ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යැමට හේතුව මෙරටට ගෙන්වන ඩීසල්වල කිසියම් සංඝටකයක්ද යන්න පිළිබඳව වහා පරීක්ෂණ පවත්වන ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික පිළිකා මර්දන ඒකකයේ වෛද්‍යවරුන්ට උපදෙස් දී ඇත.වාහන සඳහා යොදා ගන්නා ඩීසල්වල කිසියම් සංඝටකයක් නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් තිබීම පිළිකා රෝගීන් ප්‍රමාණය වැඩි වීමට හේතුවක්ද යන්න පිළිබඳව ලොව පුරා රටවල අවධානය මේ වන විට යොමු වී ඇතැයිද සෞඛ්‍ය ඇමැතිවරයා එම වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේද පිළිකා රෝගය බරපතළ ලෙස වැඩි වී ඇතැයි ද සංඛ්‍යා ලේඛන අනුව වසරකට පිළිකා රෝගීන් 15000 ක් 20,000 ක් අලුතින් රෝහල්වල ලියාපදිංචි වී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් කීවේය.
පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සඳහා පමණක් 2013 වසරේ සිට 2016 දක්වා රුපියල් කෝටි 450 ක මුදලක් වෙන් කර තිබෙන බව කී ඉහත නිලධාරියා ඉන් රුපියල් කෝටි 90 ක් මෙම වසර සඳහා වෙන් කර තිබෙන බවද කීවේය.ඊට අමතරව පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ මිලට ගැනීම සඳහා පමණක් මෙම වසරේ රුපියල් කෝටි 150 ක් වෙන් කර ඇතැයි කී හෙතෙම මෙතරම් විශාල මුදලක් වැය කළද දිනෙන් දින පිළිකා රෝගීන්ගේ සඛ්‍යාව ඉහළ යාම බරපතළ ගැටලුවක් බව කීය.







