ඔබේ අත ඔබම බලාගන්න 1 - Palm Reading

හස්‌ත රේඛා විද්‍යාව පිළිබඳව දැනුමක්‌ ලබා ගැනීමට කැමැති අය වෙනුවෙන් ඒ පිළිබඳ දැනුමක්‌ ලබාදීමේ අරමුණෙන් මෙවර  සිට ඒ පිළිබඳ පාඩම් මාලාවක්‌ ඉදිරිපත් කරන්නැයි අපේ බලාපොරොත්තුව. සමුදු නම් සෘෂිවරයා ලොවට හඳුන්වා දුන් හස්‌ත රේඛා ශාස්‌ත්‍රය මේ වන විට භාරතයේ පටන් බොහෝ රටවල් පුරා පැතිර ඇත. හස්‌ත රේඛා විද්‍යාව අනුව කෙනෙකුගේ අධ්‍යාපනය, රැකියාව, විවාහය, ලෙඩ රෝග සතුරු කරදර විදේශ ගමන්, ගතිගුණ දුගී පොහොසත් බව අත පරීක්‍ෂා කිරීමෙන් කිව හැකි කරුණු වේ. සාමුද්‍රක ශාස්‌ත්‍රයේ ඉතාමත් වැදගත් වූත් ගැඹුරු වූත් කොටස රේඛා යයි හැඳින්විය හැක.
 කෙනෙකුගේ අල්ලේ රේඛා පිහිටන්නේ ඔහු හෝ ඇය විසින් පෙර ආත්මවල කළ පින්පව් අනුවය. දැන් අපි බලමු අල්ලේ පිහිටන රේඛා මොනවාද කියා. අල්ලෙහි පිහිටන සියලුම රේඛා ප්‍රධාන රේඛා සහ අප්‍රධාන රේඛා වශයෙන් කොටස්‌ දෙකකට වෙන් කළ හැකිය. පළමුවෙන්ම දැන් අපේ අත්වල පිහිටි ප්‍රධාන රේඛාවන් මොනවාද කියා බලමු. අපේ අතේ ප්‍රධාන රේඛා හයකි. ජීවන රේඛාව, ශීර්ෂ රේඛාව, හෘදය, රේඛාව, දෛව රේඛාව, කීර්ති රේඛාව, හා සුඛ රේඛාව යනුවෙනි. දැන් බලන්න රූප සටහනින් ඒ රේඛා මොනවාද කියා. හැම රේඛාවක්‌ම හඳුනා ගැනීමේ පහසුවට රේඛාවේ මුල් අකුරු සඳහන් කරල ඇති.


අත්ලක පිහිටි ප්‍රධාන රේඛා
ජී. ජී. වශයෙන් සලකුණු කර ඇත්තේ ජීවන රේඛාවයි. හොඳ ජීවන රේඛාවක්‌ ආරම්භ වන්නේ මහපට ඇඟිල්ලටත් දබර ඇඟිල්ලටත් අතර ස්‌ථානයකිනි. මෙම රේඛාව මැණික්‌කටුව ආසන්නයේදී තම ගමන්මග අවසාන කරයි. වචනාර්ථයෙන් ජීවන රේඛාවෙන් ආයු කාලය ගැන කියෑවෙන මුත් එම රේඛාවෙන් ආයුෂ පමණක්‌ නොව අත්ල හිමියාගේ සෞඛ්‍යය, රෝගාබාධ, ඒවා ඇති වන වකවානු, ජීවිතයේ ජයග්‍රහණ, පරාජය මෙන්ම සුවිශේෂී සිදුවීම් යනාදී බොහෝ දේවල් ද දැනගත හැකි වේ.

ශීර්ෂ රේඛාව (ශී. ශී.) පටන් ගන්නේත් ජීවන රේඛාව පටන් ගන්න ප්‍රදේශයෙන්මයි. එය කුජ තලාව (අල්ලේ මැද) හරහා විහිද ගොස්‌ චන්ද්‍රමණ්‌ඩලයෙන් අවසන් වෙයි. ශීර්ෂ රේඛාව අත්ල හිමියාගේ මොළය, මනස, සිත ක්‍රියාකරන ආකාරය දැක්‌වෙයි. ජීවිතයේ බිඳ වැටීම්, ඥානය, හා මොළයට සම්බන්ධ රෝග ආදිය මෙම රේඛාවේ පිහිටීම අනුව නිශ්චිත කරගත හැකිවේ.

