ලංකාව තුළ ඒඩ්ස් (AIDS) අවදානම - HIV/AIDS in Sri Lanka

2012 වසරේ හඳුනාගෙන ඇති ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව 1544 කි.

HIV වෛරසය ආසාදිත වන ක්‍රම 03කි. එනම්,

1. ආසාදිත පුද්ගලයකුගේ රුධිරය හෝ රුධිර කොටස් පාරවිලනය කිරීමෙන්

2. ආසාදිත කෙනකු සමඟ ලිංගික හැසිරීමකින් හෝ අංග බද්ධ කිරීම හා ශුක්‍ර බැංකු මඟින්

3. ආසාදිත මවකගෙන් දරුවාට

සැත්කම්වලදී ලේදීම මඟින්, සමහර රෝගවලදී රුධිර කොටස් පාරවිලනය කිරීමෙන්, සම සිදුරු කිරීමට ගන්නා කටු, එන්නත් කටු, සිරින්ජර් හා ශල්‍ය ආම්පන්න මඟින්, දැලිපිහි, රේසර්, බ්ලේඩ් ආදී උපකරණ හුවමාරුවෙන් ද HIV ආසාදනය විය හැකිය.


මෙය ලිංගාශි‍්‍රත රෝගයක් වන හෙයින් අනාරක්ෂිත ලිංගික ඇසුරෙන් HIV ආසාදනය වීමේ ප්‍රවණතාවය වැඩිය. එය 95% පමණ වේ යැයි වෛද්‍ය මතයයි.

ආසාදිත ස්ත්‍රියක හෝ පුරුෂයෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වීමේදී ඔවුන්ගේ ශුක්‍ර තරලයේ මෙන්ම යෝනි ශ්‍රාවයේද මෙම වෛරසය තිබීම හේතුවෙන් HIV වෛරසය ශරීරයට ඇතුළු වී වසර 08 ක් හෝ 10 ක් පමණ කාලයක් ගතවන තුරු රෝග ලක්ෂණ ඇති නොවී සාමාන්‍ය පුද්ගලයින් මෙන් ජීවත්වීමේ හැකියාව සමහරුන්ට ඇත.

මවකගෙන් දරුවාට “ඒඩ්ස්” ඇතිවන අයුරු

HIV ආසාදනයෙන් පෙළෙන කාන්තාවක් ගැබ් ගත්විට උපදින දරුවාට ආසාදන ඇතිවීමට 15% - 45% දක්වා ප්‍රවණතාවයක් පවතී.

ආසාදිත මවකගේ කුසෙහි සිටින දරුවාටත්, දරුවා බිහිවන අවස්ථාවේ සිදුවන කටයුතු නිසාත්, උපත ලැබූ පසු මවුකිරි දෙන අවධියේ මව HIV ආසාදිත වුවහොත් මවගෙන් දරුවාට HIV ආසාදනය වීම නොවැළැක්විය හැකිය. 2012 වසරේ මුලදී කරන ලද සමීක්ෂණයේදී ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන් 90 දෙනෙක් හඳුනාගෙන ඇත. මෙයින් පනස් දෙදෙනෙකුම (52) HIV වෛරසය මවගෙන් දරුවාට සම්පේ‍්‍රෂණය වී ඇති බව හෙළිවී තිබේ.

මෙය ඉතාමත් භයානක තත්ත්වයක් වූ හෙයින් HIV/AIDS වෛරසය මවකගෙන් දරුවාට සම්පේ‍්‍රෂණය වීම වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයකට එළැඹිය යුතුව ඇත.

මේ සඳහා ගත යුතු වඩාත් හොඳ විසඳුම නම් ඉදිරි කාලයේදී මාතෘ හා ළමා සෞඛ්‍ය සායනයට සහභාගී වන සෑම ගර්භණී කාන්තාවක්ම සමාජ රෝග මෙන්ම HIV/AIDS ආසාදන තත්ත්ව සම්බන්ධයෙන් රුධිර පරීක්ෂණයකට යොමු කළ යුතු බව වෛද්‍ය නිගමනයයි. HIV/AIDS ආසාදිත බව හඳුනාගත් පසු ඇය ලිංගාශි‍්‍රත සම්පේ‍්‍රෂණ රෝග (ඉඊච්) සායනයකට යොමු කිරිමට පියවර ගෙන එම තැනැත්තිය සමාජ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් AIDS රෝගයට අදාළ ප්‍රතිකාර ලබාදීමට කටයුතු සලසා දීමට පියවර ගෙන ඇත. මෙම ඒඩ්ස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සමාජ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සහ ප්‍රජා වෛද්‍ය

විශේෂඥයින්ගෙන් සමන්විත විශේෂ වෛද්‍ය කණ්ඩායමක් HIV/AIDS ආසාදිත මවුවරුන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ඇප කැපවී සිටී.

