අපරාධ නඩු විධාන සංග‍්‍රහය විශේෂ විධිවිධාන පනත (පැය 48ක කාලයක් රඳවා ගැනීම)

ආණ්ඩුව විසින් අපරාධ නඩු විධාන සංග‍්‍රහය විශේෂ විධිවිධාන පනත අතීතයට බලපාන පරිදි පසුගියදා සම්මත කිරීම තුළින් අයුතු ලෙස පුද්ගලයන් රඳවා තබා ගැනීමට එරෙහිව ගොනුකර ඇති මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් නඩු බොහොමයක් බලරහිත තත්ත්වයකට පත්වීමේ අවදානමක් තිබෙන බව වාර්තා වේ.

පසුගිය 22 වැනිදා ආණ්ඩුව විසින් වැඩි ඡුන්ද 77කින් සම්මත කරන ලද අපරාධ නඩු විධාන සංග‍්‍රහය විශේෂ විධිවිධාන පනත අනුව 2009 මැයි මස 31 දින සිට අතීතයට බලපාන පරිදි එම පනත ක‍්‍රියාත්මක වේ.


පනත තුළ දක්වා ඇත්තේ 2007 අංක 42 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහය විශේෂ විධිවිධාන මගින් හෝ එම පනත යටතේ පවරන ලද යම් බලතල, කාර්ය හා කර්තව්‍ය ක‍්‍රියාත්මක කරනු ලැබූ හෝ ඉටුකරනු ලැබූ අවස්ථාවක ඉහත පනතේ ප‍්‍රතිපාදන එකී කාලසීමාව තුළ (2009 මැයි 31 සිට පනත නැවත ක‍්‍රියාත්මක වූ 2013 ජනවාරි 22 දින දක්වා) වලංගු ලෙස ක‍්‍රියාත්මක කර හෝ ඉටුකර ඇති බව සලකනු ලැබිය යුතු බවයි.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසුවේ

මම මේ පනතට විරුද්ධයි. මේ පනත රටට පසුගාමී ආකාරයෙන් බලපාන්න පුළුවන්. පැය 48ක කාලයක් රඳවා ගැනීම හරහා පැය 24කට වඩා රඳවා තබාගැනීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුකරවලට ගිය පුද්ගලයන්ට අසාධාරණයක් සිදුවනවා. මේ නීතිය අතීතයට බලපාන පරිදි බලාත්මක කිරීම හරහා. එහිදී 2009 මැයි 31 සිට අද දක්වා ඒ සම්බන්ධව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් නඩු අහෝසිවීමට පුළුවන් යනුවෙන්ය.

එමෙන්ම මෙම පනත තුළ ආරම්භයේ පටන්ම ගැටලූවක් තිබෙනවා. ජාත්‍යන්තරවත්, අපේ රට තුළත් පැය 24ක් තබාගැනීම මානව හිමිකම් අනුව ගැටලූකාරී තත්ත්වයක්. ඒ වගේම මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ සඳහන් අත්තනෝමතිකව සිරභාරයේ තබාගැනීම කියන කාරණය සාමාන්‍ය සම්මත නීතියක් මගින් වෙනස් කරන්න බැහැ. එහෙනම් කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් එම විශේෂ විධිවිධාන පනත සම්මත කරගන්නා එකයි. එහෙම බැලූවාම හැකියාව තිබෙනවා මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර අර්ථනිරූපණ ලබාගන්න යම් ලෙසකදී ඒ සම්බන්ධව ගැටලූවක් පැන නැගුණහොත්. එවැනි සිද්ධියකට උදාහරණයක් තමයි සේපාල ඒකනායක නඩුවේදී ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ඉදිරිපත් කළ තර්කය. එහිදී ඔහු ප‍්‍රශ්න කළා සාමාන්‍ය පනතද බලාත්මක එසේත් නැතිනම් මූලික අයිතිවාසිකම්ද වඩා උත්තරීතරවන්නේ කියලා. මේ ගැටලූවත් එවැනිම ආකාරයේ එකක් වන බවට කිසිදු සැකයක් නැහැ යනුවෙන්.

ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

මේ පනත පිළිබඳව ජාත්‍යන්තරය ඕනෑකමින් බලාවි. මොකද අපි විසින්ම සකස් කර ජාත්‍යන්තරයට ලබා දුන් උගත් පාඩම් කොමිසමේ වාර්තාව අනුව එහි 5 වන පරිච්ඡේදයේ පැහැදිලිව මානව හිමිකම් සම්බන්ධව දක්වන 9.4 කොටසේ දක්වලා තිබෙනවා යම් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් වහාම මහේස්ත‍්‍රාත් වෙත යොමු කළයුතු බව. ඒ අනුව අපි හදපු වාර්තාවම බලරහිත කරමින් පසුගියදා, පැය 48ක් රඳවා ගැනීම සඳහා නීතියක් සකස් කිරීම මගින් ඊළඟ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී අපේ රට, නිතැතින්ම අභියෝගයට ලක්වේවි. යනුවෙන්ද මහානාම හේවා මහතා කීවේය.

මේ පිළිබඳව අප කළ විමසීමේදී ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ මහතා පැවසුවේ

මෙවැනි නීතියක් ගෙන ඒම හරහා අතීතයේදී ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩුවලදී මේ අයට මුක්තියක් ලැබෙනවා. අවුරුදු දෙසීයක කාලයක පටන් තිබුණේ පැය 24ක කාලයක් රඳවා ගැනීම පමණයි. නමුත් මේ අය අතීතයටත් බලපාන අයුරින් පැය 48ක් රඳවා ගැනීමට නීති ගෙන ඒම මූලික අයිතිවාසිකමක් කඩකිරීම හා සමානයි. මීට පෙරදී අත්තනෝමතිකව සිරභාරයේ තබා ගැනීම වෙනුවෙන් ඊට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු පැවරූවන්ගේ නඩු අභියෝගයට ලක්වීමට පුළුවන්. මේක මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සම්බන්ධව බරපතළ ගැටලූවක් වේවි. සිරිසේන කුරේ නඩුවේදී හා වාද්දුව නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කළා පැය 24ට වඩා රඳවා ගැනීම බරපතළ වරදක් බවය.

මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී නීතිපති පාලිත ප‍්‍රනාන්දු පැවසූයේ,

මේ සම්බන්ධව පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු විශාල වශයෙන් තිබෙනවායැයි මම හිතන්නේ නැහැ. අපරාධ නීතියේදී කාර්ය පටිපාටි නීතිය අනුව අතීතයට බලපාන ආකාරයට මෙලෙස නීති සැකසිය හැකියි. එවැනි නීති සෑමවිටම අතීතයට බලපානවා. මම හිතන්නේ නැහැ මෙම රඳවා ගැනීමේ කාර්ය පැය 48ක් දක්වා දීර්ඝ කිරීම ගැටලූසහගත එකක්වේය යනුවෙනි.
 
උපුටා ගැනීම - රාවය

Gossip Lanka Hot News Previous News Archive

Related Posts Plugin for WordPress, Blogger...