දෝෂාභියෝගය විවාදයට ගතහොත් දැවැන්ත විරෝධතාවක් අරඹනවා - ජේ.සී.වැලිඅමුණ

අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුව ගෙන ආ දෝෂාභියෝගය විමර්ශනය කළ කමිටුව නීත්‍යානුකූල නොවන බවට පසුගිය 03 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොසලකා දෝෂාභියෝගය විවාදයට ගතහොත් එදිනම රටපුරා සිටින සියලුම නීතිඥයින්ගේ සහභාගිත්වයෙන් දැවැන්ත වර්ජනයක් දියත් කරනව ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පවසයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් වැලිඅමුණ මහතා සඳහන් කර ඇත්තේ ‘‘අපි බලාපොරොත්තු වෙනවා අන්තිම මොහොතේ හෝ රජය පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට හිස නමයි කියලා. එහෙත් ආණ්ඩුව එවැනි පියවරක් නොගතහොත් අපි රටපුරා සිටින සියලුම නීතිඥයින්ගේ සහභාගිත්වයෙන් දෝෂාභියෝගය විවාදයට ගන්නා දා රටපුරා පිහිටි උසාවි ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනවා. මේ සඳහා මේ රටේ සියලුම දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමටත් ඔවුන් දැනුවත් කිරිමටත් අපි පියවර ගන්නවා.'' යනුවෙනි.


මේ අතර, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග විවාදයෙදී තම පෙරමුණට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී නොවිය යුතු බවට ජනවාරි 01 දා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ රැස්වූ සමාජවාදී ජනතා පෙරමුණේ විධායක කමිටුව තීරණය කර ඇත.

'රාවය' පුවත්පතට අදහස් දක්වා ඇති එම පෙරමුණේ ප්‍රධානියකු පවසා ඇත්තේ, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට සහභාගී නොවීමට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පැහැදිලි තීරණයක් ගත් බවයි. විධායක කමිටුවට සහභාගිවූ ආණ්ඩුවට සම්බන්ධ අනෙකුත් වමේ පක්ෂද එම තීරණය අනුමත කර ඇති බව 'රාවය' පුවත්පත සදහන් කරයි.

ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පෙරමුණ යන ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවලින් සමාජවාදී ජනතා පෙරමුණ සමන්විතවේ.

එම පෙරමුණේ මන්ත්‍රීවරු පස්දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

Gossip Lanka Hot News Previous News Archive