රට අරාජිකත්වයකට යෑම වළක්වන්න බැහැ - ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් වටගල

මේ වන විට දෝෂාභියෝගය එක්තරා කඩඉමකට පැමිණ තිබෙනවා. ආණ්ඩුව දෝෂාභියෝගය සම්මත කරගත්තාය කියන පදනම මත බලහත්කාරී ලෙස නව අග‍්‍රවිනිශ්චයකාරවරයකු පත්කරගෙන තිබෙනවා.

 මේ සියලූ අවාසනාවන්ත සිදුවීම් සමග ඉතා මෑතක සිදුවූ අවාසනාවන්තම සිදුවීම තමයි මීට දින දෙක තුනකට උඩදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුවුණේ. දෝෂාභියෝගය අභියෝගයට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම් තුන පිළිබඳව තර්ක කිරීම කළ යුතුව තිබුණත් නීතිපතිවරයා ඉල්ලීමක් කළා එම පෙත්සම් පූර්ණ විනිශ්චය මණ්ඩලයකට යොමුකළ යුතු බව. 

ඒ අනුව එය නව අග‍්‍රවිනිශ්චයකාරවරයා වෙත යොමු කළ යුතු බවට ඉල්ලීමක් කළා. ඒ අවස්ථාවේදී එම පෙත්සම් තුන වෙනුවෙන් පෙනී හිටපු රටේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් සියලූදෙනා එකවිට කියාහිටියා නීත්‍යනුකූලව පත්කරපු අග‍්‍රවිනිශ්චයකාරවරයෙක් මේ ගොඩනැගිල්ල තුළ නැති බවත් දැනට රට තුළ සිටින්නේ එකම අග‍්‍රවිනිශ්චයකාරවරියක් බවත් ඇය ශිරාණි බණ්ඩාරනායක බවත්. ඒ වගේම ඔවුන් පැහැදිලිව කියාසිටියා දැන් සිටින අග‍්‍රවිනිශ්චයකාරවරිය නීත්‍යනුකූලව පත්කරපු අග‍්‍රවිනිශ්චයකාරවරයෙක් නොවන බව. ඒ සියලූම දේ බැලූවත්, පසුගිය කාලයේදී දෝෂාභියෝගය විනිශ්චය කරපු ආකාරය බැලූවත් මේ ඛේදවාචකය හොඳින්ම පැහැදිලි වෙනවා. 


ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.එල් ගුණසේකර මහත්මයා කියන ආකාරයටත් අපිට පෙනෙන ආකාරයටත් මේ අග‍්‍රවිනිශ්චයකාරවරයා ඉදිරියේදී ලබාදෙන නඩු තීන්දු නීති විරෝධි නඩු තීන්දු බවට පත්වෙනවා. එවැනි නඩු තීන්දු හරහා විය හැකි දේ තමයි අධිකරණය අපහාසයට ලක්වීම. එවැනි වරදක් අවුරුදු විස්සක් යනකම් දණ්ඩ නීති සංග‍්‍රහය අනුවත්, සියලූ අපරාධ නීති අනුවත් බරපතළ වරදක්. ඒක නිසා එවැනි තත්ත්වයක් තුළ සිදුවන දෑ වෙනුවෙන් කෙදිනක හෝ මේ රටේ මහජනතාවට ඒවාට වන්දි ගෙවන්න සිදුවේවි. එවැනි නීතිවිරෝධී නඩු තීන්දුවලට සම්බන්ධ වන අයට වන්දි ගෙවන්න සිදුවේවි. මේ සිදුවීම් එක්ක නීතිය මහා අභාවාචකයක් බවට පත්වනවා.

