැත්වීමට නියමිතය. 

මුම්බායි ඉන්දියන්ස් පිල අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තේ ඊයේ (05) පැවැති අවසන් පූර්ව තරගයේදී ටි‍්‍රනිඩෑඞ් ඇන්ඞ් ටොබෑගෝ පිල කඩුලු 6 කින් පරාජයට පත්කරමිනි. 

ඊයේ පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ටි‍්‍රනිඩෑඞ් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 153 ක් රැස් කළේය. 

මුම්බායි කණ්ඩායම පන්දු වාර 19.1 කදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 157 ක් ලබා සිය ජයග‍්‍රහණය තහවුරු කරගත්තේය. 
ඞ්වේන් ස්මිත් මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ලකුණු 59 ක් ලබාගැනීමට සමත් විය.

එජාප පෙළපාලිකරුවෝ වෙඩි තබා ගනිති

එජාප නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීම සඳහා අද ආරම්බ වූ පා ගමනේදී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ එම පක්‍ෂ දකුණු පළාත් සභා මන්තී‍්‍ර නිෂාන්ත පූෂ්පකුමාර මහතාට බරපතල තුවාල සිදු වී ඇති බව වාර්තා වේ. 

මෛතී‍්‍ර ගුණරත්න හා ශිරාල් ලක්තිලක යන පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ මූලිකත්වයෙන් සංවිධාන කෙරුණු පාගමනට විරෝධය පාමින් සහ රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ තවදුරටත් රැදිය යුතු බවට යෝජනා කරමින් එජාප මන්ත‍්‍රී මංගල සමරවීර මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද විරෝධතා දෙක නිසා මෙම ගැටුම ඇති වී තිබේ. 

රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පල කිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු පාගමනේ ප‍්‍රධාන සංවිධායකයෙකු ලෙසද එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්තී‍්‍ර නිෂාන්ත පූෂ්පකුමාර මහතා කටයුතු කලේය. මෙම වෙඩි තැබීම සිදු වී ඇත්තේ පාගමන් දෙකම මාතරට පැමිණිමෙන් අනතුරුවයි. 

එජාප නායකත්වයෙන් ඉවත් වීමට දින 2 ක් ඉල්ලයි

තමන්ට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වීම සදහා දින දෙකක් ලබා දෙන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා තිබේ.

ජාතික භික්ෂු පෙරමුණේ අනුශාෂක පුජ්‍ය ගිරිඹේ ආනන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොල්ලුපිටිය පොල්වත්ත ධර්ම කීර්තියාරාම විහාරයේ දී පැවැති සාකච්ඡාවේ දී වික‍්‍රමසිංහ මහතා මේ ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

වහාම එජාපයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීම හැර වෙනත් කිසිදු විසදුමකින් එජාපයට සෙතක් අත් නොවන බව ගිරිඹේ ආනන්ද නාහිමියන් පැවසූ විට තමන්ට නායකත්වයෙන් ඉල්ලා අස්වීම සලකා බැලීම සදහා දින දෙකක් ලබා දෙන මෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පලකරමින් ගිරාබේ ආනන්ද හිමියන් ප‍්‍රකාශ කලේ එක්සත් ජාතික පක්‍ෂය පුළුල් ප‍්‍රතිසන්ධානයකට ලක් කිරීමේ අවශ්‍යතාව පෙරටුකර ගනිමින් යෝජනා වූ නායකත්ව මණ්ඩලයකට විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟත්වය පළ කළ බවයි.

කරු ජයසූරිය සමග සටනක් දීමට ගෝඨාභය රාජපක්ෂ එයි

ඉදිරියේ පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස එජාප හිටපු නියෝජ්‍ය නායක දේශමාන්‍ය කරු ජයසූරිය මහතා ඉදිරිපත් වුවහොත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය අනාවරණය කරයි. 

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මිය බස්නාහිර පළාත් සභාවේ සන්ධාන මහ ඇමති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කිරීමේ සූදානමක් කලින් පැවතිය ද රාජපක්ෂ පවුලේ ගැටුමක් හේතුවෙන් එම අදහස මේවනවිට අත්හැර දමා ඇතයි ද එම එම වෙබ් අඩවියේ සඳහන් වේ.

