ගොංපාට් විපක්ෂයට නොරැවටී බොනපාට් පාලනයට විරුද්ධ වෙමු

ආණ්ඩුව බොනපාට්වාදී ගමනක නිරත වී සිටින අතර විපක්ෂය ගොංපාට් හැසිරීමක් ප‍්‍රදර්ශනය කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ, ‘ආණ්ඩුව බොනපාට් - විපක්ෂය ගොංපාට්’ යන තේමාව යටතේ කොළඹ, මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ ඊයේ(05) පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා මෙසේ පැවසීය.

පහුගිය කාලේ සංවාදයක් ආවා ජනතා පරමාධිපත්‍ය තියෙන්නේ කොතැනද කියලා. එක කට්ටියක් කිව්වා අධිකරණයේ කියලා තවත් කට්ටියක් කිව්වා ව්‍යවස්ථාදායකයේ කියලා.
තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ල කන්න ආණ්ඩුව දරන උත්සාහයට විරුද්ධව ගෙන ගිය කම්කරු සටනේදී රොෂේන් චානක මිය ගියා. ඒ වෙලාවේ ඔය පරමාධිපත්‍ය තිබුණේ කොහේද? විධායකයට අයත් පොලිසිය තමයි වෙඩි තිබ්බේ. ඒ වෙලාවේ විධායකය කිව්වේ නැහැ තමන් තමයි ජනතා පරමාධිපත්‍ය කියලා. විධායකයට අයත් පොලිසිය වෙඩි තිව්වේ, ඔවුන්ගේ අර්ථසාධක අරමුදල් කොල්ල කන්න ව්‍යවස්ථාදායකය පනතක් සම්මත කරන්න දරපු උත්සාහයට විරුද්ධව සටන් කළ නිසා. අධිකරණය මොකද කළේ? අවමගුල කරන්න ඕන වෙලාව, තැන, කතා පවත්වන්න පුළුවන් කාලය මේ හැම එකකටම මැදිහත් වුණා. අවසන් කටයුතු කරන්න ඥාතීන්ට තියෙන අයිතිය පවා අවලංගු කළා. ඒ වෙලාවේ ජනතා පරමාධිපත්‍ය තිබුණේ කොහේදරෑ මේකට විරුද්ධව කම්කරුවන් විරෝධය දක්වන විට රාජ්‍යයේ අනෙක් අංශ මැදිහත් වුණා. මාධ්‍යවලින් කිව්වා කුමන්ත‍්‍රණයක් තියෙනවා කියලා.


මාධ්‍ය ජනතාවට කිව්වා සාමකාමී වෙන්න කියලා. ආගම, පල්ලිය මැදිහත් වුණා. ඩෙල්රුක්ෂාන්ගේ අවමඟුලේදීත් ඒක ඒ විදියටමයි සිද්ධ වුණේ. ඒ වෙලාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ලොකු එකඟත්වයක් තිබුණා.


මොකක්ද පහුගිය කාලේ තිබුණු ප‍්‍රශ්නය. ඒක ඇත්තටම අධිකරණයයි, ව්‍යවස්ථාදායකයයි අතර ගැටුමක් නොවෙයි. ඒක මහින්ද රාපක්ෂයි, ශිරාණි බණ්ඩාරනායකයි අතර ප‍්‍රශ්නයක්. නමුත් ආණ්ඩුව ඉතාම සූක්ෂම විදියට ඒ ගැටුම අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර නීති ප‍්‍රශ්නයක් බවට පත් කළා. විපක්ෂයත් ආණ්ඩුවේ ඒ ඇම කෑවා. එක්සත් ජාතික පක්ෂය කිව්වා ව්‍යවස්ථාදායකය කියලා, ජනතා විමුක්ති පෙරමුණ කිව්වා අධිකරණය කියලා.


මාස දෙක හමාරක් තිස්සේ විධායකයද ව්‍යවස්ථාදායකයද කියලා බල බලා හිටපු ජනතාවගේ දැන් බෙල්ල කැපිලා තියෙන්නේ. අර කතාවක් තියෙන්නේ චීස් කෑල්ලද පොල් කෑල්ලද කියලා බෙල්ල කම්බිය උඩින් තියාගෙන දෙපැත්ත බලන කොට මීයාගේ බෙල්ල කැපෙනවා කියලා. ඒ වගේ දැන් බෙල්ල කැපිලා තියෙන්නේ. වම්බටු දෙසිය පනහක් රුපියල් හැටයි.

අධ්‍යාපන අමාත්‍යාංශය උසස් පෙළ සිසුන්ට නිකුත් කළ පොතේ ජනතා පරමාධිපත්‍ය ගැන මෙහෙම නිර්වචනයක් තියෙනවා. පරමාධිපත්‍ය යනු තමන්ගේ ජීවිත පිළිබඳ තීරණ ගැනීමට ජනතාව සතු බලයයි කියලා. දැන් කාටද ඒ බලය තියෙන්නේ? වෙළඳ කලාපේ කම්කරුවන්ගේ උද්ඝෝෂණය ගත්තොත් ඒ කම්කරුවන් ජනතා පරමාධිපත්‍ය තමන්ගේ අතට ගත්තා. පරමාධිපත්‍ය තමන්ගේ අතට අරගෙන සටන් කරලා තමයි සම්මත කර ගන්න උත්සාහ කළ පනත නතර කළේ.


මේ වෙන කොට ආණ්ඩුව අධිකරණයත් යටත් කරලා තියෙන්නේ. ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ වහල්ලූ, නිවටයින් හදන්න. මොරටුවේ හාමුදුරු කෙනෙක් කපලා කොටලා මැරුවා. ඊට පස්සේ ඒ ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් වෙඩි වැදිලා මැරිලා ඉන්නවා හමු වුණා. කලින් නම් වුණේ අත්අඩංගුවට ගන්නවා, ආයුධ පෙන්වන්න ගිහිල්ලා හොලිවුඞ් චිත‍්‍රපටවල වගේ මංචු පිටින්ම තුවක්කු අරගෙන පොලිසියට වෙඩි තියන්න හදනවා, ඒ ගැටුමේදී වෙඩි වැදිලා මැරෙනවා. දැන් ඊටත් වඩා පහසු ක‍්‍රමයක් සොයාගෙනද කියන සැකය තිබෙනවා. කහවත්තේ ඝාතන රැල්ලක් තිබුණා. දැන් කහවත්තේ හමුදා කඳවුරක් තියෙනවා. දැන් මාස කිහිපයකින් ඝාතන නැහැ. නමුත් කලින් සිදුවීම්වල සැකකරුවන් මේ වන විට හතර දෙනෙක් අතුරුදහන්.

මේ ගැන කතා කරද්දී නීතිඥ සංගමය ගැනත් කියන්න ඕන. නීතිඥ සංගමය පෙනී හිටියේ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරදේවතාවා විදියට. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී ඔවුන් පෙනී සිටියේ ඇයට චෝදනාවලට උත්තර දෙන්න අවස්ථාව දෙන්න, සාක්ෂිකරුවන්ගෙන් හරස් ප‍්‍රශ්න අහන්න අවසර දෙන්න, තීන්දුවට විරුද්ධව අභියාචනා කිරීමේ අවස්ථාව දෙන්න කියලා. ඒක හරි. නමුත් පසුගිය ජනවාරි 22 වැනිදා ආණ්ඩුව අපරාධ නඩු විධාන පනත සංශෝධනය කළා. ඒ පනතේ සැකකරුවන් පොලිසියේ රඳවා ගන්න පුළුවන් කාලය පැය 48ක් බවට පත් කර තිබෙනවා. සාක්ෂිකරුවන්ගෙන් රහස් ප‍්‍රශ්න අහන්න තියෙන අයිතිය අහිමි කර තිබෙනවා. අභියාචනා ඉදිරිපත් කරන්න තියෙන අවස්ථා ගණන අඩු කරලා තිබෙනවා. පොලිසියේදී එල්ලලා, ගහලා ගන්න කටඋත්තරය සාක්ෂියක් ලෙස පාවිච්චි කරන්න අවස්ථාව දීලා තියෙනවා. මේ පනත ගැන විවාදයේදී පාර්ලිමේන්තුවේදී හකීම් ඇමතිවරයා කියනවා, මේ පනත හදන්න උපදෙස් දුන්නේ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය කියලා.

ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හරිම අපූරුයි. ශිරාණි බණ්ඩාරනායකට සාක්ෂිකරුවන්ගෙන් ප‍්‍රශ්න අහන්න අයිතිය තියෙන්න ඕන, නමුත් මේ රටේ සාමාන්‍ය ජනතාවට ඒ අයිතිය ඕන නෑ. ඇයට අභියාචනා කිරීමේ අයිතිය ඕන නමුත් ගුණපාලට හරි සිරිපාලට හරි ඒ අයිතිය ඕන නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලන්නේ වරප‍්‍රසාද ලත් කොටසකට විතරයිද?

ඊළඟට දැන් අලූත් පනතක් සම්මත කරන්න යනවා. ඒ පනතෙන් කියන්නේ ත‍්‍රස්තවාදී සංවිධානවලට ආධාර කිරීම නතර කරන්න. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒක හොඳයිනේ කියලා. මේ පනත මීට කලිනුත් තිබුණා. දැන් ඒකට අලූත් සංශෝධන ගෙනත් තියෙනවා. එක සංශෝධනයක් තමයි කලින් ත‍්‍රස්තවාදී සංවිධානයකට කියලා තිබුණු තැන දැන් ත‍්‍රස්තවාදී සංවිධානයකට, ත‍්‍රස්තවාදියෙකුට කියලා වෙනස් කරලා. ඒ වගේ මුදල් හෝ ද්‍රව්‍යමය ආධාර ඍජුව හෝ වක‍්‍රව දීම කියලා සංශෝධනය කරලා. ත‍්‍රස්තවාදී සංවිධාන කිව්වාම අපි දන්නවා ආණ්ඩුව ඒවා ගැසට් කරලා තියෙනවා. ත‍්‍රස්තවාදීන් කියන්නේ කාටද? දැන් ඒක නිර්වචනය කරන්නේ අධිකරණය. මොහාන් පීරිස් අගවිනිසුරුවරයා විසින් පත් කරනු ලබන විනිසුරු මඩුල්ලකින්. එහෙම කිව්වාම කාටත් තේරෙනවා. ආණ්ඩුව මීට කලින් සරසවි ආචාර්යවරුන්ට ත‍්‍රස්තවාදීන් කිව්වා. සරසවි සිසුන්ට ත‍්‍රස්තවාදීන් කිව්වා. ධීවරයින්ට ත‍්‍රස්තවාදී බළල් අත් කියලා කිව්වා. මාධ්‍යවේදීන්ට කොහොමත් කියන්නේ ත‍්‍රස්තවාදීන් කියලා. නීතිඥයින්ටත් විනිසුරුවරුන්ටත් ත‍්‍රස්තවාදීන් කියලා පෝස්ටරයකුත් ගහලා තිබුණා. ඒ වගේම මුදල් හෝ ද්‍රව්‍යමය සම්පත් වක‍්‍රාකාරයෙන් දීම කියන එක නිර්වචනය කරලා නැහැ. ඒකත් නිර්වචනය කරන්නේ අධිකරණය. කලින් පනතේ තිබුණා මානුෂික හේතු මත යමෙකුට කරන ආධාරයක් මීට අදාළ නැහැ කියලා. මේ සංශෝධන මගින් ඒකත් ඉවත් කරලා තියෙනවා. දැන් මේ හදන්නේ ත‍්‍රස්තවාදයට මුවා වෙලා මර්දනය දියත් කරන්න.

ආණ්ඩුව නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ සිදු කරමින් ඉන්නවා. ස්වාභාවික සම්පත් ජනතාවගෙන් ඉවත් කොට පෞද්ගලීකරණය කරමින් ඉන්නවා. ජල සම්පත පෞද්ගලීකරණය කරන්න උත්සාහ කරමින් ඉන්නවා. වයඹ පලාත් සභාවට ඉදිරිපත් කර තිබෙන ජල ප‍්‍රඥප්තිය හැමෝම කියවනවා නම් හොඳයි. ඒකේ තියෙනවා ජලයේ අයිතිය පෞද්ගලික සමාගම්වලට දෙන්න පුළුවන් කියලා. ජලය පරිහරණය කරනවාට ගොවියාගෙන් මුදල් අය කරන්න පුළුවන් කියලා. ගොවිතැනට ලබා ගන්නා ජලයට කරන ගෙවීම මුදලින් හෝ අස්වැන්නෙන් කරන්න පුළුවන් කියලා. ඊළඟට අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ පනත සම්මත කර ගන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ගිය අවුරුද්දේ එස්.බී. දිසානායක ඇමතිවරයා කිව්වේ සිසුන් පන්දාහක් එලවලාහරි සම්මත කර ගන්නවා කියලා. නමුත් සිසුන්ගේ විරෝධය නිසා කර ගන්න බැරි වුණා. දැන් කියනවා ඉන්න ඔක්කොම එලවලා හරි සම්මත කර ගන්නවා කියලා. ශාඛ සම්පත විකුණන්න, සියලූම කෘෂි යෙදවුම්, බීජ ඇතුලු සියල්ල පෞද්ගලීකරණය කරන්න අවශ්‍ය නීති සම්මත කර ගන්න උත්සාහ කරමින් ඉන්නවා.

සමහරු හිතාගෙන ඉන්නවා, අපේ ප‍්‍රශ්න ඇමරිකාව හරි වෙන කෙනෙක් හරි ඇවිත් විසඳයි කියලා. එහෙම කවුරුවත් ඇවිත් විසඳන්නේ නැහැ. ධනපති ක‍්‍රමය රාජපක්ෂ පාලනයෙන් ඉල්ලනවා ක‍්‍රමය රැක ගන්න කියලා. රාජපක්ෂලා ධනපති ක‍්‍රමයෙන් ඉල්ලනවා, අපි ක‍්‍රමය රැක ගන්නම් ඒ වෙනුවෙන් අපි කරන ඕනෑම ම්ලේච්ඡකමක් ඉවසා ඉන්න කියලා. ඒක ඔය අධිරාජ්‍යවාදීන් දන්නවා. මහින්දගේ සහෝදරයා කියනවා කොළඹින් ලක්ෂ හතක් ජනතාව එළවලා දාලා කොළඹ බහුජාතික සමාගම්වලට දෙන්නම් කියලා. ඉතිං තවත් මොනවද? ඇමරිකාව ඇවිත් අපිව බේර ගන්නේ නෑ. ජනතාව නැගී සිටින්න ඕන.

 මේ තිබෙන්නේ බොනපාට්වාදී පාලනයක්. පෝස්ටරය දැකලා අපෙන් සමහරු ඇහුවා සහෝදරයා බොනපාට් කියන්නේ ලොක්ක රෑට රෑට ෂොට් එක දානවාද කියලා. මේ කියන්නේ එහෙම බොනපාට් එකක් නොවෙයි. බොනපාට් රාජ්‍යයක ලක්ෂණ හැම එකක්ම මේ පාලනයේ තියෙනවා. ඉතිහාසයේ ඇති වුණු බොනපාට් පාලන අඩුම තරමින් ඒ අවස්ථාවට අනුව යුක්තිසහගතයි. නමුත් මේ පාලනයේ එහෙම එකම යුක්තිසහගත ලක්ෂණයක්වත් නෑ. දැන් ජනතාව හිතන්න අවශ්‍ය නෑ. දැන් තියෙන්නේ මාධ්‍ය සමාජයක්. මාධ්‍ය ජනතාව වෙනුවෙන් හිතනවා. ඒකට පඩි ගන්න මහින්ද අබේසුන්දරලා, බන්දුල පද්මකුමාරලා ඉන්නවා. එයාලා හිතලා අපට කියනවා. අපි හිතන්න ඕන නෑ. අපි කියන්නේ ජනතාවට හිතන එකත් අනුන්ට බාර දෙන්න එපා, හිතන්න කියලා.
මේ ප‍්‍රශ්නය හමුවේ එක්සත් ජාතික පක්ෂය කරන්නේ බලා ඉන්න එක. එයාලාගේ දේශපාලනය බලා ඉන්න එක. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ඝෝෂා කරන එක. එයාලා ඝෝෂා කරනවා. මේ නිහඬව බලා ඉන්න එකෙනුයි, ඝෝෂා කරන එකෙනුයි වාසිය අරගෙන ආණ්ඩුව තමන්ගේ ඒකාධිපති බොනපාට්වාදී ගමන යනවා.

ඒ නිසා අපි ආරාධනා කරනවා බොනපාට් ආණ්ඩුවට විරුද්ධව සංවිධානය වෙන්න. විපක්ෂයේ ගොංපාට් ඉදිරියේ රැවටෙන්න එපා. වෘත්තිය සමිතිවලට, වාමාංශික සංවිධානවලට අපි ආරාධනා කරනවා, මීට නායකත්වය දෙන්න. එකට එකතු වෙලා වැඩ කරන්න බැරි යම් යම් ගැටලුතියෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් වෙන් වෙන්ව වැඩ කරමු.

ඡායාරූ : අජිත් සෙනෙවිරත්න

Gossip Lanka Hot News Previous News Archive