බුදු දහමට අපහාස කළ නතාෂා 7දා දක්වා රිමාන්ඩ්


“මෝඩාභිමානය " නමැති ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන ආකාරයෙන් අදහස් දැක්වූ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ජයනි නතාෂා එදිරිසූරිය ජුනි 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28) නියෝග කළේය.

ජයනි නතාෂා එදිරිසූරිය යන සැකකාරිය කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවෙසට ඊයේ (28) රාත්‍රියේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ නියෝගය ලබා දුන්නේය.
කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයීය රංග ශාලාවක පැවැති ප්‍රසංගයක දී බුදුන් වහන්සේ සහ සිද්ධාර්ථ කුමාර අවධිය සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කරමින් ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට කටයුතු කළේ කළේ යැයි කියන මේ කාන්තාව සිංගප්පූරුවට පළායාමට සූදානම්ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (28) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්වරයාගෙන් සහ භික්ෂූන් වහන්සේලා පහළොස් නමකගෙන් මේ වනවිට මේ සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බව සැකකාරිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරමින් පැවසූ රහස් පොලිසිය සැකකාරිය සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ ( ICCPR ) වරදක් බැවින් අධිකරණයට ඉදිරිපත් කරන බව දන්වා සිටියේය.

මෙම පැමිණිලි විමර්ශනය කරන අවස්ථාවේ රටින් පිටවීමට තැත් කිරීමෙන් විමර්ශනවලට බාධා වීමට ඉඩ ඇති බවටත් ඇයගේ ප්‍රචාරණය හේතුවෙන් මහජන කැළඹීමක් සිදු විය හැකි බවටත් ඉදිරිපත් වූ කාරණා සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ල සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනි.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ජයනි නතාෂා එදිරිසූරිය ඊයේ (28) අලුයම 01.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගත් බවත් SL Vlog නැමැති යූ ටියුබ් නාලිකාව ඔස්සේ සැකකාරිය, දසත ලංකා හසලක තුෂාර ඇතුළු කණ්ඩායමක් මෙම වීඩියෝව මුදා හැර ඇති බවත් නරඹන්නන් 21,000ක් මෙය නරඹා ඇති බවත් අධිකරණයට දන්වා සිටියේය.

මෙම ආගමික වෛරී ප්‍රකාශනය හේතුවෙන් මහජන කැළඹීමක් සිදු විය හැකි බව අධිකරණයට දන්වා සිටි රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ එය විහිළුවට කියූ දෙයක් පමණක් බවය. විහිලුවකට කියූ දෙයක් සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනත යටතේ( ICCPR ) අදාළ නොවන බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. විහිළුවට ආගමික කාරණා අදාළ කරගැනීම සුදුසුද යන්න මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේය.

එහිදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙය සුවිශේෂී තත්ත්වයක් බවය. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පළමු වතාවට මෙවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව අධිකරණයට දන්වා සිටි රහස් පොලිසිය ඇය ඇප මත මුදා හැරියහොත් විශාල මහජන කැළඹීමක් සිදු විය හැකි බවද කියා සිටියේය.

සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ අතර ඇය විමර්ශන ප්‍රගතිය ඉදිරි දින අධිකරණයට වාර්තා කරන ලෙස දන්වා සිටියේය.

එහිදී ඇය යම් රෝගී තත්වයකින් පෙනෙන බැවින් බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට ඇය ඉදිරිපත් කරන ලෙස සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පොලිස්පති නියමයෙන් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟ ඇය හදිසියේම සිංගප්පූරුව බලා පළායාම සඳහා සිය පෙම්වතා යැයි කියනු ලබන අයෙක් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත පැමිණ සිටිය දී අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ. ඇය ගුවන්තොටුපොලට පැමිණ ඇත්තේ පෙරේදා (27) රාත්‍රී 11.00 හෝ ඒ ආසන්න කාලය තුළ දී බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෝඩාභිමානය නමැති විකට ප්‍රසංගයකදී තමන් මේ ප්‍රකාශය කළ බව ප්‍රශ්න කිරීමේ දී ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත. කොළඹ 07 ඇති කාන්තා විද්‍යාලයක රංගන ශාලාවක දී පැවැති ප්‍රසංගයක දී මෙම ප්‍රකාශය තමා විසින් කරනු ලැබුවේ අප්‍රේල් 01 වෙනිදා බවත් ඇය පවසා තිබේ. තමා මෙය අපහාසයක් ලෙස සලකා නොකී බව ද පවසා ඇත. ඇය මෙසේ බුදුරජාණන් වහන්සේ සහ සිද්ධාර්ථ කුමාර චරිතය ප්‍රහසනයට ලක් කරමින් අපහාසකර ඇත්තේ ද ඇය වෙනත් ආගමික තැනැත්තියක් ලෙසින් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. එසේම ඇය ගෝල්ෆේස් අරගලයේද සිටි තැනැත්තියක් බවට තොරතුරු ඇති බැවින් ඒ ගැනද විශේෂ අවධානයක් යොමු කරමින් කරුණු සොයා බලන බව ද එම නිලධාරියා කීය.

ෙනතාෂා එදිරිසූරිය නමැති මෙම තැනැත්තිය සම්බන්ධයෙන් අධිකරණයෙන් ගුවන් ගමන් තහනමක් ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිට ඇත්තේ ඊයේ දිනය තුළදී ය. බුදු දහමට අපහාස කළ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ද සිංගප්පූරුවට පළාගියේ අධිකරණයෙන් ගුවන්ගමන් තහනම ලබා ගැනීමට පෙර දිනයක වූ බැවින් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඒ ගැන කටුනායක ගුවන්තොටුපොල ඒකකයට ඇය සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇය රටින් පිටව යාමට සූදානම් වුවහොත් වළක්වන ලෙස දැනුම් දී තිබී ඇත. ඇයව අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ඒ අනුවය.මෙම තැනැත්තිය ගල්කිස්ස විජය පාරේ පදිංචිකාරියක් බවත් ඇය අවුරුදු 32ක් වයසැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇය විසින් රැකියාවක් කරන බවක් හෝ ස්ථීර ආදායම් මාර්ගයක් ගැන තොරතුරු අනාවරණය නොවන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තැනැත්තිය 2013 වසරේ සිට 2018 වසර දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිට ඇති බවටද තොරතුරු විමර්ශනයේ දී ලැබී ඇත. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනතේ විධිවිධානයන් මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.

සුභාෂිණි සේනානායක, ගයාන් කුමාර වීරසිංහ, කටාන-බර්ටි වීරසිංහ, කටුනායක-ටී.කේ.ජී. කපිල

Gossip Lanka Hot News Previous News Archive