ආසියාවේ සිටින සරාගීම කාන්තාව- පි‍්‍රයංකා චොප්රා - Sexiest Asian woman 2012, Priyanka Chopra

හරියට ම අදින් වසර 12 කට පෙර ලොව පුරා ජනතාව ඇය පිළිබඳ කතා කරන්නට විය. ඒ 2000 වසරේ ලොව සුරූපීම තරුණියට හිමි කිරුළ ඇය විසින් දිනාගැනීම හේතුවෙනි. ඒ මගින් යළිත් වරක් ඉන්දීය මාතාවට කීර්තියක් ගෙන ඒමට ඇය සමත් වූවාය.
වසර 12 කට පෙර ලෝක රූ රැජින කිරුළ දිනාගත් පි‍්‍රයංකා චොප්රා අදට ද සිටින්නේ ලොව සුන්දරතම, ආකර්ෂණීයම තරුණියන් අතර, ඉදිරියෙන් බවට ඇය විසින් සනාථ කර තිබේ. ඒ 2012 වසර ගෙවී අවසන් වන්නට දින ගණනක් පමණක් ඉතිරිව තිබියදී “ආසියාවේ සිටින සරාගීම කාන්තාව“ ට හිමි කිරුළ දිනාගනිමිනි.


බ්‍රිතානයේ සතිපතා පළවන සඟරාවක් වන ‘ඊස්ටර්න් අයි’ සඟරාව අන්තර්ජාලය මගින් සිදුකළ ඡන්ද විමසීමකින් අනතුරුව පි‍්‍රයංකාට මේ කිරුළ හිමි වී තිබේ. විශේෂත්වය වන්නේ මෙවර ඇය ආසියාවේ සරාගීම කාන්තාව බවට පත්ව සිටින්නේ ඉකුත් වසරේ එම කිරුළ හිමිකර ගත් කරීනා කපූර් දෙවැනි ස්ථානයට ඇද දමමින් වීමයි.

එසේම අවස්ථා 3 කදීම මේ කිරුළ දිනාගත් කත්රිනා කයිෆ් මෙවර පත්ව සිටින්නේ තුන්වැනි ස්ථානයට ය. බොලිවුඩ් සිනමාව තුළ තවමත් අංක එකේ රැඳී සිටින කරීනා කපූර් දෙවැනි ස්ථානයට ඇද දමන්නට තරම් හේතු වූ කරුණු කිහිපයක්ම ඊස්ටර්න් අයි සඟරාවේ කර්තෘ අස්ජාඩ් නසීර් පෙන්වා දී තිබේ.

එනම් අන්තර්ජාල විවිධ ව්‍යාපෘති හරහා පි‍්‍රයංකා සක්‍රීයව සම්බන්ධ වී සිටීම, එහිදී ප්‍රේක්‍ෂකයින් යොමුකරන ප්‍රශ්න සඳහා සෘජුව පිළිතුරු දීම සහ තමා අගයන ප්‍රේක්‍ෂක පිරිස් සමඟ පි‍්‍රයංකා අන්තර්ජාලය හරහා මනා සබඳතාවක් ගොඩනඟාගෙන සිටීම යන කරුණුයි. ගෙවී ගිය වසරේදී අනෙකුත් බොලිවුඩ් සුපිරි නිළියන්ට සාපේක්‍ෂව ඇයගේ ප්‍රේක්‍ෂක ගොනුව ශීඝ්‍ර වර්ධනයකට ලක්ව තිබෙන බව කර්තෘවරයාගේ අදහසයි. කරුණු කෙසේ වෙතත් 2012 වසරේ ආසියාවේ සිටින සරාගීම කාන්තාව ලෙසින් කිරුළු දරන්නට ලැබීම පිළිබඳ පි‍්‍රයංකා නම් පසුවන්නේ අසීමිත පී‍්‍රතියකිනි.

“මාව ඉතාමත් ඉහළින් වර්ණනා කර තිබෙනවා. කවුද අකමැති මෙවැනි කිරුළකට නම් වෙන්න. මා වෙනුවෙන් ඡන්දය දැමූ හැමදෙනා වෙනුවෙන්ම කෑ ගසා ස්තූතිය ප්‍රකාශ කරන්න මම කැමතියි” පි‍්‍රයංකා කියයි.

“අග්නීපත්”, “තේරී මේරී ඛානි” සහ “බර්ෆි” යන චිත්‍රපට ඔස්සේ 2012 වසරේ සාර්ථක ගමනක් පැමිණි පි‍්‍රයංකාට වසර ගෙවී යන මොහොතේදී හිමි වූ මේ කිරුළ 2013 වසර සඳහා මනා අඩිතාලමක් සකස් කර තිබෙන බව විචාරකයින්ගේ අදහස වී තිබේ. ඊස්ටර්න් අයි සඟරාවේ කතුවරයාගේ වචනයෙන් කිවහොත් මේ කිරුළ දිනාගැනීම මගින් 2013 වසරේදී හොලිවුඩ් තරුවක් වීමේ පි‍්‍රයංකාගේ සිහිනය සැබෑ කර ගැනීමට අඩිතාලමක් වැටී ඇත.

