සැමියාට ජීවත් වෙන්න වකුගඩුවක් දන් දුන් ආදරණීය බිරියක්

බිරිය විසින් සැමියා ඝාතනය කරන එසේත් නැත්නම් සැමියා විසින් බිරිය ඝාතනය කරන වකවානුවක තම සැමියාගේ ජීවිතය බේරාගැනීමට තම වකුගඩු 02න් එකක් පරිත්‍යාග කළ ආදර්ශවත් දිරිය කාන්තාවක් මිරහවත්ත ප්‍රදේශයේදී  හමුවිය.ඇය වැලිමඩ මිරහවත්ත, උඩවෙල හන්දිය ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. බූමාලීය. එක වකුගඩුවකින් සැමියාට ජීවත් වීමට ඉඩ සලසා දුන් ඇය ද එක් වකුගඩුවකින් ජීවත් වෙමින් ‘බයිට්ස්’ නිපදවා තම පවුල නඩත්තු කිරීමට දරන වෙහෙස ආදර්ශවත්ය.
ඇය මෙසේ පැවැසීය.

“මගේ උපන් ගම වැලිමඩ උඩයල්කුඹුරේ. මගේ මව ඒ.එම්. බණ්ඩාර මැණිකා. පියා කේ.ඒ. ෂෙල්ටන්. තාත්තා ගොවිතැන් තමයි කළේ. මට නංගිලා දෙන්නෙක් සහ මල්ලිලා දෙන්නෙක් සිටිනවා. මම පවුලේ වැඩිමලා."


මම පාසල් අධ්‍යාපනයෙන් පසු මේසන් බාස් කෙනකු වන ටී.එච්. ජයරත්න යන අය සමඟ විවාහ වුණා. අපිට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. මගේ සැමියාට 2000 වසරේදී වකුගඩු රෝගයක් වැලඳුණා. රෝගය හඳුනාගන්නා විට වකුගඩු දෙකම ඉතාමත් අක්‍රියව පැවැතුණා. වෛද්‍යවරු සඳහන් කළේ ඉතා ඉක්මනින් ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි.

අපි ගොඩක් අසරණ වුණා. අපි ඒ දවස්වල ගොඩක් දුප්පත්. මම වෛද්‍යවරුන්ට ප්‍රකාශ කළා මම වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති බව. ඉන්පසු මගේ වකුගඩුවක් මහනුවර රෝහලේදී සැමියාට බද්ධ කළා. මෙම සැත්කම නිසා සැමියාට සහ මට මාස ගණනක් යනතුරු කිසිම වැඩක් පළක් කරගන්න බැරිව එක තැනකට වී ජීවත්වීමට සිදුවුණා. මේ කාලය තුළදී අපේ නෑදෑ හිතවතුන් අපව බලාගත්තා. ඔවුන් එසේ අපේ පවුල රැක බලා නොගන්නට දැඩි අර්බුදයකට පවුලටම මුහුණ දීමට ඉඩ තිබුණා. ඒ නිසා ඔවුන්ට අපගේ ගෞරවය හැමදාම පුද කරනවා.

යම් තරමක සුවයක් ලැබුණු පසු මම නිවස අසල කුඩා වෙළෙඳසැලක් ආරම්භ කළා. නමුත් සැමියා සමඟ වෛද්‍ය ප්‍රතිකාර සඳහා වරින්වර මහනුවර යෑමට සිදුවූ නිසා වෙළෙඳසල විටින් විට වසා දැමීම හේතුවෙන් එය අසාර්ථක වුණා.


මම ‘බයිට්ස්’ සෑදීම ගැන කිසිදු දැනීමක් නොමැතිව ඒවා නිෂ්පාදනය කිරීමට පෙලඹුණා. මුල් අවස්ථාවේදී ගොඩක් අවස්ථාවල අසාර්ථක වුණා. මට ණය ලබාදීමට මිරහවත්ත සමෘද්ධි බැංකු සංගමය ඉදිරිපත් වුණා. මම මුලින්ම බයිට්ස් පැකට් 100කින් තමයි ව්‍යාපාරය ආරම්භ කළේ. දැන් මගේ ව්‍යාපාරය සාර්ථකයි. දැනට අපි ‘බයිට්ස්’, රටකජු වැනි දේ අලෙවි කරනවා.’මාලී’ නිෂ්පාදන නමින් වැලිමඩ, බණ්ඩාරවෙල හා උෟව පරණගම ප්‍රදේශවල අපේ නිෂ්පාදන අලෙවි කරනවා.
සැමියා තමයි මෙම නිෂ්පාදන යතුරුපැදියෙන් බෙදාහරින්නේ. ත්‍රිරෝද රථයක් මිලට ගැනීමට හැකියාවක් තිබුණා නම් මීට වඩා අපිට දියුණු වීමට පුළුවන්. සැමියාට වර්ෂා දිනවල යතුරුපැදියෙන් ගමන් කිරීමට අපහසුයි. යම් ආයතනයක් මේ සඳහා උදවු කරනවා නම් විශාල සහනයක් බව කියන්න ඕන.

මම ගමේ සමිති සමාගම්වල නිලතල දරමින් පොදු කටයුතුවල නියැළෙනවා. පොහොය දිනට සිල් සමාදන් වෙනවා.

මම හිතන්නේ වකුගඩුවක් දන් දුන්නාම මරණයෙන් පසු ලබන පිනට වඩා මෙලොව දී ලැබෙන මානසික සතුට අතිවිශාලයි. වකුගඩුව ලබාගත් අය සුවයෙන් සිටින අයුරු දකින හැම මොහොතේම දැඩි සතුටක් ලැබෙනවා. වකුගඩුවක් අහිමි වුණාට අපි සුපුරුදු වැඩ කටයුතු පෙර සේම හොඳින් කරගෙන යනවා යැයි කේ.ඒ. බූමාලි මිය පැවැසුවාය.


සටහන හා ඡායාරූප
බොරලන්ද සමන් නැඳුන්ගමුව
උපුටා ගැනීම  -මව්බිම 

Gossip Lanka Hot News Previous News Archive