අල්ලපු වත්තේ පොල් ඇහිලූ 13 දැරිය අත්අඩංගුවට

පාසල් ගොඩනැගිල්ලේ තීන්ත ගෑමට රුපියල් 800ක් සොයා ගන්නට තරම් වත්කමක් නොතිබූ දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක රුපියල් පනස්දහසක ශරීර ඇපයක් මත මුදාහැරුණු පුවතක්, හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා විය.
පාසල් දැරිය එසේ ශරීර ඇප මත මුදාහැරියේ පාසලේ තීන්ත ගෑමට මුදල් සොයා ගන්නට පොල් ගෙඩි අටක් සොරකම් කිරීම හේතුවෙනි. මේ දැරිය නිවෙස අසල අරමණාගොල්ල පදිංචි කේ.පී. චන්ද්‍රසේන නමැත්තකුට අයත් වත්තෙන් පොල් ගෙඩි අටක් සොරා ගත්තේ යැයි කළ පැමිණිල්ලක් මත හොරණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉහත සඳහන් ශරීර ඇපය මත දැරිය මුදාහරින ලෙස හොරණ වැඩ බලන මහෙස්ත්‍රාත් මානෙල් ගුණතිලක මහත්මිය නියෝග කළාය.

බාල වයස්කාර පාසල් දැරියක් වූ ඇය අධිකරණයේ මේ නියමයට පාත්‍රා වූයේ සිය මව සමඟ උදේ ආහාරයවත් ලබා නොගෙන පැමිණ සිටියදීය.
මව ගර්භාෂයේ ගෙඩියක් හේතුවෙන් අසනීපව අසරණ තත්ත්වයට පත්ව ඇති කාන්තාවක් බව අධිකරණයේදී අනාවරණය විය.
දැරිය වෙනුවෙන් නීතිඥවරු දෙදෙනෙක් නොමිලයේ පෙනී සිටියහ. ඔවුන්ගෙන් එක් නීතිඥයකු වූ රොෂාන් දෙහිවල මහතා අධිකරණයට කියා සිටියේ මෙය සොරකම් කිරීමේ චේතනාව මත කරන ලද්දක් නොව නැති බැරිකම නිසා සිදු කළ දෙයක් බවයි.
රුපියල් පනස්දහසක ශරීර ඇපයක් නියම කළ අවස්ථාවේ එම දැරිය සමඟ පැමිණ සිටි මව සිය හැඳුනුම්පත රැගෙන නොපැමිණීම නිසා ඒ පිළිබඳ යළි අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඊළඟ දිනයේ හැඳුනුම්පත ඉදිරිපත් කරන බව පවසා එම දැරියට ඇප ලබාගැනීමට කටයුතු කළ බවද නීතිඥ රොෂාන් දෙහිවල මහතා  පැවැසීය. දැරිය වෙනුවෙන් නීතිඥ තුෂාර ගුණරත්න මහතාද නොමිලේ පෙනී සිට ඇත. කුලී වැඩ කරමින් ජීවත්වන සිය මව සමඟ ඊයේ හොරණ අධිකරණය වෙත පැමිණි එම 13 හැවිරිදි දැරිය සහ මව ඒ වන විටද නිරාහාරව සිටි බැවින් නීතිඥවරුන් දෙදෙනා ඔවුන්ට උදේ ආහාර වේලද ලබාදී තිබේ.

ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල මහතා පැවැසුවේ උසාවි කටයුතු අවසන්වීමෙන් පසු තමා සහ අනෙක් නීතිඥවරයා විසින් තම මුදලින් ඔවුන්ගේ නිවෙසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන දුන් බවයි.
මේ අතර මේ පිළිබඳ හොරණ පොලිසියේ උසස් නිලධාරියකුගෙන් විමසූවිට ඔහු සඳහන් කළේ මෙම දැරිය ගස් නැඟ පොල් කඩන බවට අසල්වැසියන්ගෙන් නිතර නිතර පැමිණිලි ලැබී තිබුණු බවත් ඒ අනුව මෙම පැමිණිල්ල මත අධිකරණයට ඉදිරිපත් කළ බවත්ය. නඩු විභාගය ලබන 22දාට කල් තබා ඇත.
හොරණ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

උපුටා ගැනීම  -මව්බිම 

Gossip Lanka Hot News Previous News Archive