ශ්‍රී ලංකාවට යළිත් ඒඩ්ස් අවදානමක්, Sri Lanka will be vulnerable to an increase in HIV infections

ශ්‍රී ලංකාව තුළ මාරාන්තික ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වී‍මේ දැඩි අවදානමක් යළිත් මතුවී ඇති බවත්, මවගෙන් දරුවාට ඒඩ්ස් රෝගය වැලදීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාං‍ශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.


මේ වනවිට මවගෙන් ඒඩ්ස් රෝගය වැලඳුන දරුවන් 56 දෙනෙකු වාර්තාවී ඇති අතර දරුවන් මේ ව්‍යසනයට ගොදුරු වීමේ නැඹුරුතාව අඩි කිරීම සඳහා ඒඩ්ස් සම්බන්ධ රුධිර පරීක්ෂණයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නැයි ගැබිනි මව්වරුන්ගෙන් ඒඩ්ස් මර්දන වැඩසටහන ඉල්ලා සිටී. ඒ අනුව අලුතින් උපදින දරුවා ඒඩ්ස් රෝගයෙන් ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස රට පුරා සිටින ගැබිනි මව්වරුන්ට තමන්ගේ කැමැත්ත මත එච්.අයි.වි. ඒඩ්ස් පරීක්ෂණයක් සිදු කර ගැනීමට අවස්ථාව සැලසීමට මේ වැඩසටහන සැලසුම් යොදා ඇත.

තම ප්‍රදේශයේ පවතින මාතෘ සායන මඟින් මේ පරීක්ෂණය සිදු කර ගත හැකි බවත් වෙනත් මාතෘ සායනවලට අමතරව මවගේ කැමැත්ත මත මේ පරීක්ෂණය සිදු කර ගත හැකි බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ප්‍රකාශ කරයි.

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් මේ පිළිබඳ දැනුවත් කිරීමට ද එම වැඩසටහන පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ පළමු ඒඩ්ස් රෝගියා 1986 දී වාර්තා විය. ඔහු විදේශිකයෙකි. 1987 දී දේශීය ඒඩ්ස් රෝගීන් දෙදෙනකු වාර්තා වී තිබේ.

මේ වනවිට රට තුළ ඒඩ්ස් රෝගීන් 1597ක් සිටින බවද ඉන් 42%ක් ස්ත්‍රීන් බවද , 48% ක් පුරුෂයන් බවද ඒඩ්ස් මර්දන ඒකකය කියයි.

මීට වසර හතළිහකට පමණ පෙර සිට උපදංශය බෝ වන රෝගය පිළිබඳ මාතෘ සායනවලදී පරීක්ෂණ සිදු කිරීමට ආරම්භ කර තිබේ. උපදංශය රෝගය ද මවගෙන් දරුවාට බෝ විය හැකි රෝගයකි. දරුවා ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් මව මේ පරීක්ෂණයට භාජනය කිරීමට මාතෘ සායන පියවර ගෙන ඇත. ඒ ආකාරයේ සායනයක් ලෙස ඒඩ්ස් සායනය ද පැවැත්වීමට නියමිත ය.

මේ පිළිබඳ ගැබිනි මව්වරුන් කලබල නොවිය යුතු බවත් ඒඩ්ස් රෝගය පිළිබඳ සැකයක් ඇත්නම් තමන්ගේ කැමැත්ත මත පමණක් මේ පරීක්ෂණයට භාජනය විය හැකි බවත් එම වැඩසටහන දැනුම්දෙයි.

Gossip Lanka Hot News Previous News Archive