ධර්ම රාජ්‍යයේත් බුද්ධා බාර් !


'බුද්ධා බාර්' යනු බුදුරජාණන් වහන්සේගේ රූපය යොදාගෙන පවත්වාගෙන යනු ලබන තැබෑරුම් ව්‍යාපාරයකි. අමෙරිකාව, යුරෝපය, මැද පෙරදිග සහ ආසියානු රටවලද මේ කියන 'බුද්ධා බාර්' තැබෑරුම් තිබේ. පසුගිය 21 වැනිදා සන්ධ්‍යාවේදී ශ්‍රී ලංකාව නම් ධර්මද්වීපයේත් 'බුද්ධා බාර්' තැබෑරුමක් විවෘත කෙරිණි. ඒ බේරුවල ප්‍රදේශයේ වෙරළබඩ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකය.


ළිඳ තුළට වී පිරිත් නූල් ගැට ගැසීමෙන් පමණක් හෝ තමන් බෞද්ධ යැයි කියා ගැනීමෙන් පමණක් ධර්ම රාජ්‍යය සුරැකෙන්නේ නැති බව දැන් පැහැදිලිය. එම නිසා මේ කියන 'බුද්ධා බාර්' හි ඇති තතු දැන ගැන්ම වටී.
තරමක් විශාල ප්‍රමාණයේ බුද්ධ රූපයකි. එය වර්ණවත් විදුලි බුබුළුවලින් සරසා තිබිණි. සිදු වෙමින් පැවැතියේ 'බුද්ධා බාර්' ආරම්භයයි. ධර්ම රාජ්‍යය ගැන කියමින් වේදිකාවල කෑ මොර දුන් පුද්ගලයන් මේ ගැන හාංකවිසියක් හෝ දැන සිටියේ නැත. බුද්ධාගමට විපත් පැමිණෙන බව කියමින් එම විපත්වලින් බුද්ධාගම බේරා ගන්නට පාර්ලිමේන්තු පැමිණි බව කී ස්වාමීන් වහන්සේද සැතපී සිටියා විය හැකිය.

විදුලි බුබුළුවලින් සැරැසූ බුද්ධ රූපය ඉදිරියේ නෙළුම් මල් තිබිණි. ඒ වටා ඉටිපන්දම්ද පත්තු කෙරිණි. තවත් කරුණකි. ඉටිපන්දම් පත්තු කිරීමට පෙර සියලු විදුලි බුබුළු නිවී ගියේය. 'බුද්ධා බාර්' ශ්‍රී ලංකාවේද එසේ විවෘත කෙරිණි.

අනතුරුව රෙස්ටුරන්ට් එකක ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදුවීම ඇරැඹිණි. 'බුද්ධා බාර්' හි ආහාර වට්ටෝරුව නම් කර තිබුණේ 'නිර්වාණ' නමිනි. ආරාධිත විදේශිකයන් සහ දේශීය ව්‍යාපාරිකයන් පිරිසක් 'බුද්ධා බාර්' හි මංගල සව්දිය පිරුම අරඹා තිබිණි. ඒ අතරවාරයේ සිහින් හඩින් ඇරැඹි සංගීතය මෙන්ම, සංගීතයේ තාලයට රැඟුණු නැටුමද මධුවිත සාදය කුල්මත් කෙළේය. මෙම නර්තනය නම් කර තිබුණේ 'නිර්වාණ ස්ටයිල්' ලෙසය. අහෝ ඛේදයකි තවමත් ඒ ධර්ම රාජ්‍යයේ පෙරටුගාමීන් සැතපීය.

