සජිත්ගේ නියෝජ්‍ය නායකකම අදින් ඉවරයි !

එක්සත් ජාතික පක්ෂය පසුගිය සම්මේලනයේදී ගනු ලැබූ තීරණයක් ඊයේ (10) දිනවන විට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම පක්ෂයේ ප්‍රධාන තනතුරු තුනක් අද (11) සිට පුරප්පාඩු වී තිබේ. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, උප නායක සහ ජාතික සංවිධායක යන තනතුරු මෙසේ පුරප්පාඩු වී ඇත.ඒ අනුව සජිත් ප්‍රේමදස මහතාගේ නියෝජ්‍ය නායක ධූරය අහෝසි විය.

පුරප්පාඩු තනතුරු වෙනුවෙන් පුද්ගලයින් පත් කිරිමේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ලබන 21 දා දක්වා කල්යාම නිසා මෙසේ තනතුරු පුරප්පාඩුවී තිබේ. ඊයේ (10) පැවැත්වීමට නියමිතව තිබු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම, අගවිනිසුරුවරිට එරෙහි දෝෂාභියෝග චෝදනා විමර්ශන කමිටු වාර්තා විවාදය හේතුවෙන් ලබන 21 දා දක්වා කල් දැමීමට එම පක්ෂය තීරණය කළේය.


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතාද, උප නායක ලෙස ජෝශප් මයිකල් පෙරේරා මහතාද, ජාතික සංවිධායක ලෙස දයා ගමගේ මහතාද කටයුතු කළේය. පක්ෂයේ මෙම තනතුරු සඳහා සාමාජිකයින් පත් කිරිම 10 දා පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී කිරිමට පක්ෂ මහා සම්මේලනයේ අනුමැතිය හිමිවිණ. එතෙක් තනතුරුවල සිටින අයගේ කාලය දීර්ඝ කරන ලදි.

නමුත් කෘත්‍යාධිකාරි මණ්ඩලය පැවැත්වෙන දිනය කල් යාම නිසා දින දහයක කාලයක් පක්ෂයේ තනතුරු තුනක් පුරප්පාඩුව පවතිනු ඇත. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ලබන 21 දා සවස 4.00 ට පැවැත්වේ.
කෙසේවුවද, එජාප ව්‍යවස්ථාවට අනුව නායකයාට පැවරී ඇති බලතල යටතේ, පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක, භාණ්ඩාගාරික සෙනරත් කපුකොටුව හා සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා යන අයගේ නම් රනිල් වික්‍රමසිංහ මහතා විසින් දීර්ග කර ඇත.
මෙම තත්වය යටතේ එජාපයේ ඉහල තනතුරුවලට පුද්ගලයින් පත් කිරීම සම්බන්ධයෙන් විද්‍යුත් නාලිකාවක් එස්.එම්.එස්.මනාප තරගයක් ද පවත්වා ගෙන යමින් සිටියි. මේ සදහා ජන්දය දීමට 'එස්.එම්.එස්. මනාපක් යැවීමට රුපියල් 5ක ආසන්න මුදලක් වැයවන අතර, එම මුදලින් සැලකිය යුතු මුදලක් අදාල මාධ්‍ය ආයතනයට ද හිමිවේ.

Gossip Lanka Hot News Previous News Archive