පාර්ලිමේන්තුවට ඇගිලි ගහන්න අධිකරණයට බැහැ -කතානායක, No outside entity has power over Parliament Speaker


දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය කළ දැනුම්දීම කතානායක චමල් රාජපක්ෂ මහතා අද (29) තරයේ ප‍්‍රතික්ෂේප කළේය.

පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සියලු වගකීම් තමා බාර ගන්නා බවත්, ඒ පිලිබදව කිසිවකුට නියෝගදිය නොහැකි බවත් කතානායකවරයා අද පස්වරුවේ පාර්ලිමේන්තුව තුල විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය.


පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය හා ස්වෛරීයභාවය හා අනන්‍යතාවයත්, ගරුත්වයත් ආරක්ෂා කිරීමට බැඳී සිටින කතානායකවරයා, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා එල්ලවී ඇති ක්‍රියාකලාපය පිළිබඳව අවධානය යොමුකොට තීරණයක් ලබාදිය යුතු බවට සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පෙරවරුවේ කල විශේෂ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා එසේ පැවසිය.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කිරීමට පත් කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තමාට පමණක් වගකිවයුතු බව සදහන් කල කතානායකවරයා, බාහිර ආයතනවලට තමාට හෝ කමිටු සාමාජිකයින්ට නියෝග නිකුත්කළ නොහැකි බවද අවධාරණය කළේය.

දෝෂාභියෝගය සම්බන්ධයෙන් තමාට සහ තේරීම් කමිටු සාමාජිකයින්ට අධිකරණයෙන් නොතිසි ලැබී ඇති සදහන් කල කතානායකවරයා, එම නියෝග පාර්ලිමේන්තුවට බලනොපාන බවත්, එහෙයින් එකී නොතිසි නිෂ්ප්‍රභා වන බවත් අවධාරණය කළේය.

තවදුරටත් එවැනි නියෝග ලබා දෙන්නේ නම් එය පාර්ලිමේන්තුවට කරන බලපෑමක් ලෙස සලකන බවද කතානායකවරයා පැවසිය.

කතානායකවරයා මෙම කාරනා අවධාරණය කරනු ලැබුවේ, පාර්ලිමේන්තුව උත්තරීතර බව කී හිටපු කතානායකවරයකුවූ අනුර බණ්ඩාරනායක මහතා මිට අදාළ කාරණයක් සම්බන්ධයෙන් ලබාදී තිබු තීන්දුවක් සිහිපත් කරමිනි .

ඒ අනුව අභියාචනාධිකරණයට නොයන බව කතානායකවරයා නිවේදනය කළේය.

මෙම කාරණය සම්බන්ධයෙන් අද දහවල් පාර්ලිමේන්තුව ඇමතු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද අනුර බණ්ඩාරනායක මහතා මිට පෙර ලබාදී තිබු තීන්දුව අනුමත කළේය.

බාහිර ආයතන වලට මා හෝ මා විසින් පත් කරන ලද කමිටුවකට නියෝග නිකුත් කළ නොහැකියි



Gossip Lanka Hot News Previous News Archive