ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණ ගැන 'ජනතාව නිහඬයි'

ස්ත්‍රී දූෂණවලට එරෙහිව දැඩි පියවර ගන්නා මෙන් ආසියානු කලාපීය ජනතාව තම ආණ්ඩුවලට බලපෑම් කරමින් සිටින සමයක, ශ්‍රී ලංකාවේ දිගින් දිගටම සිදුවන ස්ත්‍රී දූෂණ පිළිබඳව ජනතාව මුනිවත රැකීම රටේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම සම්බන්ධයෙන් හොඳම උදාහරණයක් බව මානව හිමිකම් සංවිධානයක් පවසයි.

ආසියානු මානව හිමිකම් කොමිසම ඒ බව පවසන්නේ නුගේගොඩ විජේරාම මාවතේදී පුරුෂයන් පිරිසක් විසින් 45 හැවිරිදි කාන්තාවක දූෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවාසීන් අතරින් කිසිදු ප්‍රබල උද්ඝෝෂණයක් මතු නොවීම පිළිබඳව අදහස් දක්වමින්.
දිල්ලි අගනුවරදී වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයකට ලක්වීම සම්බන්ධයෙන් රට පුරාම දැවැන්ත උද්ඝෝෂණ හමුවේ අගමැති මන් මෝහන් සිං ට පවා එයට මැදිහත් වීමට සිදු වූ අන්දමත්, ඒ හා සමාන සිදුවීමක දී නේපාලවාසීන් වීදි බැසි අන්දමත් පෙන්වා දෙන ආසියානු මානව හිමිකම් කොමිසම, ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් මතු නොවීමට ප්‍රධානම හේතුව පොලීසිය ඇතුළු නීතිය පසිඳලන ආයතන කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීම බව ද පවසයි.


'පරීක්ෂණ ගැන සැකයි'
විශේෂයෙන්ම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ හසිත මඩවල යන ආණ්ඩු පක්ෂයේම දේශපාලනඥයන් ඝාතනය කිරීමේ සිදුවීම් සම්බන්ධ පොලිස් පරීක්ෂණ ක්‍රමයෙන් යටපත් වෙමින් තිබෙන අන්දම මේ තත්ත්වයට හොඳම උදාහරණ බවයි, එම සංවිධානය පවසන්නේ.
තංගල්ලේ දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෙඩි තබා මරා දැමීම සහ ඔහු සමඟ සිටි රුසියානු ජාතික තරුණිය දූෂණය කිරීමේ චෝදනා සම්බන්ධ පරීක්ෂණය යටපත් වීම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව එල්ල වී තිබූ ළමා ලිංගික දූෂණ චෝදනා එවක නීතිපතිව සිටි, වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් විසින් ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව ද මානව හිමිකම් සංවිධානයේ නිවේදනයේ සවිස්තරව සඳහන්.

මේ අතර නුගේගොඩ දී සිදුවූ සමූහ ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානය ඉදිරිපස උද්ඝෝෂණයක නිරත වූ ලක් වනිතා පෙරමුණේ ශාන්තිනී කෝන්ගහගේ බීබීසී සංදේශයට කියා සිටියේ, දැනට අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට ඇප ලබා නොදෙන මෙන් තමන් එහිදී පොලීසියෙන් ඉල්ලා සිටි බවයි.

ත්‍රී-රෝද රථ රියදුරෙක් සහ පෞද්ගලික බස් රථ රියදුරන් දෙදෙනක් මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබෙන බව පවසන ඇය, ඇප ලබා දුනහොත් ඔවුන් යලි යලිත් මෙවැනි අපරාධවල යෙදීමේ අවදානමක් පවතින බව ද සඳහන් කරන්නීය.

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂණ පිළිබඳව ජනතාව මුනිවත රැකීම සම්බන්ධයෙන් ආසියානු මානව හිමිකම් කොමිසම මතු කරන අදහස් අනුමත කරන ශාන්තිනී කෝන්ගහගේ, අතීත අත්දැකීම් සලකා බැලීමේදී මේ සිදුවීම සම්බන්ධයෙන් ද සාධාරණය සිදුවනු ඇත්දැයි තමන්ට සැකයක් පවතින බව ද වැඩිදුරටත් කියා සිටියාය.

Gossip Lanka Hot News Previous News Archive