තෙවසරකින් ඉන්දු-ලංකා වෙළඳාම දෙගුණ කිරීමට යයි


ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විශේෂ ආර්ථික සහයෝගීතාවයක් ඇති කිරීමට ප්‍රතිපත්තිමය රාමුවක් ගොඩනැගීම සඳහා ඉන්දියාව මෙරට මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමට සූදානම් වනබව දෙරට විසින් ඒකාබද්ධව නිවේදනය කර තිබේ.
මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡා වලින් පසුවයි.
“තවදුරටත් වෙළඳාම, සංචාරක කර්මාන්තය හා ආයෝජන සම්බන්ධතාවය පුළුල් කිරීමට පියවර කිහිපයක් ගැනීමට දෙරට එකඟ වුණා. මේ යටතේ, ඉදිරි වසර තුන තුළදී දෙරට අතර සිදුවන ද්වි පාර්ශික ආර්ථික හා වෙළඳ කටයුතු ඩොලර් බිලියන 10 ක් දක්වා දෙගුණ කිරීමට සැලසුම් කර තිබෙනවා.“ යනුවෙන් මෙම නිවේදනයේ සඳහන් වේ.


මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ඉන්දියානු වාණිජ ලේකම්වරයා සහ මෙරට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉදිරියේදී සාකච්ඡා පවත්වනු ඇති බවයි.

මේ වනවිට, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ක්‍රියාත්මක වන අතර දෙරට අතර වෙළඳාම තවදුරටත් පුළුල් කිරීමට යෝජනා කළ විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම හෙවත් “සෙපා“ ගිවිසුම මෙරට ව්‍යාපාරිකයින්ගෙන් එල්ල වූ දැඩි විරෝධතා හමුවේ අත්හැර දැමීමට සිදුවිය.

මේ අතර, අප වෙබ් අඩවිය විසින් ඊයේ අනාවරණය කළේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ හා ආයෝජන සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමේ සාකච්ඡා ඉන්දියානු නියෝජිතයින් සමග ආරම්භ කිරීමට පසුගියදා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව පත්කළ කාර්ය සාධක බලකායේ නියෝජිතයින් සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉන්දියාවට යෑමට සූදානම් බවයි.

“විමසුම“ ට අනාවරණය වන ආකාරයට මෙම සාකච්ඡා සඳහා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ධූත පිරිස අද ඉන්දියාව බලා පිටත්ව යන අතර පෙබරවාරි 02 වනදා දක්වා සාකච්ඡා පැවැත්වේ.

මෙම කාර්ය සාධක බලකායට සැම්සන් ඉන්ටර්නැෂනල් සමාගමේ කුලතුංග රාජපක්ෂ, ජෝන් කීල්ස් සමාගමේ සුසන්ත රත්නායක සහ බ‍්‍රැන්ඩික්ස් සමාගමේ අෂ්රෆ් ඔමාර් යන මහත්වරුන් ඇතුළත් විය.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දැනට සිදුකෙරෙන වෙළඳ කටයුතුවල වාර්ෂික වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 05 ක් පමණ වේ. ශ්‍රී ලංකාව වාර්ෂිකව ඉන්දියාවට අපනයනය කෙරෙන භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 500 ක් පමණ වේ.

Gossip Lanka Hot News Previous News Archive