පෞද්ගලික අංශයේ ණය වර්ධනය අඩු වෙලා - Central Bank of Sri Lanka

පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය වර්ධනය 2012 මාර්තු මාසයේදී පැවැති සියයට 35.2 සිට 2012 නොවැම්බර් මාසය වන විට සියයට 20.7 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව නිකුත් කළ 2013 ජනවාරි මස මූල්‍ය ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ මේ බව සඳහන්ය. එහි මෙසේ ද සඳහන් වේ.

2012 වසරේ මුල් කාලයේදී ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමග ශීඝ්‍රයෙන් අඩුවෙමින් පැවැති පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණයෙහි වෙනස්‌වීම හේතුවෙන් පුළුල් මුදල්හි වර්ධනය අඛණ්‌ඩව අඩු විය. නොවැම්බර් මාසය දක්‌වා ඉහළ ගිය රජය විසින් ලබාගත් ශුද්ධ ණය, රාජ්‍ය මූල්‍ය ඉලක්‌කයන් ළඟාකර ගැනීම සඳහා රජය ගනු ලැබූ ඵලදායී උත්සාහයන් හේතුවෙන් දෙසැම්බර් මාසයේදී සැළකිය යුතු ලෙස අඩු විය. කෙසේ වුවද, රාජ්‍ය සංස්‌ථා විසින් ලබාගත් ණය අඛණ්‌ඩව වර්ධනය වෙමින් පවතින අතර, මෙමගින් පුළුල් මුදල් වර්ධනය මත යම් පීඩනයක්‌ ඇති වෙයි.


විදේශීය අංශය සැලකූ විට, ආනයන වියදම්හි වර්ධනයේ දක්‌නට ලද තියුණු පහත බැසීමත් සමග 2012 පළමු මාස නවය තුළ සමුච්චිත වෙළෙඳ හිඟය, 2011 අනුරූපී කාලපරිච්ඡේදයත් සමග සසඳන විට, සියයට 2.1 කින් පහත බසින ලදී. සේවා වෙළෙ¹මෙන් ලද ශුද්ධ ආදායම සහ විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ මෙන්ම ආයෝජන ලැබීම ඉහළ යැම හේතුවෙන් 2012 තුළදී ගෙවුම් ශේෂය අතිරික්‌තයක්‌ වාර්තා කළ අතර, මෙය ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ඉහළ යැම තුළින් පිළිබිඹු විය. මේ අතරම, අපේක්‍ෂිත වඩාත් හිතකර වූ වෙළෙඳ ශේෂය, සේවා වෙළෙ¹මෙන් ලැබෙන ඉහළ ආදායම, රජයට හා මූල්‍ය වෙළෙඳපොළ වෙත ලැබෙන මූල්‍ය ප්‍රවාහ ඉහළ යැම මෙන්ම විදේශ සෘජු ආයෝජන ඉහළ යැම ආදිය හේතුවෙන් 2013 වසරේදී වඩාත් ඉහළ ගෙවුම් තුලන අතිරික්‌තයක්‌ ඉලක්‌ක කර ඇත. දැනටමත් ගලාඑමින් පවතින සැලකිය යුතු විදේශ අරමුදල් හේතුවෙන් 2012 දෙවැනි භාගයේදී සියයට 5.3 කින් අධිප්‍රමාණය වූ රුපියල 2013 ජනවාරි 15 වන විට තවදුරටත් සියයට 0.6 කින් අධිප්‍රමාණය විය.

ප්‍රධාන වශයෙන් පරිපාලිත මිල ගණන්වලට සිදුකරන ලද ගැලපීම් හේතුවෙන් 2012 වසරේ පෙබරවාරි සිට ජුලි දක්‌වා අඛණ්‌ඩව ඉහළ ගිය උද්ධමනය, වාර්ෂික ලCෂ්‍යමය පදනම මත නොවැම්බර් මස සියයට 9.5 සිට දෙසැම්බර් මාසයේදී සියයට 9.2 ක්‌ දක්‌වා පහත වැටිණි. 2012 දී ක්‍රියාත්මක වූ සඵල ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති, සමස්‌ත ඉල්ලුම ප්‍රමාණවත් පරිදි මධ්‍යස්‌ථගත කරමින් අනාගත උද්ධමනය සහ උද්ධමන අපේක්‌ෂාවන් සීමා කර ඇති බව විශ්වාස කෙරේ. ඒ අනුව උද්ධමනය 2013 මාර්තු සිට පහත යමින් මැදි තනි අගයක්‌ කරා ළඟාවෙනු ඇතැයි පුරෝකථනය කර ඇත. මේ අතර වාණිජ බැංකු මගින් පුද්ගලික අංශයට ලබාදෙන ණය 2013 දී සියයට 18.5 කින් පමණ වර්ධනය වනු ඇතැයි ඉලක්‌කගත කර ඇති අතර මෙම ප්‍රසාරණය අපේක්‌ෂිත වේගයෙන් සිදුවන බව තහවුරු කිරීම සඳහා බැංකුවලින් ණය මුදාහැරීම සමීපව අධීක්‍ෂණය කරනු ඇත. මේ අතරම, මෙම ණය ප්‍රසාරණය 2013 දී අහිතකර ලෙස ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනකාරී පීඩනයක්‌ ඇති නොකරමින් සියයට 7.5 ක ආර්ථික වර්ධනයක්‌ ලබාදීමට ප්‍රමාණවත් වනු ඇතැයි සලකන බැවින් මේ තුළින් අනාගතයේදී උද්ධමනය ඉහළ යාමට ඇති අවදානම අවම වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ඉහත සඳහන් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් 2013 ජනවාරි 16 වැනි දින පැවැති එහි රැස්‌වීමේදී දැනට පවත්නා මුදල් ප්‍රතිපත්ති ස්‌ථාවරය තවදුරටත් පවත්වා ගතයුතු යෑයි මුදල් මණ්‌ඩලය තීරණය කළ බැවින් මහ බැංකුවේ ප්‍රතිමිලදීගැනුම් අනුපාතිකය සහ ප්‍රතිවිකුණුම් අනුපාතිකය පිළිවෙළින් සියයට 7.50 සහ සියයට 9.50 ක්‌ ලෙස නොවෙනස්‌ව පවතිනු ඇත.

Gossip Lanka Hot News Previous News Archive