Facebook ඡායා රුපය දැරියට මරු කැඳවයි.

ෆේස්බුක් සමාජ ජාල අඩවියේ පළ කර තිබී යැයි කියන ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයෙකු විසින් දොස් පැවරීමෙන් සිත්තැවුලට පත් 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන අතැයි වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ කුරුණෑගල නගරයේ පිහිටි ජනප‍්‍රිය පාසලක 11වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි පී. බී. වෙනූෂා ඉමන්දි බණ්ඩාර නැමැති කුරුණෑගල, තෝරයාය ප‍්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවකි.

ෆේස්බුක් ගිණුමක ඇය පාසල් නිල ඇඳුමින් සැරසී සිටින ඡායාරූප සහ විද්‍යාලයේ නිල ලාංඡනය පළ කර තිබීම සම්බන්ධයෙන් පසුගිය 3 වැනිදා කාර්යාලයට කැදවූ මෙම ශිෂ්‍යාවට පාසලේ විදුහල්පතිවරයා විසින් තදින් දොස් පවරා ඇති අතර යළි පාසල් එන දිනයේදී දෙමව්පියන්ද පාසලට කැදවාගෙන එන ලෙසට වැඩිදුරටත් නියෝග කර තිබේ.


මෙම සිදුවීමෙන් දැඩි ලෙස සිත් තැවුලට පත් වී සිටි බව කියන මෙම ශිෂ්‍යාව පාසැල නිමවී නිවසට පැමිණි පසුවත්, නිවාඩු දිනයක් වූ ඉකුත් 04 වැනිදාත් දැඩි කනස්සල්ලෙන් යුතුව කාලය ගෙවා තිබේ. ඊයේ (05) නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක ඇය නිවසේ වහලයේ බාල්කයක සාරියක් අධාරයෙන් ගෙල වැලලාගෙන තිබේ.

සිසුවිය සාරියකින් බාල්කයේ එල්ලී සිටින ආකාරය දුටු කාන්තාවක් එම නිවස ඉදිරිපිට වෙළදසැලක් පවත්වාගෙන යන එම කාන්තාවගේ පියාට ඒ බව දැනුම් දී තිබේ.

පියා එහි පැමිණ සිසුවිය එල්ලී සිටි සාරිය කපා බිමට ගෙන ඇය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත රැගෙන යමින් සිටියදී සිසුවිය මිය ගිය බව ඇගේ ඥාතීහු කියති.

ගෙල වැල ලාගැනීමට පෙර සිය පියා අමතමින් පිටු තුනක ලිපියක්ද ලියා ඇති අතර එහි සඳහන් වන්නේ නොකළ වරදක් සම්බන්ධයෙන් නොමනා වචන පවා යොදාගනිමින් විදුහල්පතිවරයා විසින් තමන්ට දොස් පැවරූ බවත්, පාසලේ තවත් ළමයෙකුට මෙවැනි ඉරණමක් අත් නොවනු පිණිස මෙලෙස සියදිවි නසා ගන්නා බව යැයි පැවසේ.

මේවන විට කුරුණෑගල රෝහලේ ඇති දේහය පිළිබඳ මරණ පරීක්ෂණයෙන් පසු අද (06) දැරියගේ මව්පියන්ට එම දේහය බාරදෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ප්‍රේම සම්බන්ධයකට අදාල ජායාරූප කිහිපයක්ද එම ෆේස්බුක් ගිණුමේ තිබී ඇති බවත් පැවසේ.

කෙසේ නමුත් නවයොවුන්වියේ පසුවන්නන්ගේ මෙවැනි ප්‍රශ්නවලදී, ගුරු දෙගුරු සියලු වැඩිහිටියන් ඉතා සියුම්ව සහ සූක්ෂමව මැදිහත්විය යුතු වුවද එවැන්නක් සිදු නොවන තැන මෙවැනි අකල් මරණ දැක ගත හැකිය.

Gossip Lanka Hot News Previous News Archive