අචලාගේ අත ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරයා සහ කාර්ය මණ්ඩලය වගකිව යුතුයි.

නීති ශිෂ්‍යාවක වූ අචලා ප්‍රියදර්ශනීගේ අත සැත්කමකින් ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධ වාර්තාවට අනුව විශේෂඥ වෛද්‍යවරයා සහ කාර්ය මණ්ඩලය ඊට වගකිව යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සිද්ධිය පිළිබඳ විමර්ෂණයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් සහ අදාල ක‍්‍රමවේදයේ අඩුපාඩු සිදුවී ඇති බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවසයි. නිවසේදී සිදුවූ වැටීමකින් වම් අතේ අස්ථි බිදීමට ලක්ව මාතර රෝහලට ඇතුළත් කළ නීති ශිෂ්‍යා අචලා ප‍්‍රියදර්ශනී, කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් පසු සැත්කමකින් ඇගේ වම් අත ඉවත් කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ලාල් පනාපිටිය සහ විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කෙරින. ඔවුන්ගේ නිරීක්ෂණ ඇතුළත් මූලික වාර්තාව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදෙනු ලැබිය.

එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන, අමාත්‍යාංශ ලේකම් සහ විමර්ෂණ කණ්ඩායම විසින් ඊයේ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මේ බව සඳහන් කළේය.එම අඩුපාඩුවලට සම්බන්ධ සේවකයින් හා කාර්ය මණ්ඩල පිළිබඳව රාජ්‍ය සේවා කොමිසමට දන්වා විනය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

Hospital staff responsible for amputation of law student’s arm - report

Gossip Lanka Hot News Previous News Archive