 එහෙම බලපුවාම මේ සමස්ත කි‍්‍රයාවලිය පුරාම කරලා තියෙන දේවල්වලට අනුව මේ කරලා තියෙන්නේ තමන්ගේ දේශපාලන න්‍යායපත‍්‍රවලට අනුව කටයුතු කිරීමක්. ඒ අනුව තමන්ගේ දේශපාලනික බලහත්කාරකම මත තමයි අග‍්‍රවිනිශ්චයකාරවරයකු පිටතින් ගෙන එන්නේ. ඒ දේ කරන්න එපා කියලා රටේ සියලූම පාර්ශ්ව කිව්වා. එහෙම දෙයක් නොකිව්වා නම් ඒ ආණ්ඩු ගැති ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, ඔවුන්ගේ කේවට්ටයන් සහ ඔවුන්ගේ ප‍්‍රවේණිදාසයන් පමණයි. ඒ ඇරෙන්න ජාත්‍යන්තරය ඇතුළු රටේ සියලූදෙනා මේ අමනෝඥ කි‍්‍රයාව සිදුකරන්න එපා කියලා කිව්වා. එහෙම කිව්වේ කිසියම් හේතුවක් ඇතිවයි. ඒ හේතුව තමයි නීතියේ ආධිපත්‍ය, නීතියේ බලය කවදාහරි අපට අහිමි වෙයි කියන කාරණය.

 අද වෙද්දී ඒ තත්ත්වය උදාවෙලා තිබෙනවා. නීතිය මහජනයා නොසලකන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය දුන් තීන්දු ආණ්ඩුව පිළිනොගත්තාට පස්සෙ ජනතාව කියන්න පටන් ගත්තා මේ රටේ නීතියට, මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට ආණ්ඩුව ගරු නොකරන බව. නීතියට, රටට එවැනි තත්ත්වයක් උදාවුණාට පසුව රටේ මහජනතාව ස්වේච්ඡුාවෙන් තමන්ට ඕනෑ ඕනෑ විදියට නඩු විසඳාගන්නවා විනා අධිකරණයට ගරුකර නීතියට ගරුකර යුක්තිය ලබාගැනීමට නොපෙළඹෙන තත්ත්වයකට මේ රට පත්වෙනවා. එවිට සිදුවන්නේ රට අරාජිකවීමයි.

අපේ රට ලෝකයට පෙන්නලා ඉවරයි අපි නීතියට අනුව කටයුතු කරන රටක් නොවන බව. අපේ රට ලෝකයට පෙන්නලා ඉවරයි අධිකරණ තීන්දුවලට ගරු නොකරන රටක් බව.

ඒක ජාත්‍යන්තරව අපේ රටට හොඳ නැහැ. නීතියේ ආධිපත්‍යයට හොඳ නැහැ. මෙන්න මේ නීතියේ අභාවාචකය තමයි හෙට දවසේ අපේ රටට එරෙහිව පෙළගැහෙන්නේ. මේ සියලූ දේවල් තුළ පෙනෙන්න තියෙන්නේ ඒකාධිපතිත්වය සහ බලහත්කාරකම පමණයි. මේ ඒකාධිපති ගමන ආපස්සට හරවන්නේ නැතිව රට අරාජිකත්වයකට යෑම වළක්වන්න බැහැ. මේ ඒකාධිපති ගමන වළක්වන්න පෙළගැහෙන්න ඕනෑ. ජන බලයට පමණයි මේ යන ඒකාධිපති ගමන නවත්වන්න හැකිවෙන්නෙත්. ඒ සඳහා රටේ මහජනතාව පෙළගැසිය යුතුයි.

මහජනතාවට අත්වන ඉරණම ඉතාම භයානකයි
ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ

අපි නීතිඥ ප‍්‍රජාව විදියට අග‍්‍රවිනිශ්චයකාරවරියට විරුද්ධව ගෙන ආ දෝෂාභියෝගය නීති විරෝධී එකක් බවත් ආචාර ධර්මවලට පටහැනි එකක් බවත් පිළිඅරගෙන අපි ඊට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව විරෝධතාවක් ගෙන ගියා. එහෙත් ඒ සියල්ල පැත්තකට දාලා ආණ්ඩුව ආණ්ඩු බලය, පොලිස් බලය සහ හමුදා බලය පාවිච්චි කරමින් එම විරෝධතාවන් මර්දනය කරලා අග‍්‍රවිනිශ්චයකාරවරිය එම ධුරයෙන් පහකරන්න කටයුතු කළා. එපමණක් නොවෙයි ඉතාම පහත් විදියට සලකමින් ඇයව නිල නිවාසයෙනුත් ඉවත් කරමින්, අධිකරණයට නීතිඥයන්ටවත් පැමිණෙන්න ඉඩ නොදෙමින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව මේ ආණ්ඩුව කටයුතු කළා.

