ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සහ විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ ඉරණම සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ මතු වී තිබෙන ආන්දෝලනය හමුවේ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව වර්ජනය කිරීමට ඉන්දීය අගමැතිවරයා තීරණය කොට ඇති බව බලධාරීහු පවසති.
විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් මහතා, තමන් නියෝජනය කරමින් සමුළුවට සහභාගි වන බව අගමැති මන්මෝහන් සිං දැනටමත් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දැනුම් දී ඇති බව, ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
අගමැතිවරයාගේ තීන්දුව නිළ වශයෙන් සඳුදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අපේක්ෂිතයි.
මන්මෝහන් සිං ගේ තීරණය සනාථ කෙරුණහොත්, කැනඩාවේ අගමැති ස්ටීවන් හාපර්ගෙන් අනතුරුව සමුළුව වර්ජනය කරන බව නිවේදනය කළ දෙවැනි රාජ්‍ය නායකයා ඔහුය.






