ප්‍රභාකරන්ගේ මිතුරා සියල්ල වමාරයි

  "ලංකාවේ බෙදුම්වාදයට උදව් කරන්න එපා යැයි මම දැන් ඉල්ලනවා"ජෙයසුන්දරම්
 
අයර්ලන්ත පුරවැසිභාවය ලබා සිටියදී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත් වූ ප්‍රභාකරන්ගේ එකම පන්තියේ පාසල් මිතුරු ගුණසුන්දරම් ජෙයසුන්දරම් විදෙස් රටවල සිට එල්.ටී.ටී.ඊ.යට නැව් මිලදී ගෙන අවි ආයුධ නැව් පිටින් වන්නියට එවූ ආකාරය විවෘත අධිකරණයේදී අනාවරණය කර ඇත.

ඉකුත් 10 වැනිදා අංක 6473/2013 දරන නඩුව කොළඹ මහාධිකරණ අංක 4 විනිසුරු පී්‍රති පද්මන් සූරසේන ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ සැකකරුට එරෙහි චෝදනා දෙමළ භාෂාවෙන් කියාදීමෙන් අනතුරුව චෝදනා සම්බන්ධ ස්වේච්ඡාවෙන් වැරදිකරු බව පිළිගත් සැකකරු ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සඳහන් කරමින් මේ බව අනාවරණය කර තිබේ. කොටි ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ නායකයෙකු ලෙස කටයුතු කර ඇති අදාළ සැකකරු වරදවල් පිළිගනිමින් කළ ප්‍රකාශය හා ඊට අදාළ තොරතුරු ජාතික ආරක්ෂාව පිළිබඳව මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්‍ලේ ගේ අත්සනින් යුතුව ඊයේ (12) නිවේදනය කළේය. 


මෙම සැකකරු 2007 සැප්තැම්බර් 05 දා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
සිංගප්පූරුව සහ මැ‍ලේසියාවේ සිට එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවශ්‍ය යුද උපකරණ විශාල වශයෙන් වන්නියට එවීමට ගුණසුන්දරම් ජෙයසුන්දරම් දායක වී ඇත. ඊට අමතරව එම්.වී.ෆෙක්සුන් 7 නෞකාව එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් මිලදී ගනු ලැබුවේ ඔහු බව මෙම ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජෙයසුන්දරම් හෙළිකර තිබේ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව තිබූ ලැප්ටොප් පරිගණකය තුළ අදාළ කරුණු සියල්ල සනාථ කරන ඡායාරූප හා ලිපි ‍ලේඛන සොයාගෙන ඇත.
කරුණු 14 යටතේ ඔහු කර තිබූ ප්‍රකාශයට අනුව ප්‍රභාකරන්ගේ පාසල් මිතුරෙකු ලෙස එල්.ටී.ටී.ඊ.යට ඔහු සහය දුන් බව ප්‍රකාශ කර තිබේ. එහි සඳහන් කරුණු ඔහු ප්‍රකාශ කරන පරිදි මෙසේය. මම ප්‍රභාකරන්ගේ පාසල් මිතුරෙකි. ඔහු නිතර මුණගැසුනා. කොටි සංවිධානයට උදව් කළා. ඒ අවස්ථාවලදී මුහුදු කොටි නායක සුසෙයි, දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් කොටි ‍පොලිස්පති නඩේසන්, ජාත්‍යන්තර නායක කැස්තේ‍රා සහ මූල්‍ය ප්‍රධානී තමිලෙන්ඩි හමුවීමට ලැබුණා. විවිධ අවස්ථාවල ඔවුන් මුණ ගැසී තිබුණා යැයි ජෙයසුන්දරම් පවසයි. 

එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් ප්‍රචාරක ජාලය ක්‍රියාත්මක කිරීමට දායක වෙමින් එංගලන්තයේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීත්වය වෙනුවෙන් කටයුතු කළ මුහුදු කොටි කරන් සහ කොටි අවි ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයෙකු වූ කනගරාජ් රවී සංකර් 2003 හා 2007 කාලයේදී හමුවූ බව හෙතෙම සඳහන් කර තිබේ.
යුද කාලයේ මුහුදු කොටින්ට අවශ්‍ය උපකරණ දෙමින් සිංගප්පූරුවේ ජෙයපැක් සහ හැරී මර්චන්ට් නමින් ව්‍යාපාර දෙකක් සැකකරු විසින් පවත්වාගෙන ගොස් ඇත. සිංගප්පූරුව, කැනඩාව සහ ස්විට්ස්ර්ලන්තයේ කොටි ත්‍රස්තවාදීන්ට මුදල් එක්කරන ජාලය ලෙසත් අනෙක් රටවලත් මෙම ව්‍යාපාර ‍පොදුවේ භාවිතා කළ බවත් හෙතෙම හෙළි කර ඇත. 

එම්.වී.ෆෙන්සුන් 7 ආයුධ ප්‍රවාහන නැව එල්.ටී.ටී.ඊ.යට මිලදී ගෙන එම සේවාවල යොදවා තැබූ බවත් 1985 එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් හේතුවෙන් වරක් සිංගප්පූරුවෙන් පිටිවහල් කර සිටි බවත් සැකකරු ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයට උදව් කරන්න එපා යැයි මම දැන් ඉල්ලනවා. ඇමෙරිකාවේ වී.රුද්‍රකුමාර්, එංගලන්තයේ එස්.ජේ.එමානුවෙල්, නෝර්වේ නෙඩියවන් මෙරට දෙමළ වැසියන් පීඩාවට පත් කිරීමට කරන කටයුතු වහා නතර කළ යුතුයි. ඔවුන් මානව හිමිකම් කඩ කරමින් බෙදුම්වාදය වපුරනවා යැයි ජෙයසුන්දරම් පවසා ඇත. 

ඒ අනුව පුනරුත්ථාපන ක්‍රියාවලිය තුළින් යහපත් පුරවැසියකු වීමට ඔහු ඉල්ලා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
මේ සම්බන්ධව සලකා බැලීමට නඩුව යළි ලබන 16දා කැඳවා ඇත.

Gossip Lanka Hot News Previous News Archive