නව අග‍්‍රවිනිශ්චයකාරවරයා පත් කළත් ඒ පත්කිරීම කළේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට පිටින් කි‍්‍රයාකරමින්. ඒ නිසා අපි මේ අග‍්‍රවිනිශ්චයකාරවරයාව පිළිගන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අපි මේ රටේ නීත්‍යනුකූල අග‍්‍රවිනිශ්චයකාරවරිය වශයෙන් පිළිගන්නේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පමණයි.

එතුමිය එම ධුරයෙන් ඉවත්කරන්න විවිධ මඩ ප‍්‍රහාර මේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළා. එතුමිය විවිධ විෂමාචාර කළාය, එතුමිය ඒවාට උත්තරනොදුන්නේය වැනි බොරු ප‍්‍රචාර දියත් කළා. එහෙත් එතුමිය ආණ්ඩුවට අවශ්‍ය තීන්දු ලබාදුන් අවස්ථාවල ආණ්ඩුව ඇයට මෙවැනි කිසිදු චෝදනාවක් එල්ල කළේ නැහැ. අපි කවුරුත් පිළිනොගන්නා දහඅටවන ව්‍යවස්ථා සංශෝධනයේදී ඇයට එවැනි චෝදනා ඉදිරිපත් වුණේ නැහැ. එහෙත් ඉසෙඞ්ස්කෝර් නඩුවේදීත්, දිවි නැගුම පනත පිළිබඳවත් ඇය ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමේදී ආණ්ඩුව ඇයට මෙලෙස චෝදනා ඉදිරිපත් කළා. මෙවැනි දේ හරහා අපට පැහැදිලිවම පේනවා අග‍්‍රවිනිශ්චයකාරවරියව ඉවත්කරන්න මේ අයට අවශ්‍ය වුණේ තමන්ට අවශ්‍ය තීන්දු ලබානොදීම නිසයි. එවැනි පක්ෂපාති තීන්දු ලබා නොදීම නිසා එතුමියට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනැවිත් ඉතාම අප‍්‍රසන්න හා නීති විරෝධී විදියට එතුමියව ධුරයෙන් පහකර දැමුවා.

අපි මේ සියලූම නීති විරෝධී කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ඉදිරියටත් කටයුතු කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන රටක් තුළ අපිට හැකියාව තිබෙන්න ඕනෑ නීති විරෝධි දෙයකට විරුද්ධ වන්නත්, යම් ආණ්ඩුවක් ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරනවා නම්, නීති විරෝධි හා මර්දනකාරී ලෙස කටයුතු කරනවා නම් ඒවාට විරුද්ධ වන්න අපට ජනතාව හැටියට අයිතියක් තිබෙනවා.

