දිවයින පුරා හෙද හෙදියන් වර්ජනයක.

ඉල්ලීම් 5 ක් මුල් කරගනිමින් දිවයින පුරා සියලූ රෝහල්වල සිටින හෙද සංගම් දෙකකට අයත් හෙද හෙදියන් අද වැඩ වර්ජනයක් සිදු කිරීමට සැරසෙනවා. අද උදෑසන 7 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ. හෙද සේවාවේ වැටුප් ගැටළුව හා උසස්වීම් සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළු මෙම වැඩ වර්ජනය සඳහා මූලික වශයෙන් හේතුවී ඇති බව එම සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය ප‍්‍රකාශ කළා.


රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට සහයෝගය දැක්වීමක් ලෙස නොවූවත් හෙද සේවායේ පැවැත්ම වෙනුවෙන් තමන්ද අද දවසේ සියලූ සේවාවලින් ඉවත්වන බව සමස්ත ලංකා හෙද සේවා සංගමය පවසනවා. එහි සභාපති එස්.බී. මැදිවත්ත සඳහන් කළේ අද දිනයේ දිවයින පුරා සියලූ රෝහල්වල තම සංගමයේ නියෝජිතයන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක නිරතවන බවයි.


රිජ්වේ ආර්යා ළමා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල සහ මහරගම පිලිකා රෝහලෙහි අද දිනයේ මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක නොවන බවද හෙද සංගම් සඳහන් කළා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළේ හෙද හෙදියන් ගෙන ඇති මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය අසාධාරණ බවයි. අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග එක්ව ඔවුන්ගේ ඉල්ලීම් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

පාලකයින් විසින් දිගින් දිගටම සිය ඉල්ලීම් ලබානොදීම හේතුවෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් හා දැවැන්ත උද්ඝෝෂණයක් අද (15) කොළඹදී පැවැත්විණි. ජාතික රෝහල ඉදිරිපිටින් ආරම්භ කෙරුණු පා ගමන සෞඛ්‍ය අමාත්‍යංශය අභියසට ගමන් කළ අවස්ථාව මෙහි දැක්වෙයි.

හෙද සේවාවේ අතිකාල දීමනා වැඩි නොකිරීම,හෙද සේවාවේ අනතුරු දීමනා හා ඉන්වෙන්ට්‍රි දීමනා වැඩි නොකිරීම,දින 05 සතියේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීම,නව බඳවා ගැනීම් පළාත් සභාවලට පවරමින් ඔක්තෝම්බර් 05 වන දින නිකුත් කළ අංක 1779 දරණ ගැසට් පත්‍රය අවලංගු නොකිරීම,පැරණි ව්‍යවස්ථාව අනුව ශ්‍රේණිගත උසස්වීම් ලබා නොදීම ආදී කරුණු ගණනාවක් හේතුවෙන් අද දිනයේ සංකේත වැඩවර්ජනයක්ද දියත් කර ඇති වග රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Gossip Lanka Hot News Previous News Archive