හෘදය රේඛාව (හ. හ.) දෙස දැන් බලන්න. ගුරු මණ්‌ඩලය ආශ්‍රයෙන් ආරම්භ වෙන මෙම රේඛාව ශනි මණ්‌ඩලය හා රවි මණ්‌ඩලය පසු කරගෙන බුධ මණ්‌ඩලයෙන් අවසන් වෙයි. සමහර අයගේ මෙම රේඛාව මෙයට වෙනස්‌ ආකාරයෙන් එනම් බුධ මණ්‌ඩලයෙන් ආරම්භ වී ශනි මණ්‌ඩලයත් පසු කරගෙන අල්ලේ අනිත් පැත්තටත් විහිද යයි. මේ මගින් කෙනෙකුගේ ප්‍රේමය, විවාහය, ලිංගික ජීවිතය, රුධිර ධාවනය, සහජයෙන්ම ඇති බුද්ධිය, චිත්තවේග යනාදිය පෙන්නුම් කරයි.

ශනි රේඛාව හෙවත් දෛව රේඛාව (දෛ දෛ) දෙස දැන් බලන්න. අත්ලේ මුල වූ මැණික්‌ කටුව ප්‍රදේශයට සමීපව ආරම්භ වන දෛව රේඛාව අල්ල හරහා ඇඟිලි දෙසට විහිදී ගොස්‌ මැදඟිල්ලේ මුල පිහිටි ශනි මණ්‌ඩලය වෙතට යොමු වෙයි. අත්ලේ පිහිටි ප්‍රධාන රේඛා අතරින් මෙය සුවිශේෂ රේඛාවක්‌ ලෙස සැලකෙයි. බොහෝ විට මෙම රේඛාව මැණික්‌ කටුව ප්‍රදේශයේ සිට ඝෘජුව විහිද යන අතර අත්ල හිමියාගේ දෛවය පිළිබඳ ශුභ අශුභ, ධන සම්පත්, දියුණුව, බාධක ආදී බොහෝ දේ මෙම රේඛාවෙන් අනාවරණය වෙයි.

කීර්ති රේඛාව හෙවත් රවි රේඛාව (කී. කී.) අල්ල මැදින් ආරම්භ වී වෙදඟිල්ලේ මුල පිහිටි රවි මණ්‌ඩලය කරා විහිද යයි. ඇතැමෙක්‌ මෙය ධන රේඛාව ලෙසද හඳුන්වයි. අත්ල හිමියාගේ කලාත්මක භාවය, කීර්තිය, අධ්‍යාපනය, ගෞරවය, ජයග්‍රහණ, ආකර්ෂණ, ගුප්තමය දැනුම, ධෛර්ය යන ගුණාංග මෙයින් ප්‍රකට කරයි. දෛව රේඛාවෙන් දැක්‌වෙන දියුණුව ප්‍රබල තත්ත්වයට පත් කිරීමේ සුවිශේෂ බලයක්‌ මෙම රේඛාවට ඇතැයි සාමුද්‍රික ශාස්‌ත්‍රඥයෝ සඳහන් කරති.

සුඛ රේඛාව (සු සු) හෙවත් බුධ රේඛාව අත්ලේ වෙනත් තැනකින් ආරම්භ වී සුළඟිල්ලේ මුල බුධ මණ්‌ඩලය කරාවිහිද යයි. ධාරන ශක්‌තිය, තරුණ, භාවය, විශේෂයෙන් පුද්ගලයාගේ සෞඛ්‍ය හා සුවිශේෂී දක්‍ෂතාවයන් පිළිබඳ තොරතුරු මෙම රේඛාව තුළින් දැනගත හැකිය. සුඛ රේඛාව හැම අල්ලකම නොපිහිටියත් මෙයම මගින් නිරීක්‍ෂණය කරන්නේ සෞඛ්‍ය තත්ත්වයයි. සුඛ රේඛාව නොපිහිටීම ප්‍රශ්නයක්‌ නොමැති වූවත් ලෙඩ රෝග පිළිබඳව පූර්ව නිගමනයක්‌ ගැනීමේ මානයක්‌ හෙවත් මීටරයක්‌ ලෙස මෙම රේඛාව භාවිත කළ හැකි බැවින් එය පිහිටීම වඩාත් සුදුසු බව කියෑවේ. චන්ද්‍ර මණ්‌ඩලයෙන් ආරම්භ වෙන සුඛ රේඛාව බාධකවලින් තොරව බුධ මණ්‌ඩලය කරා ගියේ නම් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු බව සාමුද්‍රික ශාස්‌ත්‍රයේ නියමයයි. මෙම ප්‍රධාන රේඛාවන්ට අමතරව තවත් රේඛාවන් අත්ලක දැකිය හැකිය. එම රේඛාවන් පිළිබඳවත් ප්‍රධාන රේඛාවන්වල පිහිටීම අනුව ලැබෙන සුභ අසුභ තත්ත්වයන් පිළිබඳවත් පසු ලිපිවලින් සාකච්ඡා කරමු.

මුල්ලේරියාව හිඹුටානේ - පියතිලක ද අල්විස්‌

Gossip Lanka Hot News Previous News Archive