 එහෙත් මේ ආණ්ඩුව නීති විරෝධීව ගෙන ආ දෝෂාභියෝගයට විරුද්ධ වුණු නීතිඥයන්ට මරණ තර්ජන සහිත ලියුම් එවන්න පටන් ගත්තා. ඒවායින් අපි නොසැලෙන බව කියන්න ඕනෑ. අපි නීතිය වෙනුවෙනුත් මහජනතාව වෙනුවෙනුත් ඉදිරියටත් කටයුතු කරනවා. නීතියේ ආධිපත්‍ය නැති වුණෙත්, නීතිය ඉදිරියේදී විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරයෙන් සැලකීමට ලක් වුණෙත් එයින් අසාධාරණයට පත්වන්නේ මේ රටේ ජනතාවමයි. ඒ නිසා අපි නීතිඥයන් විදියට මහජනතාව වෙනුවෙනුත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙනුත් මේ අරගලය ඉදිරියටම ගෙන යන්න සූදානම්. කැලණියේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයාව ඝාතනය වුණාම සාක්ෂි සටහන්වලදී අත්අඩංගුවට ගත්තේ ආණ්ඩුවේම ඇමතිවරයකුගේ ලේකම්වරු දෙදෙනෙක්ව. ඒ වගේම අදාළ අමාත්‍යවරයාට එම ඝාතන පිළිබඳව සෘජුවම චෝදනා එල්ල වුණා. එහෙත් අපි අද වනතුරු බලාගෙන ඉන්නවා ඒ අමාත්‍යවරයාගෙන් කටඋත්තරයක් ගන්නකම්. ඔහු වෙනදාටත් වැඩිය ස්ථාවරව කැලණියේ තමන්ගේ රැස්වීම් පවත්වමින් අද කටයුතු කරනවා. නීතියේ ආධිපත්‍ය බිඳවැටීම ඒ උදාහරණයෙන්ම පෙන්වා දෙන්න පුළුවන්. අපි නැවතත් අධිකරණයේ වර්තමාන තත්ත්වය ගැන කතා කළොත් දැන් පත්කරලා තිබෙන අග‍්‍රවිනිශ්චයකාරවරයා ආණ්ඩුවට බොහෝම පක්ෂපාති කෙනෙක්. ඔහු කැබිනට් මණ්ඩලයේ හිටපු නීති උපදේශක. ඔහු සෙලාන් බැංකුවේ සභාපති වශයෙන් කටයුතු කළා.

 ඒ වගේම ආණ්ඩුවේම ආරක්ෂක සමාගමක් වන රක්නා ලංකා ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් ඒ වගේම ලංකාවට ආයුධ ගෙන්වන ලංකා ලොජිස්ටික් ආයතනයේත් සභාපතිවරයෙක්. ඒ වගේම පසුගිය මානව හිමිකම් කවුන්සිලයේදී ආණ්ඩුව නියෝජනය කරමින්, ආණ්ඩුව බේරාගන්න කටයුතු කරන්න ආණ්ඩුවෙන් යවපු නියෝජිතයා තමයි මොහාන් පීරිස් මහත්මයා. ඉතින් එහෙම බලපුවාම පැහැදිලිවම පෙන්වා ඔහු විධායකය ආරක්ෂා කරපු, විධායකය වෙනුවෙන් කටයුතු කළ කෙනෙකු බව. එවැනි පුද්ගලයකු අග‍්‍රවිනිශ්චයකාරවරයා වුණු රටක මහජනතාවට සාධාරණත්වය ලැබේවිද යන්න අපි සියලූම දෙනා සිතාබැලිය යුතුයි. ඒ වගේම ඔහුට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩකිරීම පිළිබඳව චෝදනාවක් වගේම අල්ලස් පිළිබඳව චෝදනාවකුත් තිබෙනවා. එහෙම බලපුවාම අග‍්‍රවිනිශ්චයකාරවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එවැනි චෝදනා තිබුණේ නෑ. යම් නඩුකරයක් තිබුණ නම් ඒ තිබුණේ එතුමියගේ ස්වාමිපුරුෂයාට විරුද්ධව පමණයි. මේ අවස්ථාව වන විට දෝෂාභියෝගයට පක්ෂව කටයුතු කරපු සරත් සිල්වා වැනි පුද්ගලයන් හා ගෝමීන් දයාසිරි වැනි පුද්ගලයන් අද මේ පත්කිරීමට විරුද්ධව කතා කරනවා. 

මේ දේවල් ජනතාව තේරුම්ගත යුතුයි. ඉදිරි කාලයේදී අධිකරණයේ කටයුතුත්, විධායකයට අවශ්‍ය තීන්දු තීරණත් විධායකයටම අවශ්‍ය ආකාරයට තීරණය වන්නත්, පහළ අධිකරණවලට ඒ බලපෑම ගමන් කරන්නත් ඉඩ තිබෙනවා. ඒ වගේම දේශපාලනඥයන්ගේ බලපෑම් ඒ ඒ පළාත්වලට අදාළ පළාත්බද අධිකරණවලට බලපාන්න බොහෝදුරට ඉඩ තිබෙනවා. නීතිඥවරු විදියට තියෙන නීතියකට අනුව කටයුතු කරලා යම් මුදලක් ලබාගෙන ගෙදර යන්න පුළුවන්. එහෙත් මේ අපි සටන්කරන්නේ මහජනතාව වෙනුවෙන්. ඔවුන්ට සාධාරණ ලෙස යුක්තිය ලබාගැනීමට ඇති අයිතිය වෙනුවෙන්. නීතියේ ස්වාධිපත්‍ය නැතිවෙලා නීතියට ඉහළින් පුද්ගලයන් ඉඳීම හරහා මහජනතාවට අත්වන ඉරණම ඉතාම භයානකයි.

එය නතර කිරීමට අපිට බැරි වුණා
ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී වැලිඅමුණ

නීත්‍යනුකූල අග‍්‍රවිනිශ්චයකාරවරිය සිය ධුරයෙන් ඉවත්කරපු ක‍්‍රමවේදය සම්පූර්ණ වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් විරෝධී නීත්‍යනුකූල නොවන්නක් බව මුළු ලෝකයම දන්නවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට ගරු නොකර නව අග‍්‍රවිනිශ්චයකාරවරයකු පත්කිරීම සිදුකරලා තිබෙනවා. එම පත්කිරීමත් සමගම ආණ්ඩුක‍්‍රමය පිළිබඳව අර්බුදය තවදුරටත් ව්‍යාකූලවෙලා තිබෙනවා. එලෙසම ඇතිවුණු ගැටලූවට විසඳුම් සොයනවා වෙනුවට ජනාධිපතිවරයා මෙලෙස නව පත්කිරීම සිදුකර තිබෙනවා.

නීතිඥ ප‍්‍රජාව මහජනතාව සමග එක්ව අරගල කළේ දෝෂාභියෝගය වැළැක්වීමට. එය නතර කිරීමට අපිට බැරි වුණා. නැවතත් එම අරගලය කලින් තිබුණු ස්වරූපයටම ගෙන යන්න හැකියාවක් නැහැ. එවැනි අරගලයකට නැවතත් යනවා නම් නීතිඥ ප‍්‍රජාවෙන් ඔබ්බට ගොස් එම කි‍්‍රයාවලිය කළ යුතුයි. ඒ සඳහා අපට පුළුවන් අවශ්‍ය දැනුවත්වීම් කරන්න. ඒ වගේම යම්කිසි බලපෑමක් කරන්න නීතිඥ ප‍්‍රජාව හැටියට අපට හැකියාවක් තිබෙනවා මේ කාරණාවලට විරුද්ධව.

අග‍්‍රවිනිශ්චයකාරවරිවට දෝෂාභියෝගයට ලක්කළාට වඩා බරපතළ කාරණයක් තමයි දැන් මතුවෙලා තිබෙන්නේ. නීතියේ ස්වාධිපත්‍ය නැවත පිහිටුවීමේ අරගලයකයි දැන් අපට නියලීමට සිදුවෙලා තිබෙන්නේ. ඒ දෙස බැලීමයි දැන් අවශ්‍ය වන්නේ මගේ මතය අනුව. මේකේදී නීතිඥ මහත්වරුන්ට නෝනලාට ප‍්‍රශ්නයක් වන්නේ නැහැ. ජනතාවගේ නඩුවලට සහ ජනතාවට තමයි මේකෙන් බලපෑම් සිදුවන්නේ. අවසාන වශයෙන් මහජනතාවට කියන්න තිබෙන්නේ ඒ යථාර්ථයට සූදානම් වෙන්න කියලා පමණයි.

