මම රූ රැජිනක් මිස නිරූපණ ශිල්පිනියක් නෙමෙයි

මට හම්බ වුණු පාර්ට්නර් තමයි අනූජ් අයියා අපි දෙන්නා ටිකක් සමීපයි

‘මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා’ කිරුළ හිමි ඇය පුංචි තිරයේද දඟකාර චරිතයක් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති. නමින් දුෂේනි ද සිල්වා වන ඇය, මේ දිනවල හිරු රියැලිටි වේදිකාවේද දස්කම් දක්වන්නීය. සිය කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඇය මෙලෙස තරු කතාබහට සම්බන්ධ විය.

මේ දවස්වල මොකද වෙන්නේ?

මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. ‘හිරු ටීවී’ එකේ ‘මෙගා ස්ටාර් 2’ කියන රියැලිටි වැඩසටහනට සහභාගි වෙලා තියෙනවා. ඒකෙ මමත්, අනූජ් රණසිංහත් තරග වදිනවා. ඒකත් එක්ක කාර්යබහුලයි සහ ඉදිරියේදී දැවැන්ත ටෙලිනාට්‍යයක් සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමරතව තවත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තව මගේ අධ්‍යාපන කටයුතු සමග ගොඩක් කාර්යබහුලයි.

මේ රියැලිටි අත්දැකීම ලැබෙන පළමු වැනි අවස්ථාව නේද?

අනිවාර්යයෙන්ම ඔව්. ඒකට ස්තූති කරන්න ඕන රංගන අයියා ඇතුළු හිරු ආයතනයේ සියලු දෙනාටම. රංගන අයියා තමයි හැම කලාකරුවෙකුටම කතා කරන්නේ. ඒක මට අලුත්ම අත්දැකීමක් වුණා. මම ක්‍ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දෙකහමාරක් වුණා. ඒ කාලය ඇතුළත මම සහභාගි වෙන පළමුවැනි රියැලිටි වැඩසටහන. හොඳ අත්දැකීමක්. මම හිතන්නේ මගේ නර්තන හැකියාවන්, ගායන හැකියාවන් ප්‍රේක්‍ෂකයන්ට පෙන්වන්න හොඳ අවස්ථාවක් වුණා මේ රියැලිටි වේදිකාව.

රියැලිටි වේදිකාවේ යුගල වශයෙන් තමයි තරග වදින්නේ, එහි අත්දැකීම සහ සහෝදර තරගකරුවන් අතර තියෙන අභියෝග මොනවාද?

මුලින්ම කියන්න ඕන මේ වේදිකාවේ තරග වදින්නෙ අපේ කලාකරුවෝ. හැමෝම අතරේ සුහද තරගයක් තමයි තියෙන්නෙ. දිනුවා හෝ පැරදුණා කියන දේ අපි හැමෝම සතුටින් බාර ගන්නවා. මේ තරගයේ මටයි, අනූජ්ටයි විශේෂ දේ තමයි අපේ දක්‍ෂතා පෙන්වන එක සහ අපේ කලාකරුවන් සමග හදා ගන්නා අන්‍යෝන්‍ය සුහදතාව කියන දේ. අපි දෙන්නා හැම තිස්සෙම ‘Preformed’ කළත් ඒ දේ ‘Enjoy’ කරනවා. මම හිතන්නේ ඒ දේ තමයි වටින්නෙ. මොකද අපි හැමෝම කලාකරුවෝ, දිනුම පැරදුමට වඩා වටින්නේ එදා දවසේ පෙන්වන දක්‍ෂතාව හා ‍අපි එකිනෙකා අතර තියෙන සහයෝගයයි.

ඔබේ සහකරුවා විදියට ඉන්නේ අනූජ්. ඇයි ඔබ ඔහුවම තෝර ගන්නේ?

ඇත්තටම රංගන අයියාම තමයි අපේ පාර්ට්නර් කවුද, කොහොමද කරන්නෙ කියලා බැලුවේ. මට හම්බ වුණු පාර්ට්නර් තමයි අනූජ් අයියා. අනික ඔහු එක්ක මට වැඩ කරන්න පහසුයි. අපි දෙන්නා ටිකක් සමීපයි. අපි දෙන්නට එකට වැඩ කරන්න ලේසියි. ඒක නිසා අපි දෙන්නා අපි දෙන්නාව තෝර ගත්තා.

අනූජ් සහ ඔබ ආදර සම්බන්ධයක් තියෙනවා කියනවා. ඒක ඇත්තද?

ඒ වගේ කතන්දර ගොඩක් සමහර වෙලාවට යනවා. එහෙම දෙයක් තියෙනවාද, නැද්ද කියන දේ ඉස්සරහට හැමෝටම දැන ගන්න පුළුවන් වෙයි.

රංගන කටයුතු සමග මේ දේවල් එක්ක වැඩකටයුතු කරන්න කාලවේලාව තියෙනවාද?

