මාතර රෝහලේ වැඩ පොතේ විදියට

මාතර රෝහලේදී සිදු වූ වරදක් හේතුවෙන් නීති ශිෂ්‍යා අචලා ප‍්‍රියදර්ශනීගේ වම් අත ශල්‍යකර්මයකින් ඉවත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන බැවින් වෛද්‍යවරුන්ගේ සේවාව සීමා කිරීමට දිවයින පුරා වෛද්‍යවරුන්ගෙන් යෝජනා වී ඇති බවත් එම යෝජනාව ඉදිරියේ දී පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බවත් සංගමයේ ලේකම් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පවසයි.

මෙම තීරණය මාතර පැවැති රජයේ වෛද්‍ය නිලධාරීණ්ගේ මව් සංගමයේ සාමාජිකයන් කිහිප දෙනෙකු හා එම දිස්ත‍්‍රික්කයේ රෝහල්වල වෛද්‍යවරු දෙසීයකට අධික ප‍්‍රමාණයක් සහභාගී වූ සාකච්ඡවක දී ඉදිරිපත් ව ඇති අතර එය ඉදිරියේ දී මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බව ද ඒ මහතා පැවැසීය.ඒ අනුව වෛද්‍යවරු සීමා සහිතව රාජකාරී ආවරණය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව ක‍්‍රියාත්මක කරන්නේ ද යන්න තවමත් තීරණය කර නොමැති බව ඔහු කීය.

මේ අතර මාතර මහ රෝහලේ වෛද්‍යවරු අවම පහසුකම් යටතේ වෛද්‍ය සේවා ලබා දී ඇති බවට අචලාගේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විශේෂඥ කමිටු වාර්තාවේ සඳහන් ව ඇති බැවින් එම රෝහලේ වෛද්‍යවරු තම සේවාව සීමා කිරීමට ඒකමතිකව නිර්ණය කර ඇති බවත් රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මාතර මහ රෝහලේ දිනකට සායන 300ක් පමණ පැවැත්වෙන බවත් නව තීරණ අනුව දිනකට සායන 60ක් පැවැත්වීමටත් දිනකට සිදු කෙරෙන 20ක් පමණ වූ සැත්කම් ප‍්‍රමාණය සැත්කම් 7ක් දක්වා අඩු කිරීමටත් තීරණය වූ බව අනාවරණය වේ.
දැනට දින ලබා දී ඇති සැත්කම් මාස තුනකින් ප්‍රමාද කිරීමට සිදු වන නිසා ඒ පිළිබඳව රෝගීන්ට තැපැල් මගින් දැනුම් දීමට ද තීරණය විය.මානුෂීය තත්ත්වය ගැන සිතා බැලීමට වඩා සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍රලේඛවලට අනුව රාජකාරි කිරීමට වෛද්‍යවරු තීරණය කළහ.ඒ යටතේ සායන වලට රෝගීන් අඩු කිරීම, ශෛල්‍යකර්ම සීමා කිරීම, ඇඳන් ප්‍රමාණයට පමණක් රෝගීන් ඇතුළත් කිරීම ආදී තීරණ ක්‍රියාත්මක කිරීමට වෛද්‍යවරුන් එකඟතාවය පළ කළේය.

නියමිත ඇඳන් ප්‍රමාණයට වඩා ඇතුළත් වන රෝගීන් රෝහලට භාර නොගැනීමට ද වෛද්‍යවරු තීරණය කළහ.
මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සවින්දි සමරකෝන් මහත්මිය හා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රවීන්ද්‍ර වීරසේකර මහතාගේ පරිපාලනය දුර්වල බවට කරුණු වාර්තා කර තිබූ එක්තරා ජාතික පුවත්පත් දෙකකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද වෛද්‍යවරුන් තීරණය කළේය. එම පුවත්පත් වාර්තා හෙළා දැකීම සඳහා බැනර් ප්‍රදර්ශනය කිරීමට ද යයි. මීට පෙර එක් ඇඳක දෙදෙනා බැගින් ද ඇඳ උඩ මෙන්ම ඇඳන් යට ද රෝගීහු සිටියහ. සාකච්ඡාවේදී ගත් තීරණ පිළිබඳ තමා දැනුම්වත් කළ බව මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවාය. අද රාත්‍රී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ද දැනුම්වත් කිරීමට නියමිතව තිබිණි.

Gossip Lanka Hot News Previous News Archive