නොදැක ඉන්න බැරි කෙනෙක් දැන්නම් ඉන්නවා - Chat With Ruwan Hettiarachchi

සුන්දර හැන්දෑවක ගුලි වූ මතකයන් ගැන ගීයක් ගයන්නට අවදි කළ ඔහු ගේ හඬ මේ වන විට පුංචි තිරයෙත් ප්‍රසංග වේදිකාවෙත් නොඅසා ඉන්නට බැරි හඬක් බවට පත්වී හමාරය. ඔහුගේ රුව ද නොදැක ඉන්න බැරි තරමටම මෙරට හදවත් තුළට සමීප වී හමාරය. ඔහුටම ආවේණික ශෛලියකින් ගමන් කරමින් සංගීත ක්ෂේත්‍රයේ ස්ථාවර මාවතක් ගොඩනඟා ගත් ඔහු රුවන් හෙට්ටිආරච්චියි.

රුවන්ගේ ගායන දිවියේ කතාබහ මුල සිටම අරඹමු.

මගේ ගම මාතලේ. පාසල් කාලේ සිට සංගීතය හැදැරුවා. ඒ අතරම පල්ලියේ ගීතිකා කණ්ඩායමටත් සම්බන්ධ වුණා. පාසල් අධ්‍යාපනයෙන් පසු බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් සංගීතය ප්‍රගුණ කිරීමට අවස්ථාව ලැබුණා. ඉතින් මේ අතර විවිධ සංගීත කණ්ඩායම් සමඟ සම්බන්ධ වෙමින් වසර 05 පමණ කටයුතු කරා.

 ඔබේ මුල්ම ගායනය ගැන මතකය අවධි කළොත්.


‘මතකද හැන්දෑවේ’ තමයි මගේ මුල්ම ගීතය වුණේ. එය අතිශයින් ජනපි‍්‍රය වූ චිත්‍රපට ගීතයක්. නමුත් මගේ හඬ ජනපි‍්‍රය වුණාට බොහෝ දෙනෙක් රුවන් හෙට්ටිආරච්චි කියන ගායකයාව හඳුනාගත්තේ නොදැක ඉන්න බෑ... ගීතයෙන්.

නොදැක ඉන්න බෑ ගීතය ගැන කතා නොකරම බැහැ. මෙතරම් ජනපි‍්‍රය වෙන්න විශේෂ හේතුවක් තිබුණ ද?


මම හිතන්නේ මේ ගීතයේ වචන හරිම සරලයි. වරක් අහපුවාම නැවත නැවත අහන්න හිතෙන තරම් සරල බස් වහරකින් තමයි ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ සරල වදන් පෙළට මුසු වූ සංගීතයත් ඉතාම ලස්සනයි. මේ සියල්ලත් සමඟ එකතු වී මගේ ‘ස්ටාර්’ එකත් බලපාන්න ඇති මේ ගීතය මෙතරම් ජනපි‍්‍රය වෙන්නට.

මේ ගීතයේ උණුසුම පහව යන්නටත් මත්තෙන් ඔබ සීන මාරුතේ ගීය එළි දැක්වුවා. මෙය ජනපි‍්‍රයත්වය රැකගන්න ඔබ යෙදු උපක්‍රමයක් ද?


නැහැ. අපට යම් දෙයකට හැකියාව තිබෙනවා නම් ඒ හැකියාව හංගාගෙන ඉන්නෙ නැතුව එයින් ප්‍රයෝජන ගැනීමයි කළ යුත්තේ. එනමුත් හැම දේටම කාලය කළමනාකර ගත යුතුයි. ඉතින් මමත් නිසි කාලයට මගේ හැකියාව එළියට දැම්මා.

නමුත් ඉන් පසු බිහි වූ ගීත එතරම් ජනපි‍්‍රය වුණේ නැහැ නේද?


සීත මාරුතේ ගීතය ප්‍රචාරය වෙලා එතරම් කාලයක් නැහැ. දැනුයි මේ ගීතය ජනපි‍්‍රය වී ගෙන යන්නේ. සුරංගනාවී මෑතකදී නිර්මාණය වූ ගීතයයි. එහි සංගීතය රාජ් නිලාම්පලම් පද රචනය සම්පත් එරාන්දපුල්ලේ. මේ කිසිම ගීතයකට මම ලොකු ජනපි‍්‍රයත්වයක් බලාපොරොත්තු වෙලා නැහැ. මගේ ශෛලියට කැමති අය ඒ ගීත වැලඳ ගනීවි.

ඔබ වෘත්තීමය ගායකයෙක් ද?