රංගන කටයුතු කිව්වාම මම ටෙලිනාට්‍ය ගොඩක් බාර ගන්නේ නැහැ දැන්. ටෙලිනාට්‍යය කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් එක එක හේතු මත ඒවා කරන එක පොඩ්ඩක් මගහැරියා. මේ වෙනකොට නාළිකාවකින් කරන ලොකු වැඩකට තමයි වෙලාව දීලා තියෙන්නෙ. පොඩි කාලයේ ඉඳන් මම නටන්න හරි ආස කෙනෙක්. ඉතිං ඒකට මම කොහොමත් පන්ති යනවා. නර්තනය කියන දේ දියුණු කර ගන්න මම කොහොමත් කැමැති කෙනෙක්. මමත්, අනූජුත් පුරුදු පුහුණුවලට වේලාව හදාගන්නවා. සමහර දවස් තියෙනවා අපි රෑ 9.00 ගිහිල්ලා රෑ 12.00 වෙනකන් පුරුදු පුහුණු වුණ. ඒ වගේ ටිකක් කැපකිරීම් එක්ක තමයි අපේ ඉදිරිපත් කිරීම් කළේ.

දැවැන්ත වැඩක් ගැන කිව්වා නේද? ඒ ගැන දැන්ම කියන්න පුළුවන්ද?

මං හිතන්නෙ ඒක ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි හැමෝටම. මොකද මං හිතන්නේ ඒ හැමෝම ආදරය කරන දෙයක් වේවි.

ඔබ ටෙලිනාට්‍යවලට සීමා වෙන්නේ ඇයි?

මෙහෙමයි, මම ටෙලිනාට්‍ය හතරක් වගේ තමයි කළේ. තව මම ප්‍රභාත් රෝෂන් අයියලා එක්ක කරපු ටෙලිනාට්‍යයක ඉතුරු ටිකත් මේ දවස්වල රූගත කරනවා. මම ටෙලිනාට්‍ය කරපු ටිකත් එක්ක මම හැම එකේම ප්‍රධාන චරිතයටයි දායක වුණේ. ඒකත් එක්කම එකම විදියේ ටෙලිනාට්‍ය කිහිපයක් දිගින් දිගටම කරන එක මට චරිතයක් හදාගන්න ටිකක් අමාරුයි වෙයි කියලා හිතුණා. මගේ දැන් බලාපොරොත්තුව තියෙන්නේ හොඳ චිත්‍රපටයක් සඳහා දායක වෙන්න. ඒකයි මං දැන් මගේ නර්තනය පැත්තත් හදා ගන්නේ. දැන් හැම දෙයක්ම මම කරන්නේ චිත්‍රපටයකට බලාපොරොත්තුවෙන්.

‘දුෂේනි’ කියන චරිතය ගොඩක් දෙනා අතරට යන්නේ නිරූපණය නිසා නේද?

ඇත්තටම මම වෘත්තීම නිරූපණ ශිල්පිනියක් නෙමෙයි. ඒක මම කියන්න ඕන. මම රූ රැජිනක් මිස නිරූපණ ශිල්පිනියක් නෙමෙයි. මම ක්‍ෂේත්‍රයට ආවේ නිරූපණ ශිල්පිනියක් විදියට නෙමෙයි. ‘ITN අවුරුදු කුමරිය’ තරගයෙන්. මගේ ප්‍රථම ටෙලිනාට්‍ය ‘ආදරේ ගින්දරක්’ කළාට පස්සේ තමයි ‘මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා’ වුණේ. ‘මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා’ කියන්නේ මගේ ජීවිතේ මම ලබපු ලොකුම වාසනාවන්තම දේ. අද පැජන්ට් 100ක් විතර තිබුණත් දන්න කෙනා දන්නවා වටිනාකමක් තියෙන පැජන්ට් මොනාද කියලා. ‘මිස් වර්ල්ඩ්’, ‘මිස් යුනිවර්ස්’ වගේ පැජන්ට්වලට යනවා කියන්නේ ජීවිත කාලෙටම ඒ අත්දැකීම ඇති. මගේ තරගයෙත් රටවල් 130ක් හිටියා. මගේ ජීවිතයේ ලොකුම භාග්‍යයක්.

රූ රැජිනක් කියන කිරුළ කොපමණ වටිනවා වුණත්, වර්තමානයේ ඒ තැන ලැබෙන්නේ නැහැ නේද?

