එජාප සාමාජිකයින් හෙට උසාවියේ පෙනී සිටින්නෙ නැහැ

දෝෂාභියෝග ක්‍රියාදාමය පාර්ලිමේන්තු කටයුත්තක් බැවින් අධිකරණයට නොයන බව එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඒ පිළිබඳ ඉදිරියේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ඇති බව අත්තනායක මහතා කියා සිටියි.

අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එ.ජා.ප මහ ලේකම්වරයා මේ බව කියා සිටියේය.


එසේම අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් සභානායක, අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කියා සිටියේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කළ ආණ්ඩු පක්ෂ නියෝජිතයින්ද අධිකරණයට සහභාගී නොවන බවයි.

එහෙත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කළ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයා වෙනුවෙන් එම සන්ධානය අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත්වන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්දිරන් මහතා අද දෙරණට කියා සිටියේය.

අගවිනිසුරු,ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගෙන එනු ලැබූ දෝෂාභියෝග චෝදනාව විමර්ශනය කිරීම සඳහා පත්කරනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීරණය අභියෝගයට ලක්කරමින් මීට පෙරාතුව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණි.

එකී පෙත්සම විභාග කරමින් අභියාචනාධිකරණය කතානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සියලු සාමාජිකයින්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරුණි.

එහෙත් මේ වනතුරුත් කතානායකවරයා හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කිසිදු සාමාජිකයෙකු එකී අධිකරණ නියෝගයට අනුව අධිකරණය ඉදිරියේ පෙනීසිටීමක් සිදුව නොමැත.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවේ ස්වාධීන විනිසුරුවරුන්ට එල්ල වන තර්ජන නතර කළ යුතු බවත්, මෙරට තුළ පසුගිය කාලයේ විනිසුරුවරුන්ට සහ නීතීඥවරුන්ට විවිධ බලපෑම් එල්ල වු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන විනිසුරුවරුන්ගේ හා නිතීඥවරුන්ගේ විශේෂ ප‍්‍රකාශිකාවක වන ගේබි‍්‍රයල් ක්නවුල් විසින් පසුගිය 31 වන දින මේ බව ප‍්‍රකාශ කර ඇත.

අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වී ඇති දෝෂාභියෝගය පිළිබඳව ද දැඩි අවධානයෙන් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි.

අදාළ දෝෂාභියෝගය පිළිබඳ යළි සලකා බලන ලෙස ශ‍්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ඔවුන් සඳහන් කරයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝෂාභියෝග තේරීම් කාරක සභා වාර්තාව දේශපාලනීකරණය වී ඇති බැවින් විනිවිද භාවයකින් යුතුව අදාළ චෝදනා විමර්ශනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පවසයි.

Gossip Lanka Hot News Previous News Archive