පි‍්‍රයංකාගේ වත්මන් ජනපි‍්‍රයත්වයට හුදෙක්ම හේතු වී ඇත්තේ ඇගේ රූ සපුව හෝ රඟපෑම පමණක්ම නොවේ. ගීත රචිකාවක මෙන්ම ගායිකාවක ලෙසින් ද ඇය සතු කුසලතා ඇගේ ජනපි‍්‍රයත්වයට අඩු වැඩිය සපයයි. ඇගේ කුළුඳුල් ගීත ඇල්බමය වන “ඉන් මයි සිටි” එළිදක්වා තවමත් ගෙවී ඇත්තේ මාස 4 කටත් අඩු කාලයකි. එසේම ලේඛිකාවක ලෙසින් ද ඇය මේ වන විට ඉන්දියානුවන් අතර ජනපි‍්‍රය වී සිටින්නේ කාන්තාවන්ගේ ගැටලු වෙනුවෙන් ඇය ඒ මගින් හඬ නැඟීම හේතුවෙනි.

“හින්දුස්ථාන් ටයිම්ස්” පුවත්පතට තීරු ලිපියක් ලියන පි‍්‍රයංකා එමඟින් ඉන්දීය කාන්තාව වෙනුවෙන් හඬක් නඟමින් සිටින්නීය. “මම පෞද්ගලිකත්වය ඉහළින්ම අගය කරන කෙනෙක්. මම කවදාවත් හිතුවේ නැහැ මගේ හැඟීම් පැහැදිලිව විස්තර කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් පුදුමයකට වගේ මම ලියන්න පටන් ගත්තහම මගේ අභ්‍යන්තර සිතිවිලි එළියට ගන්න මට පුළුවන් වෙලා තියෙනවා” පි‍්‍රයංකා කියයි.

එම තීරු ලිපි සඳහා ලැබෙන පේ‍්‍රක්ෂක ප්‍රතිචාර සහ යොමුකෙරෙන ප්‍රශ්න සඳහා ද ඇය පිළිතුරු සපයන්නේ “මේ ලිපි ලියන්නේ මමමයි කියන එක මගේ ප්‍රේක්‍ෂකයින්ට සනාථ වෙන්න ඕනේ. ඔවුන්ගේ ලිපි කියවා පිළිතුරු දෙන්නෙත් මම කියන එක ඔවුන්ට අවබෝධ කරවන්න මට ඕනේ” යැයි පවසමිනි. සමාජ ගැටලු කුමක් පිළිබඳ ඇය කතා බහ කළද තම පෞද්ගලික ජීවිතය පිළිබඳ කතාබහ නොකර සිටීමට ඇය වගබලාගෙන තිබේ.

“මම මෙතෙක් නොකළ සහ කවදාවත් නොකරන දෙයක් තමයි මගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීම” වරෙක ට්විටර් හරහා ඇය ප්‍රකාශ කර තිබිණි. මේ නිසාම ෂාහිඩ් කපූර් සහ පි‍්‍රයංකා අතර ඇත්තේ කුමනාකාරයේ බැඳීමක් ද යන්න පිළිබඳ දැනගැනීමට ඇගේ රසික රසිකාවියන් දෑස් දල්වා බලා සිටිය ද ඵලක් නොවනු ඇත.

පි‍්‍රයංකා මේ දිනවල අභියෝගාත්මක චරිතයක් වෙනුවෙන් සූදානම් වෙමින් සිටී. ඒ මෙතෙක් ඉන්දියාව බිහිකළ හොඳම බොක්සිං ක්‍රීඩිකාව වන මේරි කොම් ගේ කතා පුවත පදනම් කර ගනිමින් නිර්මාණය කෙරෙන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයයි. එහි අඩිතාලම සකස් කර ගැනීම වෙනුවෙන් මේරි කොම් හමුවූ පි‍්‍රයංකා, මේරි ලබා දුන් පිළිතුරු හරහා තරමක් අසීරුතාවකට පත්වූවාය. 2012 ඔලිම්පික් උළෙලේ කාන්තා බොක්සිං ලෝකඩ පදක්කම ඉන්දියාවට දිනා දුන් මේරි කොම් උදෑසන 04 ට අවදි වීමත්, පැය 3 කට ආසන්න කාලයක් ව්‍යායාම්වල නිරතවීමත් පි‍්‍රයංකාට ගැටලුවකි.

“මම වැඩිය ව්‍යායාම් කරන කෙනෙක් නෙවෙයි. මම ජිම් එකකට යන්නේ නැති තරම්. ඒත් මේ චරිතය වෙනුවෙන් මේරි තරමට මම ශරීරය හදාගන්න ඕනේ. ඒ තරම් ශක්තිමත් වෙන්න ඕනේ. නිවැරදි බොක්සිං චලන ඉගෙන ගන්නත් ඕනේ. ඒ නිසා ඇත්තටම මම ඉන්නේ තරමක් තැතිගැන්මකින්” පි‍්‍රයංකා කියයි.

එහෙත් පි‍්‍රයංකා යනු අභියෝග ජයගන්නා තරුණියකි. ඒ අනුව මේ අභියෝග ද ඇය සාර්ථකව ජය ගනු ඇත. සංජේ ලීලා භන්සාලි ගේ නිෂ්පාදනයක් ලෙසින් එළිදැක්වීමට නියමිත එම චිත්‍රපටය රිදී තිරයට පැමිණෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් වී නැත. එහෙත් ඩොන් වැනි ක්‍රියාදාම චිත්‍රපට සඳහා දායක වූ ඇයට මේ අභියෝගය ද ජය ගැනීමට හැකිවනු ඇති බව විචාරක අදහස වී තිබේ.

Time of india ඇසුරිනි








Gossip Lanka Hot News Previous News Archive