මම රජයට දොස් පවරන්නේ නැහැ

ජනාධිපති නීතිඥ ශි‍්‍රනාත් පෙරේරා

මම එදත් කිව්වා. අදත් කියනවා. මේ රට ඒකාධිපති පාලනයක් කරා ගමන්කරන බව පැහැදිලිවම පේනවා. මේ මෑත අතීතයේ සිදුවුණු සියලූම කරුණු දිහා බලපුවාම ඒක ඉතාම පැහැදිලියි. ඒ කි‍්‍රයාවලියට අමතරව අපි දකිනවා මේ රට මර්දනකාරී කි‍්‍රයාමාර්ගවලටත් ගමන් කරමින් තිබෙන බව. ඊයේ පෙරේදා සම්මත කළා අපරාධ නඩු විධාන සංග‍්‍රහයට නව සංශෝධනයක්. ඒ සංශෝධනයෙන් බලය ලබාදෙනවා පුද්ගලයෙක්ව පැය හතළිස් අටක් පොලිස් භාරයේ තබාගන්න. පැය විසිහතරක් පොලිස් භාරයේ තබා ගැනීම තුළිනුත් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන යුගයක එම කාලය පැය හතළිස් අටකට ගෙන යාමෙන් පසු මහජනතාවගේ අයිතිවාසිකම් සියල්ලම පාහේ සීමාවීමකට ලක්වෙනවා. මේවට මම රජයට දොස් පවරන්නේ නැහැ. 

මේවා සම්බන්ධයෙන් මම වෙන කාටවත් දොස් පවරන්නේ නැහැ. එහෙත් මේ වගේ සිද්ධිදාමයක් රට තුළ සිදුවන අවස්ථාවේදීත්, මේ වගේ අණ පනත් මගින් හා කි‍්‍රයාකාරකම් මගින් රටේ මහජනතාවගේ අයිතිවාසිකම් විපර්යාසයකට ලක්වන අවස්ථාවේදී, මහජනතාව වැටෙන්න පුළුවන් අන්තිම පහළ තැනට වැටෙද්දී නිශ්ශබ්දව බලාසිටින පුද්ගලයන් ගැන මේ රටේ ඉතිහාසය ලියවෙන දවසට මේ රටේ මිනිස්සු සාප කරන්නේ මේ රජයට නෙමෙයි. ඔවුන් සාප කරන්නේ මේ තරම් ව්‍යසනයන් රටට සිදුවෙද්දීත් ඊට නිශ්ශබ්දව, අකර්මන්‍යව ඒ දිහා බලාගෙන හිටපු සහ ඒවාට විරුද්ධව යම්දෙයක් කිරීමට හැකිව තිබියදීත් නිසොල්මනේ ඒවා දිහා බලාගෙන හිටපු පුද්ගලයන්ටයි. අපේ අනාගත පරම්පරාව ඔවුන්ට සාපකරාවි කියන්න පමණයි. අද මට කියන්න පුළුවන්. අපි බලමු අනාගතයේදී මොනවා සිදුවේවිද කියලා. අපි මීට කලින් කිව්වා අනාගතය අඳුරුයි කියලා. අපි බලාගෙන ඉමු අපි කියපු වැකි හරිද වැරදිද කියලා. ඒක වැරදි නම් මේ රටේ ජනතාවට තවත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. අපි කියපු දේවල් හරි නම් අපේ අයිතිවාසිකම් වැළලී යනු ඇති බව පමණයි කියන්න පුළුවන්.

ආණ්ඩුව මේ කිසිදේකට යටත් වුණේ නැහැ

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක

පසුගිය මාස තුන හතර තුළ අපි දීර්ඝ සටනක් ගෙනගියා අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍ය ආරක්ෂාකර ගැනීම සඳහා. අප ගෙන ගිය ඒ සටන තුළදී සෑමදෙයක් සම්බන්ධයෙන්ම අපිට ජයග‍්‍රහණ අත්වුණා. අපිට පුළුවන් වුණා අධිකරණයේ නඩු පවරලා ඒ සියල්ලගෙන්ම ජය ලබාගන්නට. ඒ වගේම අපිට පුළුවන් වුණා මේ රටේ සිවිල් සමාජය සහ සිවිල් කි‍්‍රයාකාරීන් අවදි කරන්නට මේ ප‍්‍රශ්නය පිළිබඳව. මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු අනෙකුත් ආගමික නායකයන් පවා මේක කරන්න එපා කියන තත්්ත්වයකට ගේන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන්න වූ රටවල නීතිඥ සංගම් සියල්ලක්ම පාහේ සහ රාජතාන්ති‍්‍රකයන් පවා මේක කරන්න එපා කියලා හ`ඩ නගන තත්ත්වයකට ගේන්න අපට පුළුවන් වුණා. ෆූටා සටන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ජනතාව අතරට ගෙන ගියා සේම අපට හැකිවුණා අධිකරණයේ තිබෙන ප‍්‍රශ්නයත් මහජනතාව අතරට ගෙන යන්න. ඒත් ආණ්ඩුව මේ කිසිදේකට යටත් වුණේ නැහැ.