ඒඩ්ස් (AIDS) රෝගයේ ප්‍රධාන ලක්ෂණ

*අසාමාන්‍ය ලෙස ශරීරයේ බර අඩුවීම

*මසකට අධික කාලයක් පාචනය රෝගය පැවතීම

*කල්පවතින උණ රෝගය

*සුළු කටයුත්තකදී පවා අධික මහන්සිය දැනීම

මීට අමතරව හතිය, හුස්ම ගැනීමේ අපහසුතා, වියළී කැස්ස, වසා ග්‍රන්ථි ඉදිමීම, ශරීරයේ දම්පැහැති හෝ රෝස පාටට හුරු ලප, පැල්ලම් හෝ ගැටිති ඇතිවීම, මුඛයේ තුවාල (උල්ලෝසම්) , ආහාර අරුචිය, අධික දහඩිය දැමීම ආදි රෝග ලක්ෂණ ඒඩ්ස් රෝගියකු හට ඇතිවේ.

එහෙත් මෙවන් රෝග ලක්ෂණ වෙනත් රෝග සඳහාද ඇතිවන නිසා HIV/AIDS රෝගියකු හඳුනාගත හැක්කේ විධිමත් රුධිර පරීක්ෂණයකින්ම පමණි.

ඒඩ්ස් (AIDS) රෝගය පැතිරයාම වළක්වා ගන්නා ආකාරය

ඒඩ්ස් රෝගය පැතිරයාම අවම කර ගැනීමට නම් අනාරක්ෂිත ලිංගික ක්‍රියාවන්හි නොයෙදිය යුතුය. මෙතෙක් කරන ලද සමීක්ෂණවලදී හෙලීවී ඇති ආකාරය අනුව 95% ලිංගික ඇසුර නිසා රෝගී තත්ත්වයට පත්වූවන් බව හඳුනාගෙන තිබේ.

එම නිසා විශ්වාසවන්ත එකම සහකාරියක් / සහකාරයෙක් සමඟ ලිංගික ක්‍රියාවන්හි යෙදිය යුතුය. නොඑසේනම් ලිංගික ක්‍රියාකාරකම්වලදී කොන්ඩම් වැනි උපකරණ භාවිතා කළ යුතුය.

යම් පුද්ගලයෙක් අනියම් ලිංගික ඇසුරක නියැලී ඇත්නම් රුධිර පරීක්ෂණයකින් තමා HIV/AIDS ආසාදිතයෙකු ද නැද්ද යන්න සනාථ කොට ගනිමින් ආසාදිත තත්ත්වයට පත්ව ඇත්නම් එය සඟවා තබා ගනිමින් රෝග වාහකයකු ලෙස ජීවත් නොවී විධිමත් වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරිම.

සියලුම ආගම් තුළින් මිනිසාගේ මනස සංවර්ධනය කිරීමටත් කායික සංවරය ඇති කිරීමටත් ක්‍රියා කළහොත් HIV/AIDS රෝගය පැතිරයාමේ අවදානම අවම කරගත හැකිවනු ඇත.

මේ වන විට ලංකාව තුළ ඒඩ්ස් (AIDS) අවදානම

ශ්‍රී ලංකාවේ මුල්ම ඒඩ්ස් (AIDS) රෝගියා හඳුනා ගත්තේ 1986 වසරේදීය. වර්තමානය වන විට ලංකාව තුළ ඒඩ්ස් රෝගීන් සංඛ්‍යවේ වර්ධනයවීමක් දක්නට ලැබේ. 2012 වසරේ හඳුනාගෙන ඇති ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව 1544 කි. ඔවුන් අතරින් 800 ක් රෝගීන් සායනවල සේවාවන් ලබාගන්නා අතර විශේෂිත වූ රෝගීන් 350 ක් සුවිශේෂී ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ලිංගාශි‍්‍රත රෝගීන් ලක්ෂ දෙකක පමණ සංඛ්‍යාවක් ඇතැයි සමීක්ෂණවලදී හෙළීවී තිබේ. උපදංශ, ගොනෝරියා වැනි සමාජ රෝග මීට ඇතුළත් වේ. එහෙත් එම රෝගීන්ගෙන් ප්‍රතිකාර සඳහා යොමුවී ඇත්තේ දහ දහසත් එකොළොස් දහසත් අතර (10000 -11000) ප්‍රමාණයකි. ලංකාවේ වැඩිම ලිංගාශි‍්‍රත රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. වෙරළබඩ තීරයේද බොහෝ පිරිසක් සිටී. මේ අනුව බලනවිට ශ්‍රී ලංකාව තුළ ලිංගාශි‍්‍රත රෝග වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයකට නොඑළඹුනහොත් අපේ රට ලිංගාශි‍්‍රත රෝගීන්ගේ පාරාදීසයක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.

- ධම්මිකා වෙලේගොඩ

Gossip Lanka Hot News Previous News Archive