ගෝඨාභය සහභාගි වීමෙන් බොදු බල සේනා උද්යෝගිමත් වෙලා - Rauff Hakeem

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බොදු බල සේනා සංවිධානයේ රැස්වීම්වලට සහභාගි වීම මගින් මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කිරීමට එවැනි "නීතිවිරෝධී" සංවිධානවලට රුකුල් දීමක් සිදු වී ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පවසයි.

අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් බීබීසී සංදේශයට ඒ බව කියාසිටියේ භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් යුත් පිරිසක් පැපිලියානේ ෆැෂන් බග් ආයතනයට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්.බොදු බල සේනා සංවිධානය විසින් ගෙනයමින් තිබෙන ජනතාව අතර "වෛරය, ක්‍රෝධය පැතිරවීමේ" ව්‍යාපාරය පිළිබඳව ආණ්ඩුව ඉක්මන් පියවර නොගතහොත්, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය පළ වීමට ඉඩ තිබෙන බවට ද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා අනතුරු අඟවයි.

"නීතිය අතට ගන්නා" බොදු බල සේනා වැනි සංවිධාන මගින් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් හදිසි කැබිනට් මණ්ඩල කැඳවන මෙන් තමන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවද අමාත්‍ය හකීම් සංදේශයට කියා සිටියේය.සිය ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී සාකච්ඡා කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ නමුත්, එය ප්‍රමාණවත් නොවන බව සිය මතය බවයි, අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ.

ෆැෂන් බග් ආයතනයට එල්ල කළ ප්‍රහාරයට තම සංවිධානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි, බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ.

එහෙත් පසුගියදා මහනුවර පැවති බොදු බල සේනා රැස්වීමක් ඇමතූ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්, ෆැෂන් බග් ආයතනයට "ඉතාමත්ම පහත්, නින්දිත ආකාරයට" චෝදනා එල්ල කොට, එයට පහර දෙන මෙන් "ව්‍යංගයෙන්" උපදෙස් දුන් බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය අමාත්‍ය හකීම් ජ්‍යෙෂ්ට අමාත්‍ය ෆවුසි මෙන්ම රිෂාඩ් බදිඋද්දීන් සහ අතාවුල්ලා අමාත්‍යවරුන් අමතා සඳහන් කළ බවයි, ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙන්නේ.

මේ අතර මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වන ප්‍රහාර නැවැත්වීමට බලධාරීන් පියවර නොගන්නේ නම් අනාගතයේදී බරපතල තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බව රිෂාඩ් බදිඋද්දීන් අමාත්‍යවරයා අමාත්‍යවරයා අනතුරු අඟවයි.හකීම් සහ අතාවුල්ලා අමාත්‍යවරුන් ද එකඟවන්නේ නම්, "අද සවස වුවත්" ඇමති පදවියෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් බවද අමාත්‍ය බදිඋද්දීන් පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive