නව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක

ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා 2013 අද (01) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විසිවෙනි යුද්ධ හමුදාපතිවරයා වශයෙන් වැඩ භාර ගනී.

කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1980 පෙබරවාරි 06 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට එක් වී සිය හමුදා දිවිය ආරම්භ කළ රත්නායක මහතා අනතුරුව 1981 ජුලි 18 වන දින දෙවන ලුතිතන් වරයකු ලෙස අධිකාරියට පත්වී ශ්‍රී ලංකා පාබල හමුදාවට එක් විය.

අධිකාරියට පත්වීමෙන් අනතුරුව හෙතෙම සිය වෘත්තියට අදාළව කමාන්ඩෝ නිලධාරි පාඨමාලාව, තරුණ නිලධාරී පාඨමාලාව, බලඇණි ආධාරක අවි පාඨමාලාව, ඉන්දියාවේ කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ අණ දෙන පාඨමාලා, එක්සත් රාජධානියේ ක්‍රෑන්ෆීල්ඩ් සරසවියේ ආරක්ෂක කළමනාකරණ පාඨමාලාව, උසස් ආරක්ෂක ඩිප්ලෝමා පාඨමාලාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ හවායි හොනලුලූහි පිහිටි ආසියා - පැසිෆික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ උසස් සන්නිවේදන නිපුණතා පාඨමාලාව වැනි උපාධි පාඨමාලා රාශියක් හදාරා ඇත. එමෙන්ම හෙතෙම බංගලාදේශ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය, චීනයේ ජාතික ආරක්ෂක සරසවිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ෆෝර්ට් නැචුකාහි පිහිටි හමුදා බුද්ධි පාසල වැනි ආයතන මගින් උපාධි පාඨමාලා හදාරා ඇත.


දයා රත්නායක මහතා කලක් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කරමින් මාධ්‍යවේදීන් සමඟ සුහද සම්බන්ධතාවෙන් කටයුතු කළ නිලධාරියෙකු විය.

නැගෙනහිර මානුෂීය මෙහෙයුම් ආරම්භ වීමත් සමඟ පාබල බලඇණියකට සහ පාබල සේනා මුලස්ථාන තුනකට අණදෙමින් වැලිකන්ද 23 වැනි පාබල හමුදා සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති වශයෙන් පත්වීම ඒ අතරින් සුවිශේෂි වේ. මානුෂීය මෙහෙයුම් නිමාවීමෙන් අනතුරුව දොළොස්දහසක් වු හිටපු එල්ටීටීඊ සටන්කරුවන් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීමේ කාර්යයයේ පුරෝගාමියා වශයෙන් හෙතෙම පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස පත්වීම් ලැබීය. සිය විචාර බුද්ධි හැකියාව සහ මානුෂීක ගුණාංග පාදක කොටගෙන පුනරුත්ථාපන ක්ෂේත්‍රයට නොමැකෙන සේවාවක් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් සලසනු ලැබුවේ යුද්ධ හමුදාව යුද්ධ වාතාවරණයෙන් මිදී සාමය සුරකින හමුදාවක් ලෙස පරිවර්ථනය වීමත් සමඟය.

ඔහු සිය වෘත්තිය ජීවිතයේ වසර 33කට අධික සේවා කාලය තුළ දේශීය සහ විදේශීය සමුළු, වැඩමුළු සහ සාකච්ඡා සම්මන්ත්‍රණ රාශියකට සිය දායකත්වය ලබා දී ඇත.

2010 ජනවාරි 10 වන දින සිට අද දක්වා (01) ශ්‍රී ලංකාවේ 20 වන යුද්ධ හමුදාධිපතිවරයා ලෙස පත්වන තෙක් ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස ද බලඇණි 25කින් යුත් ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ලෙස ද සිය සක්‍රීය දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ලබා දෙමින් සිටියි.

HC/army media


Gossip Lanka Hot News Previous News Archive