කුඩා රථ ගිලෙද්දී BMW අලෙවිය 281% කින් නගී !

වාහන බදු වැඩි නිසා කුඩා මරුටි/සුසුකි මාදිලියේ මෝටර් රථ අලෙවිය 2013 ජනවාරි මාසයේදී 2012 අදාළ කාලයට සාපේක්ෂව සියයට 84 කින් පමණ අඩුවී තිබෙද්දී සු‍ඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. රථ අලෙවිය සියයට 281 කින් පමණ වැඩිවී තිබෙන බව නවතම දත්ත අනාවරණය කරයි.

ජේ.බී. සිකියුරිටීස් කොටස් තැරැව්කාර සමාගම විසින් එළි දක්වා තිබෙන මෙරට වාහන ලියාපදිංචියේ මාසික දත්ත මගින් මෙම කරුණු හෙළිවේ.මේ අනුව, නවතම සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. රථ 84 ක් පසුගිය ජනවාරි මාසයේදී ලියාපදිංචි වී තිබෙන අතර 2012 ජනවාරි මාසයේදී ලියාපදිංචි වී තිබුණේ එවැනි රථ 22 කි.මේ අතර, 2013 ජනවාරි මාසයේදී නවතම මර්සිඩීස් බෙන්ස් සුඛෝපභෝගී රථ අලෙවියද ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 109 කින් වර්ධනය වී එවැනි මෝටර් රථ 23 ක් අලෙවි වී තිබේ.මේ අතර, මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ සාමාන්‍ය ජනතාව භාවිතා කරන මෝටර් රථ ලියාපදිංචිය පසුගිය ජනවාරි මාසයේදීද අඩුවී තිබෙන බවයි.


බද්දේ සාධාරණත්වය

මෙරටට ආනයනය කළ වාහන ප්‍රමාණය විශාල ලෙස වැඩිවී මෙරට ආනයන බිල දැවැන්තව ඉහළ යාම හමුවේ 2012 පළමු කාර්තුවේදී රජය විසින් මෝටර් රථ ආනයන සීමා කිරීම සඳහා බදු විශාල ලෙස ඉහළ දැමීය.

එතැන් සිට සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා මෝටර් රථවල ඉල්ලුම විශාල ලෙස අඩුවූ අතර මේ නිසා මෙරට ආනයන වියදම් අඩුවීමට එය හේතුවක් විය.කෙසේවෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා පැවසුවේ පසුගිය වසරේදී මෙරට බලාපොරොත්තු වූ තරම් රාජ්‍ය ආදායමක් උපයා ගැනීමට නොහැකි වූ බවත් ලංකාවේ රාජ්‍ය ආදායම ප්‍රාග්ධන වියදම් ඉහළ දැමීම සඳහා ප්‍රමාණවත් නොවන බවයි.මෙම රාජ්‍ය ආදායම් අඩුවීම සඳහා කුඩා වාහන ආනයන අඩුවීමද හේතුවකි.

කෙසේවෙතත්, බී.එම්.ඩබ්ලිව්., මර්සිඩීස් බෙන්ස් වැනි සුඛෝපභෝගී රථවල ඉල්ලුම බදු වැඩිකිරීම නිසා අඩුවී නොමැත.මෙයින් පෙනී යන්නේ මෙම බද්දෙන් වැදී තිබෙන්නේ සාමාන්‍ය ජනතාවට බවත් එහි සාධාරණත්වය පිළිබඳ යම් ප්‍රශ්නයක් තිබෙන බවයි

- Sri Lanka BMW registrations up 281-pct in Jan after tax changes

Gossip Lanka Hot News Previous News Archive