'බුද්ධා බාර්' සමාරම්භක අවස්ථාවට පැමිණ සිටි විදේශිකයන්ගෙන් බහුතරය අත අදාළ සුප්‍රකට හෝටලයෙන් නිකුත් කළ ආරාධනා පත්ද තිබිණි. මෙම බහුතරය ප්‍රංශ ජාතිකයන් වීමද විශේෂත්වයකි. මෙම සමාරම්භක උත්සවයේ සියලු කටයුතු සංවිධානය කර තිබුණේ අදාළ හෝටලය මඟින්මය. ආරාධනා පත්වල පුද්ගලයන් දෙදෙනකුගේ නම් සඳහන් කර තිබිණි. ඉන් එක් අයකු පෞද්ගලිකව සම්බන්ධ විය හැකි පුද්ගලයකු ලෙසද, අනෙක් තැනැත්තා හෝටලයේ සම්බන්ධීකාරකවරයකු ලෙසද හඳුන්වා තිබිණි. එහි නිර්වාණ ආහාර වට්ටෝරුවද ඇතුළත් විය. මෙහි පැමිණ සිටි විදේශිකයන් රැසක්ම ප්‍රසිද්ධියේ පැවැසුවේ 'බුද්ධා බාර්' නියමයි කියාය. එලෙස 'බුද්ධා බාර්' තැබෑරුම් ව්‍යාපාරය ලංකාවටද පය ගැසුවේය.

දේශපාලනඥයන්ට ප්‍රශස්ති ගයන ගරුතර ස්වාමීන් වහන්සේ දැන හෝ නොදැන එය එසේ සිදු වී තිබිණි. බුද්ධාගම, කතෝලික, ඉස්ලාම්, හින්දු ආදී සෑම ආගමකම නිර්මාතෘවරුන් දේශනා කර ඇත්තේ අන්‍ය ආගම්වලට අපහාස නොකරන ලෙසත්, ගරු කරන ලෙසත්ය. ශ්‍රී ලංකාවේදී නම් මෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බුද්ධාගම ඉහළ තැනක තබා තිබේ. කෙසේ වෙතත් සියලු ආගම් එම ආගම් අදහන්නන්ට උත්තරීතර වේ. එබැවින් මේ 'බුද්ධා බාර්' සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වා වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය බාරගෙන තිබේ. ඉහළ පොලිස් නිලධාරියකු පැවැසුවේ මෙමඟින් බුදු දහමට අපහාසයක් වූ බව තහවුරු වුවහොත් අදාළ සුප්‍රකට හෝටලයට සීල් තැබීමේ හැකියාව පවා පවතින බවයි.

මෙහිදී තවත් කරුණක් ලිවිය යුතුය. අම්මලා - තාත්තලා විකුණා හෝ දරුවන් විකුණා මුදල් සොයන උදාහරණ මේ කියන ධර්ම රාජ්‍යයේ ඇති පදම් තිබේ. ඉහත කී 'බුද්ධා බාර්' විවෘත කළ සුප්‍රකට හෝටලය ලෝකය පුරා සහ මෙරට ක්‍රියාත්මක වන දැවැන්ත සමාගමකට අයත් වූවකි. ඉතින්, ඒ සමාගමේ මුදල්වලට යට වී ඒ කියන සීල් තැබීම සිදුනොවුණහොත් පුදුම වන්නට දෙයක් නැත. ඒ ශ්‍රී ලංකාවේ හැටිය.

'බොදු බල සේනා' සංවිධානයට ලැබුණු හදිසි දුරකතන ඇමැතුමක් නිසා රහසිගතව පවත්වාගෙන යෑමට නියමිතව තිබූ 'බුද්ධා බාර්' රටට හෙළිදරව් විය. ආගම විකුණා මුදල් ගැරීමේ උත්සාහය එසේ ලත් තැන ලොප් කිරීමට ඔවුන්ට හැකිවීම පැසසිය යුතුය. බොදු බලසේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේ උපක්‍රමශීලීව 'බුද්ධා බාර්' සමාරම්භක උත්සවයේ ආරාධනා පත්ද තම අතට ගෙන තිබිණ.

අවසානයට ලිවිය යුත්තේ දැන් ළිං කටෙන් ගොඩඒමට හොඳම කාලය බවයි. නිසි කලට, නිසි දේ නොකර පසුවට කඳුළු හෙළීමෙන් පලක් නැත.

උපුටා ගැනීම  -මව්බිම 

Gossip Lanka Hot News Previous News Archive