ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පත් කිරීමට නියමිතයි. එක්දින ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කළ අග්‍රගණ්‍ය තුන් ඉරියව් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා අනිද්දා සිට නව තනතුරේ වැඩ භාර ගනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත 17කගෙන් යුත් තේරීම් කමිටු සාමාජික නම් ලැයිස්තුවක් යෝජනා කොට ඇති අතර සනත් ජයසූරිය මහතා සමග කටයුතු කරන කමිටු සාමාජිකයන් සිවු‍ දෙනා සදුදා නම් කෙරේ.
ටෙස්ට් තරග 110කට හා එක්දින තරග 445කට ක්‍රීඩා කළ සනත් ජයසූරිය මහතා වසර 20ක පමණ කාලයක් ශ්‍රී ලංකා පිල නියෝජනය කෙළේය. එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම අර්ධ ශතකය, එක්දින තරග 400ක් ක්‍රීඩා කළ පළමු ක්‍රීඩකයා වීම ඇතුලු ලෝක වාර්තා කිහිපයකටම ඔහු හිමිකම් කියයි.


1996 ලෝක කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් ඔහු 1977දී “වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා” ලෙස නම් කෙරුණි. ක්‍රිකට් පිටියේ “මාස්ටර් බ්ලාස්ටර්” නමිවු සනත් 2011දී ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.

හතළිස් තුන් හැවිරිදි වියේ පසුවන සනත් ජයසූරිය මහතා සමඟ පත්වෙන නව ක්‍රිකට් තේරීම් කමිටුවේ පළමු කාර්යය වනුයේ නව ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පත් කිරීමය. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සංචාරය අතරතුරදී මහේල ජයවර්ධන නායකත්වයෙන් ඉල්ලා අස්වු අතර පෙබරවාරියේ ආරම්භ වන බංග්ලාදේශය සමඟ වන ටෙස්ට් හා එක්දින තරගාවලියට ශ්‍රී ලංකා පිල සුදානම් කළ යුතුය තිබේ.

නව තේරීම් කමිටුවට පත්වන සාමාජිකයන් පස්දෙනාගෙන් දෙදෙනෙකුට ක්‍රිකට් තරග නැරඹීම ඇතුළු කාර්යයන් කිහිපයක් අනිවාර්ය කෙරේ. ක්‍රිකට් තේරීම් කමිටුවට යෝජනාවී ඇති නාම ලේඛණයේ 96 ලෝක කුසලාන දිනාගත් පිලට ක්‍රීඩා කළ හෂාන් තිලකරත්න හා පළමු ටෙස්ට් කඩුලු රකින්නාවු මහේෂ් ගුණතිලක යන මහත්වරුන් වෙති.

විනෝදන් ජෝන්, ගාමිණී වික්‍රමසිංහ, චමින්ද මෙන්ඩිස්, ජයන්ත සෙනෙවිරත්න, කපිල විජේගුණවර්ධන, ෂබීර් අස්ගර් අලී යන මහත්වරුන්ගේ නම් ක්‍රීඩා ඇමැතිවරයා වෙත යවා තිබේ. මෙයට අමතරව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්, දොන් අරුණසිරි හා හේමන්ත වික්‍රමරත්න යන මහත්වරුන්ගේ නම් ඇමැතිවරයා වෙත යැවු ලැයිස්තුවේ සඳහන් වේ.

.

Gossip Lanka Hot News Previous News Archive