නිළියකට හතරදෙනකුගෙන් අමානුෂික ලෙස අතවර

තම නේවාසිකාගාරය අසල පැවැත්වූ වර්ෂාවසාන සංගීත සංදර්ශනය නරඹා අලුත් අවුරුදු දින අලුයම (1වැනිදා) ආපසු තම නේවාසිකාගාරය බලා හුදකලාව එමින් සිටි වේදිකා නාට්‍ය නිළියක පැහැරගෙන ගොස්‌ ඇයට අමානුෂික ලෙස අතවර කිරීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනා ලැබූ ගුවන් හමුදා භටයන් දෙදෙනකු, වඩු කාර්මිකයකු සහ නේවාසිකාගාර හිමියකු ජනවාරි මස 15 වැනි දින දක්‌වා රිමාන්ඩ් භාරයට පැමිණවීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.

රිමාන්ඩ් භාරයට පැමිණවූ සැකකරුවන් වූයේ ගුවන් භට ඉත්තෑපාන ලූල්බැද්දුම කුරුඳුවත්ත පදිංචි කේ. ඒ. උදිත ලක්‌මාල් ජයතිලක (26), ගුවන් භට මැදිරිගිරිය නව නගරය යාය 4 පදිංචි පී. ඩී. සුනිල් ශාන්ත (40), වඩුකාර්මික ශිල්පියකු වූ මීගමුව කිඹුලාපිටිය ගල්මන්කඩ පදිංචි එල්. බුද්ධික ප්‍රේමරත්න (32) සහ නේවාසිකාගාර හිමියකු වන කදිරාන පේෂකර්ම ගම්මානයේ පදිංචි කේ. පැට්‌රික්‌ ප්‍රනාන්දු (54) නමැත්තන්ය.


මෙහි පැමිණිලිකාරිය වන වේදිකා නාට්‍ය නිළිය බිබිල අඹගොල්ල සිංහපුර පදිංචි 28 හැවිරිදි එක්‌දරු මවකි. ඇයට නාට්‍යවල රඟපෑම පහසුවීම සඳහා මෙහි සිව්වැනි සැකකරු වූ පැට්‌රික්‌ ප්‍රනාන්දු නමැත්තාට අයත් නේවාසිකාගාරයේ නතර වී ඇත. මෙම අතවරය සිදුවූ දින (දෙසැම්බර් 31 වැනිදා) ඇය තම නේවාසිකාගාරය අසල පැවැත්වූ සංගීත සංදර්ශනය බැලීමට ගොස්‌ ඇත.

ඇය අලුත් අවුරුදු දින උදාවෙත්ම අලුයම 1.00 ට පමණ සංගීත සංදර්ශන භූමියේ සිට තම නේවාසිකාගාරය කරා හුදකලාව පැමිණ ඇත. එම මාර්ගය අතරමග රැක සිටි මෙහි පළමු සැකකරු වන ලක්‌මාල් ජයතිලක නමැත්තා ඇයට මරණීය තර්ජන එල්ල කොට ඇයව පැහැරගෙන ගොස්‌ අතවර කළ බවත් පසුව සැකකරුවන්ගෙන් කිහිපදෙනකු ඇයට අමානුෂික ලෙස අතවර කළ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

පසුව අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඇය ප්‍රතිකාර සඳහා මීගමුව දිසා රෝහලට ඇතුළත් කර තිබේ. මේ පිළිබඳ පුළුල් පරීක්‍ෂණ පැවැත්වූ මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සජිත් රත්නායක සහ මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂක ආර්. එම්. විතාන මහත්මිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. මෙහි නේවාසිකාගාර හිමියා එම සිද්ධියට ආධාර අනුබල දීම පිළිබඳ චෝදනා ලබා ඇත. සැරයන් (51703) ඩී. එස්‌. අත්තනායක මහතා පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය වෙනුවෙන් නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive