සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් බේරුණු සූරසේන - Surasena's Somali Pirates Adventure

 මහගොඩ දොඩන්ගොඩ තෙලර්ටන් වත්ත නිවාස සංකීර්ණයේ පදිංචි සරත්චන්ද්‍ර සූරසේන මහතා (58) විදුලි ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවය කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් බඩු නැව දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරායේ සිට ඉන්දියාවේ ඔතානා වරාය දක්වා ගමන් කරමින් තිබියදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අතට පත්වූයේ 2010 දෙසැම්බර් මස 20 වෙනිදා ය.
ඒ වනවිට නැවේ කාර්ය මණ්ඩලය 19 දෙනෙකු වූ අතර එහි සිටි එකම ශ්‍රී ලාංකිකයකු වූයේ සරත්චන්ද්‍ර සූරසේන මහතා ය. සෙසු 18 දෙනාම සිරියානු ජාතිකයන් විය. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අතට නෞකාව පත්වන විට එහි ගල් අගුරු ටොන් 30000 ක් තිබුණි.වසර දෙකකට වැඩි කාලයක් කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ සිටි සරත්චන්ද්‍ර සූරසේන මහතා නිදහස ලබා යළි දිවයිනට පැමිණියේ මෙම මස 13 වෙනිදා ය.


හෙතෙම මෙම වසර දෙකකට අධික කාලයක් තිස්සේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ගේ ග්‍රහණයට හසුව ගෙවූ ජීවිතයේ ත්‍රාසජනක අත්දැකීම් මෙසේ විස්තර කළේ ය.

අපේ ගමන අවසන් කරන්න දින තුනක් තිබියදී තමයි අපිත් සමඟ නැව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අතට පත්වුණේ.

ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් පිරිස අපේ නැව රසාවත් වරායට ගෙන යාමට කටයුතු කළා. එම වරාය තිබුණේ සැතපුම් 900 ක් පමණ දුරින් ය.

රසාවත් වරාය කරා ගමන් කිරීමේදී අග්‍රාස් නැව් තොටේ ඔවුන් අල්ලා ගත් නැව් 16 ක් තිබුණා. ඊළඟට නෝබියෝ නැව් තොටේ නැව් 10 ක් තිබුණා.

රසාවත් වලට ළඟාවන විට අපේ නැව ඇතුළු නැව් 9 ක් තිබුණා. මේ සියල්ල ඔවුන්ගේ අත්අඩංගුවට පත්වූ ඒවායි.

අපිව නිදහස් කිරීමට මේ කොල්ලකරුවන් ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක් ඉල්ලා සිටියා.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවෙකු රාජකාරියේ යෙදී සිටි අයුරු
ඔවුන් අපේ කාර්ය මණ්ඩලයට දුරකථන පහසුකම් ලබාදී ඒ බව නැව අයිතිකරුවන්ට දැනුම් දෙන ලෙස කීවා.සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ගේ ග්‍රහණයට අපේ නැව හසුවී ඇති බව මා ඒ අවස්ථාවේ ගෙදරට දැනුම් දුන්නා.
අපේ කෑමට කොල්ලකරුවන් විසින් හාල්, පිටි, සීනි, ගෝනි ගෙනත් දැම්මා. ඔවුන්ගේ පිරිස 40 දෙනෙක් පමණ අපේ නැවට නැග්ගා.

මේ අතරතුර අපේ නැව යොදා ගනිමින් යාත්‍රා කරමින් තිබෙන වෙනත් නැව් කොල්ලකෑම සඳහා කටයුතු කළත් එය සාර්ථක වූයේ නැහැ. ඉන්දීය නාවික හමුදාවෙන් එම කටයුතු ව්‍යර්ථ කළා.

2011 ජූනි 13 වැනිදා අපේ නැවේ ඉන්දන අවසන් වීමත් සමඟ ජූනි 14 වැනිදා වනවිට නැව මුළුමනින් ම අන්ධකාරයේ තිබුණේ. එදිනම සවස් භාගයේ දී අපේ නැව ගිනි ගත්තා. නැව ගිනි ගැනීමත් සමඟ අපට යන එන මං නැති වුණා. ඉන්න තැනක් නැහැ ජීවිතේ අන්ත අසරණ බවට පත්වුණා.

මෙසේ ගිනිගත් නැව රසාවන් වරායේ නැංගුරම් දැමුවා. ඔවුන් හාල් හා පිටි මිටි කීපයක් නැවට දැම්මත් ඒවා උයාගෙන කෑමට උපකරණ කිසිවක් තිබුණේ නැහැ. පිච්චී ගිය වළං ආදිය තලලා සකස් කර ගෙන උයාගැනීමට කටයුතු කළා. උයන්න තිබුණේ මුහුදු වතුරෙන් විතරයි. අපේ පරිහරණයට දවසට වතුර ලීටර් 1/2 යි දුන්නේ. ඉතාම දුෂ්කර දිවි පෙවෙතක් ගත කිරීමට අපට සිදුවුණා.
කොල්ලකෑ නැව (හොඳ තත්ත්වයෙන් තිබියදී)

මේ අතර මා සමඟ නැවේ කපිතාන් ඇතුළු පස් දෙනෙක් හා ඉංජිනේරුවාත් කැලේට ගෙන ගියා. සර්පයින්ගෙන් හා කටු පඳුරුවලින් මේ කැලය සමන්විතව තිබුණා. අපේ අත් පිටුපසට තබා බැඳ කටු සහිත පොලු වලින් පහර දුන්නා. නිදා ගත්තේ කටු පඳුරු අතරෙහි. අර්තාපල් ගෙඩි කීපයක් සමහර දිනවල අපට කෑමට ලැබුණා. අපි වටේට මුර දාල තිබුණා.

අපි කැලේ සිටින විට නැවේ හිටපු එක් සිරියානු ජාතිකයෙකුට වෙඩි තියා තිබුණා. ඔහුවත් අපි ගාවට ගෙනාව.

මේ කටයුතු මෙසේ සිදුවෙමින් තිබියදී කොල්ලකරුවන් අතර ගැටුම් ඇති වුණා. ඇතුළේ පැවති මෙම අරගල නිසා අපේ තිදෙනෙක් එක නායකයෙක් යටතටත් අනිත් අය තව නායකයෙක් යටතටත් පත් කළා.

මේ අතරේ කොල්ලකරුවන් හා ඇතිවූ එකඟත්වයක් මත නැවේ සිටි 13 දෙනෙකු සමඟ නැව අයිතිකරු රැගෙන ගොස් තිබුණා. අපිට කැලේ සිටි නිසා නිදහස් වීමට තිබූ එම අවස්ථාව අහිමි වුණා.

නැවේ සිටි 19 දෙනාගෙන් 18 දෙනෙක්ම සිරියානු ජාතිකයින් වූ හෙයින් ඔවුන් මුස්ලිම් බැතිමතුන් වුණා. මා පමණක් ශ්‍රී ලාංකික බෞද්ධයෙක් ලෙස සිටියා. ඔවුන් මා මුස්ලිම් ආගමිකයෙකු ලෙසට හැඳින්වීමට උත්සාහ කළා. මට අහමඩ් යන මුස්ලිම් නම ද පට බැන්දා. නමුත් මා බෞද්ධයෙකු ලෙස මේ සියල්ල ප්‍රතික්ෂේප කළා. ඒ නිසාම මා බුද්ධාගම ගැන විශ්වාස කළා. මට කිසි අනතුරක් සිදු නොවන බවට මගේ ලොකු විශ්වාසයක් තිබුණා.

හැමදාම උදේ 4.00 ට මා පිරිත් කියනවා. මම කවදාවත් එක මාළුවෙකුවත් අල්ලලා නැහැ. නැවේ අනිත් අය අල්ලන මාළු මැරෙන්න පෙර අරගෙන මා සබ්බ පාපස්ස අකරණං යන ගාථාව කියල යළි මුහුදට දානවා.

කැලේට අපිව අරන් ගොස් පස්සේ දිනපතාම කොල්ලකරුවන් අපිට මුදල් ඉල්ලා බල කරනවා. මුලින් ඩොලර් ලක්ෂයක් ඉල්ලා සිටියා. පසුව ක්‍රම ක්‍රමයෙන් එම මුදල ඩොලර් තිස් දහස දක්වා අඩු කළා. එහෙත් අපිට ඒ මුදල ගෙවා ගන්න බැරි බව අපි ඔවුන්ට කීවා. කාලය මෙසේ ගෙවී ගියා දින මාස ගෙවී ගොස් වසර දෙකකුත් අවසන් වුණා. මේ අතරේ නැවේ කපිතාන් ඉබ්රාහිම් හා ප්‍රධාන ඉන්ජිනේරු අබ්දුල්ලා සහ මාව නිදහස් කරන්න තීරණය කළ බව අපගේ ආරක්ෂාවට යොදා සිටි සෝමාලියානු කොල්ලකරුවන් පැවසුවා.

නිදහස් වී නිවසට පැමිණි පසු තම බිරිඳ සහ දරු දෙදෙනා සමඟ

මේ අතරේ කොල්ලකරුවන් අපිව නිදහස් කරන බව කීවා. උඹලව අපි නිදහස් කළත් යන්න වෙන්නේ අල්කයිඩා සංවිධානයේ අය ඉන්න ප්‍රදේශ මග හැරලා. ඒ සඳහා එක් අයෙකුට ලංකා මුදලින් රුපියල් දහතුන් ලක්ෂයක් ගෙවන්න වෙන බව කීවා. මගේ සල්ලි ගෙව්වේ උන් දුන්නු බැංකු ගිණුමකට. ලන්ඩනයේ සිටි පුතා ඒ සල්ලි බැර කළා.

අල්කයිඩා හා අල් සබා ත්‍රස්තවාදීන් කාන්තාරයේ සිටින නිසා උන්ගෙන් බේරී ඒමට අපිව ප්‍රාඩෝ ජීප් රථ දෙකකින් රැගෙන ආ ආරක්ෂකයින්ට ඒ ගාස්තුව ගෙව්වා. අපි තිදෙනාව ඩොගාපුඩ්වලට ගෙනාවා. කිලෝ මීටර් 600 විතර අපි ආවා. ඩොගාපුඩ්වල ඉදල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නයිරෝබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපට උදව් කළා. සෝමාලියානු රජයේ අගමැතිවරයා අපි තිදෙනා නිදහස් වීමත් සමඟ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වූවා.

මම 13 වෙනිදා උදේ ලංකාවට ආවා. මට නැවත මව්බිමට ඒමට උදව් උපකාර කළ අය අතරින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගෞරවණීය ස්තුතිය හා ප්‍රණාමය පුද කරනවා. ඒ වගේ ම විදේශ කටයුතු ඇමැතිතුමාට හා නියෝජ්‍ය ඇමැතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මා වෙනුවෙන් කිසියම් හෝ උදව්වක් උපකාරයක් කළ හැමටම ස්තුතිය පුද කරනවා.

විශේෂයෙන් නයිරෝබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු සියලුදෙනාට තම ස්තුතිය ප්‍රකාශ කරමින් ඔහු කථාව අවසන් කළේ ය.

සරත් චන්ද්‍ර සූරසේන මහතාගේ දයාබර බිරිය වන කුසුම් නිල්මිණි මහත්මිය අදහස් දක්වමින් අපි මේ වත්තට ඇවිත් වසර 15 පමණ වෙනවා. මගේ මහත්තයාගේ මුල් ගම දොඩන්ගොඩ රෙජිනවත්ත. මගේ මුල් ගම මාතර. අපි දෙදෙනා හා දරු තිදෙනා සමඟ මේ වත්තේ ජීවත්ව සිටිය දී මගේ මහත්තයා විදේශ රටක නැවකට රැකියාව සඳහා පිටත් වුණේ මීට වසර දෙකකට පෙර.

මගේ මහත්තයා 2010 දෙසැම්බර් මස 20 වෙනි දින දුරකථනයෙන් කථා කොට ඒ අය ගමන් ගත් නැව සෝමාලියානු කොල්ල කරුවන්ගේ ග්‍රහණයට පත්වූ බව කීවා. ඒ සිද්ධිය දැනගත් මොහොතේ සිට මා මගේ ඥාතීන්ට හා මහත්තයාගේ ඥාතීන්ට මේ දුක්බර පුවත කීවා. ඒ සියලු දෙනා එකාවන්ව මටත් දරු තිදෙනාට උදව් උපකාර කළා. දරු තිදෙනාගෙන් එක් පුතෙක් වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියා. එහිදී ඉගෙනුම ලබන ගමන් විවේකී හැම මොහොතකම විවිධ රැකියා කර අපට මුදල් එව්වා.

අපි සියලු දෙනා ජයසිරි මහ බෝසමිදුන්ගේ පිහිට පැතුවා. දින ගණන් සති ගණන් බෝධි පූජා පැවැත්තුවා. පසුව මා මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ලිපි ලිව්වා. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස විදේශ අමාත්‍යතුමා හා නියෝජ්‍ය අමාත්‍යතුමා විශාල මෙහෙවරක් කළා.

අපි ජීවත්වෙන ගමේ අය සහ දොඩන්ගොඩ ප්‍රදේශයේ ජනතාව තරාතිරම නොබලා අපිට උදව් කළා. අපි මහත්තයාව බේරාගන්න ටිකට්පොත් මුද්‍රණය කර මුදල් එකතු කළා. ඒ සෑම දෙයකදීම අපිට උදව් උපකාර කළ සියලු දෙනාට සිය ස්තුතිය පුදකරනවා.

තම පියා රැකියාව කළ නැව සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවූ පුවත අසා දැඩි කම්පාවට පත් නාලක ප්‍රසන්න සූරසේන ශිෂ්‍යයා මෙසේ කීය. මගේ පියා අපේ අනාගතය වෙනුවෙන් රැකියාව කිරීමට විදේශ රටක නැවකට යන බව අපි සමඟ කීවා. අපි තාත්තාට ලංකාවේ රැකියාවක් කරන්න කියා ඉල්ලීමක් කළා. තාත්තාගේ සුදුසුකම්වලට සරිලන රැකියාවක් කරන්න ලංකාවේ නැති බව කී තාත්තා අපේ ආශිර්වාදයෙන් රැකියාව සඳහා විදේශගත වුණා.

රැකියාව සඳහා ගොස් ටික දිනකින් තාත්තා අපිට දුරකථනයෙන් කථා කර කී සිදුවීමෙන් මා දැඩි ලෙස කම්පාවට හා බියට පත් වුණා. අපි බෞද්ධයෝ වශයෙන් කරන්න තිබුණ හැම ආගමික කටයුත්තක් ම කළා. අපේ වාසනාවට තාත්තාට නිදහස ලැබුණා. අපිට දැන් ගොඩක් සතුටුයි.

උපුටා ගැනීම - සිළුමිණ

Gossip Lanka Hot News Previous News Archive