මේ සටනේදී අපි දැන් ඇතුළුවෙලා තිබෙන්නේ නව පරිච්ෙඡ්දයකට. දැන් අපට තිබෙන්නේ නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ සටන නෙමෙයි ඒවා නැවත දිනාගැනීමේ සටනයි. ඒ සටන පසුගිය වර මෙන් බලපෑම් කරන්නා වූ කෙටි සටනක් නෙමෙයි. එය දීර්ඝකාලීන සටනක්. ඒ සටන මේ ආණ්ඩුව ලව්වා හෝ වෙනත් ආණ්ඩුවක් ලව්වා මේ ක‍්‍රමය ආපස්සට ගෙන යන දීර්ඝ සටනක්. ඒ සටන අපට හුදකලාව ගෙන යන්න බැහැ. ඒ සටන ගෙන යන්න හැක්කේ මහජනතාව ඊට සම්බන්ධ කර ගැනීමෙන් පමණයි. ඒ නිසා නීතිඥ ප‍්‍රජාවගේ අද තිබෙන ප‍්‍රධාන කර්තව්‍ය තමයි මේ සටන ජනතාවගේ සටනක් බවට පරිවර්තනය කිරීම. ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා යම් දීර්ඝ කාලීන වැඩපිළිවෙළකට ඉදිරි සතිය හෝ දෙක ඇතුළත සකස්කිරීමට. අපි බලාපොරොත්තු වෙනවා සිවිල් කි‍්‍රයාකාරීන්, වෘත්තීය සමිති ඇතුළු වෘත්තිකයන්ගේ සමිති එක්ක සාකච්ඡුා කරමින් මේ සටන මහජනතාව අතරට ගෙන යෑමට. අපිට අවශ්‍යයි ඉදිරියේදී මේ සටන පිළිබඳව ජාතික සංයුතියක් ඇතිකරමින් ජනතාව අතරට මේ ප‍්‍රශ්නය ගෙන යන්නට. මොකද මේ අවස්ථාවේදී ජනතාවට විතරයි පුළුවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වන හානිය නවත්වා ගැනීමට. ඒ අනුව මේ සටන ජයග‍්‍රහණය කරා යන පළල් සටනක් බවට පත්කිරීමට අපි නොපිරිහෙළා කටයුතු කරනවා ඉදිරියට.

නීති ක්ෂේත‍්‍රය මේ වනවිට ඉතාම දරුණු තත්ත්වයකට පත්වෙලයි තිබෙන්නේ. ඒක ගැන කිසිදු සැකයක් නැහැ. එහෙත් ඒ අර්බුදයකට විසඳුමක් දිනෙන් දින ගෙනයන සටන්වලින් සොයන්න බැහැ. නීති වෘත්තිකයන් වශයෙන් අපගේ සේවාව සේවාදායකයන්ට ලබාදිය යුතුයි. ඒක ඉෂ්ඨ නොකර අපගේ සටන ඉදිරියට ගෙන යන්න බැහැ. ඒ වගේම අධිකරණය වර්ජනය කිරීම වැනි දේවල් එතරම් ප‍්‍රායෝගික දේවල් නෙමෙයි. එහෙත් අපි බලාපොරොත්තු වෙනවා ඊට වඩා පළල් ලෙසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් ගෙන ගන්නාවූ සටනක් ලෙසත් මේ සටන ඉදිරියට ගෙන යන්නට.

උපුටා ගැනීම  - රාවය

Gossip Lanka Hot News Previous News Archive