බස්නාහිර පළාතට අයත් කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශයන් හි සන්ධානය දුර්වලව පැවතිය ද, කොළඹ නගර අංලකරණය තුලින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ලබා ගෙන ඇති ජනතා ආකර්ශණය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මේ තීරණයට එළඹ ඇති බව පවසන 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේද සඳහන් කර ඇත.  

ශී‍්‍ර ලංකා රග්බි පිලේ නායකයා නාමල් රාජපක්ෂ

සෙරන්ඩිබ් කුසලාන රග්බි 2013 තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වයට ජනපති වැඩිමහල් පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත්කොට තිබේ. 

මේ තරගාවලිය පිළිබදව දැනුවත් කිරීමට අද (03) කොළඹ ගලධාරි හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය.

නාමල් රාජපක්‍ෂ ශ‍්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබයි.

මෙම තුන්කොන් තරඟාවලිය ඔක්තෝබර් 26දා සිට නොවැම්බර් 01දා දක්වා ටොරින්ටන්හි නව රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

අදාල තරගාවලිය ශ්‍රී ලංකාව, පෝලන්තය හා මැඩගස්කර් යන රටවල සහභාගීත්වයෙන් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. 

එජාප භාණ්‌ඩාගාරික සෙනරත් ඉල්ලා අස්වේ

එක්‌සත් ජාතික පක්‍ෂයේ භාණ්‌ඩාගාරික සෙනරත් කපුකොටුව මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇතැයි වාර්තාවේ. එජාප ව්‍යවස්ථාව අනුව එම පක්ෂයේ මහ ලේකම්, සභාපති හා භාණ්ඩාගාරික පත්කරනු ලබන්නේ පක්ෂ නායකයා විසිනි. 

තමාගේ පෞද්ගලික රාජකාරි කටයුතු සඳහා වැඩි කාලයක් මිඩංගු කල යුතු බැවින්, තමා වෙනුවට වෙනත් අයෙක් භාණ්ඩාගාරික ධුරයට පත්කර ගන්නැයි සෙනරත් කපුකොටුව මහතා, එජාප නායකයාගෙන් පසුගිය කාලයේ කිහිප අවස්ථාවකම ඉල්ලා ඇත. 

මේ අතර, 'දිවයින' පුවත්පත අද (04) වාර්තාකර ඇත්තේ, ඉහළ තනතුරු හොබවන ප්‍රධානීන් රැසක්‌ පක්‌ෂයේම සිටිමින්, ඔවුන් හෙබවූ තනතුරුවලින් පමණක්‌ ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇති බවයි.

 එසේ, ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත්තේ, ඉදිරියේදී සිදු කිරීමට නියමිත පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට ඉඩ සැලසීමට බව එම පුවත් වාර්තාවේ සඳහන්වේ. 

බස්නාහිරට සන්ධානයෙන් සුසාර දිනාල්

‘සිරස' ටි.වී. නාලිකා ප්‍රධානි සුසාර දිනාල් මහතා ඉදිරියේ දී පැවැත්වෙන බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එම ආයතනයේ නිල රාජකාරිවලින් ඉවත් වී ඇතැයි 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය වාර්තා කරයි. 

ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එම පළාත් සභාවට තරඟ කිරීමට නියමිතය. ඒ අනුව ‘සිරස' ටීවී නාලිකා ප්‍රධානියා ලෙස චන්දන සූරියබණ්ඩාර මහතා පත්කර තිබේ. කෙසේ වුවද සුසාර දිනාල් මහතා ‘සිරස' මාධ්‍ය ජාලයේ උපදේශකයෙකු ලෙස තවදුරටත් එම ආයතනයේ සේවය කරයි. 

මෙතෙක් ‘සිරස සුපර්ස්ටාර්' වැඩසටහන සුසාර දිනාල් මහතා යටතේ පැවති අතර ඔහුගේ ඉවත් වීමත් සමග එම වැඩසටහනේ සමාරම්භකයා වූ නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා ‘දෙරණ ' රේඩියෝවෙන් ඉවත් වී නැවත ‘සිරස ටීවී' වෙත බඳවා ගෙන ඇත. 

Gossip Lanka Hot News Previous News Archive