මම හිතන්නේ අපි අපටම කර ගන්න අසාධාරණයක්. ලංකාවේ ෆ්‍රෙන්චයිස් ගන්නවා කියන්නේ සල්ලි හම්බ කර ගන්න විදියක් වෙලානේ තියෙන්නේ. රෝසි සේනානායක කියන්නේ ලෝකෙම පිළිගන්න රූ රැජිනක්. ඇය ගියෙත් ‘මිස් වර්ල්ඩ්’ තරගයටයි. ඊට පස්සේ ශිරන්ති රාජපක්‍ෂ ගියෙත් ‘මිස් වර්ල්ඩ්’. නමුත් අද තියෙන මේ තරග නිසා හැමෝම හිතන්නේ මේ හැම තරගයක්ම එකයි කියලා. එහෙම නැහැ. සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙයිද, බැරිද මං දන්නේ නැහැ. ‘මිස් වර්ල්ඩ්’, ’මිස් යුනිවර්ස්’ කියන්නේ ලෝකේ තියෙන ලොකුම පැජන්ට් එක වගේම පිළිගන්න පැජන්ට් එක. ඉතිං දැන් තියෙනවා පැජන්ට් 100ක් විතර. ඒවා සල්ලි හම්බ කරන්න තියෙන ඒවා. අද බැලුවොත් හැම කෙනෙක්ම ‘මිස් ශ්‍රී ලංකා’ කෙනෙක්. ඒකට මම කැමැති නැහැ. මොකද මම ‘මිස් වර්ල්ඩ්’ ගිය කෙනෙක්. ඒකට යන්න මහන්සි වුණ තරම දන්නේ මමයි. ඉතිං ඒක නිසා ඒ නමට හානි වෙනවාට මම කැමැති නැහැ. ඔය යන රැල්ල ඔහොම යැයි ඉදිරියටත්. අද ඇහැව්වොත් ඔක්කෝම ‘මිස් ශ්‍රී ලංකා’ කෙනෙක්. හැබැයි ‘මිස් වර්ල්ඩ්’ සහ ‘මිස් යුනිවර්ස්’ තමයි බියුටි පැජන්ට් එකක් විදියට පිළිගන්නෙ.

අද නිරූපිකාවක් බිහි වෙන්නෙ සමාජ මාධ්‍ය නිසා ජනප්‍රිය වෙන අයට දක්‍ෂතා නැද්ද?

සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වන ඇතැම් අයට ඇත්තටම ටැලන්ට් එකක් තියෙනවා. ටීවීවලින් රිජෙක්ට් වෙච්ච අය ටැලන්ට් එක්ක සමාජ මාධ්‍යවලට තමන්ගේ ටැලන්ට් දක්වලා ජනප්‍රිය වෙලා තියෙනවා. මම එහෙම වෙලා තියෙනවා. හැබැයි අද ගොඩක් වෙලාවට ඇතැම් නිරූපණ ශිල්පිනියන් නිසා ක්‍ෂේත්‍රයට හානි වෙලා තියෙනවා. මම හිතන්නෙ ඒක හොඳ දෙයක් නෙමෙයි. මේ ක්‍ෂේත්‍රය පස්සට ඇදීමක් කියලයි මම දකින්නෙ. අද ගොඩක් ප්‍රවීණ නිරූපණ ශිල්පිනියන් කියන දෙයක් තමයි ඒ කාලයේ කොහොමද මේ ක්‍ෂේත්‍රය තිබුණේ, අද මොකක්ද මේ වෙලා තියෙන්නේ තැනට ඔවුන් කතා කරනවා. එක බ්‍රයිඩ්ල් එකක්, දෙකක් කරපු අය කියනවා මම ‘මොඩල්’ කියලා. මම නිරූපණ ශිල්පිනියක් නෙමෙයි. මට එහෙම අත්දැකීම් නැහැ. මම සාමාන්‍යයෙන් රෑම්ප් කරලා තියෙනවා. තමන් කවුද කියලා තමුන් තේරුම් ගන්න ඕන. සමාජ මාධ්‍යවලින් එළියට ආපු අය රැල්ලට ගහගෙන යයි. අනිවාර්යයෙන්ම ඒක වෙනවා. මොකද ඒ දේවල් පොඩි කාලයයි තියෙන්නේ.

ඉදිරි කටයුතු සහ බලාපොරොත්තු ගැන කිව්වොත්?

මට චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒකට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. චිත්‍රපට කරන්න තමයි මගේ දැන් බලාපොරොත්තුව තියෙන්නේ. මම කිව්වා වගේ නාළිකාවකින් කරන ලොකු වැඩක් තියෙනවා. ඒ වැඩෙත් හොඳ වැඩක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතිං මගේ අධ්‍යාපන කටයුතු සහ මගේ වැඩකටයුතු එක්ක ‘මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා’ හැටියට​ සමාජ සත්කාර ව්‍යාපෘතියක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මානසික පීඩනයෙන් පෙළෙන මිනිස්සු ගැන. ඒ කියන්නේ දිවිනසා ගැනීම් කියන කාරණාව කොහොම අඩු කරන්නේ කියන එක ගැනයි. ඒ දේත් මගේ ඉදිරියට තියෙන ලොකු බලාපොරොත්තුවක්.

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සජීව ලක්ෂාන්


Gossip Lanka Hot News Previous News Archive