ඔව්. මම වෘත්තීය ගායකයෙක්.

ඔබත් කවුරුන් හෝ අනුගමනය කරනවා යැයි මම කීවොත්.


නැහැ. මට එහෙම කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ.

ඔබේ පි‍්‍රයතම ගායකයා සහ ගායිකාව.


රූකාන්ත ගුණතිලකට මම ඉතාමත් කැමතියි. උමාරියා සහ උමාරා මා පි‍්‍රය කරන ගායිකාවෝ කීවොත් නිවැරැදියි.

ඔබේ ගීතත් රිගිං ටෝන්ස්වලට ඉල්ලුමක් තිබෙනවා නේද? මේ රැල්ලේ සාධාරණීකරණයක් තිබෙනවා ද?


තමන් කැමති ගීතයක් තමන්ගේ රිගිං ටෝන් එකට දාගන්න අයිතිය ඕනෑම කෙනෙකුට තියෙනවා. මගේ ගීතය රිගිං ටෝන්ස්වලට ඉල්ලුමක් තිබුණේ එය ජනපි‍්‍රය වූ නිසා. අනෙක අපේ ගීත ගුවන් විදුලි නාළිකාවලින් ප්‍රචාරය වුවත් සාධාරණ ගෙවීමක් ලැබෙන්නෙ නැහැ.

ඉතින් මේ අයුරින් හරි ගෙවීමක් ලැබෙනවා. ඉතින් එය සාධාරණයි කියලයි මම හිතන්නේ.

රියැලිටි වැඩසටහන් තුළින් බිහිවන තරු රැල්ල ගැන ඔබේ අදහස?


රියැලිටි වැඩසටහනකින් විය යුත්තේ හොඳම දක්ෂයා තේරීමයි. නමුත් අපේ රට තුළ මේ දේ සිදුවෙන්නේ නැහැ. එක්කෝ දේශපාලනයට යටවෙලා එක්කො මුදලට යටවෙලා නියම දක්ෂතා ඇති කෙනා ඉස්මතු වෙන්නෙ නැහැ. එහෙම නැත්නම් වෙන්නෙ ඔවුන් තෝරන කෙනා ලව්වා මුදල් හම්බ කර ගැනීමයි.


තරු තුළින් බිහි වන නිර්මාණ ගැන ඔබේ අදහස.


ඔවුන්ගේ නිර්මාණ ඒකාකාරී වෙන කෙනෙකුගේ නිර්මාණයක් අරගෙන ඒ ඔස්සේ තමන්ගේ ජනපි‍්‍රයත්වය රැක ගැනීමට උත්සාහ කරනවා. මේ තරු බොහෝ විට යම් දෙයකට කොටු වෙලයි ඉන්නේ. තමන්ගෙම අනන්‍යතාවක් ගොඩනඟා ගන්න ඔවුන්ට උවමනාවක් නැහැ.

ඔබේ පවුල් පසුබිම?


මගේ පවුලේ කවුරුත් කලාවට සම්බන්ධ නැහැ. නමුත් මගේ හැකියාව දෙවියන් වහන්සේගෙන් මට ලැබුණු දායාදයක්. ඒ නිසා මගේ හැකියාව ඔප්නංවන්නට මගේ පවුලෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා.

රුවන්, නොදැක ඉන්න බැරි කෙනෙක් ඔයාගේ ජීවිතයේ ඉන්නවා ද?


මෑතක් වනතුරු නම් නොදැක ඉන්න බැරි කෙනෙක් හිටියේ නැහැ. හැබැයි නොදැක ඉන්න බැරි කෙනෙක් දැන්නම් ඉන්නවා. එයත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධයි. වැඩි විස්තර පස්සේ කියන්නම්කො.

 

උපුටා ගැනීම  - සිළුමිණ 

 -සබැදි පුවත්- 

රුවන් හෙට්ටිආරච්චි


නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබේ ආදරේ
නොසිතා ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ... ඔබෙ ආදරේ....

නොදැක ඉන්න බෑ...
පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පිය මං කළා
පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා
සිහි වෙනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා හිඳිමි සදා...

මිහිඳුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමි සදා
පෙර පෑ සිනා පූජා කළා අඳුරේ තියා
සඟවා දමා මේ වේදනා යළි එනතුරා
දිවියේ පුරා හිඳිමි බලා

පද :- සජිත් වී චතුරංග
සංගීතය :- රාජ්
ගායනය :- රුවන් හෙට්ටිආරච්චි


Gossip Lanka Hot News Previous News Archive