ආණ්ඩුව තෙල් ආනයනය ජාවාරමක් කරගෙන - JVP

 "ආණ්ඩුව තෙල් ආනයනය ජාවාරමක් කරගෙන රුපියල් 120ට දෙන්න පුලුවන් පෙට‍්‍රල් ලීටරය වෙළඳපොලේ රුපියල් 162ක් බවට පත්කර ඇති බවත් ආණ්ඩුවේ නාස්තිකාර වියදම් පියවගැනීම සඳහා මෙසේ තෙල් මිල ඉහළ දමා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ ආණ්ඩුව ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ජවිපෙ මතය පැහැදිළි කිරීම සඳහා අද (24) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.
  එහිදී විජිත හේරත් මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළ වේ. 
"ආණ්ඩුව පෙරේදා මධ්‍යම රාති‍්‍රයේදී ඞීසල්, පෙට‍්‍රල් මිල ඉහළ දැම්මා. ඒ සමඟ රටේ ආර්ථිකයට විශාල තර්ජනයක් එල්ල වෙලා තිබෙනවා. ආණ්ඩුව දිගින් දිගටම කියන්නේ රටේ ආර්ථිකය ශක්තිමත්, ජනතාවගේ ආදායම වැඩිවෙලා, උද්ධමනය අඩුවෙලා, විදෙස් රටවලින් ණය අවශ්‍ය නැහැ කියලා.
ඒ තරමට රටේ ආර්ථිකය යහපත් වෙලා කියලයි ආණ්ඩුව කියන්නේ. එහෙම කියන ආණ්ඩුව මධ්‍යම රාතී‍්‍රයේදී භාණ්ඩවල මිල ඉහළ දමනවා. ඇත්තටම මේක ජනතාවට නම් ආශ්චර්යයක්. උදේ වෙනකොට තෙල් මිල ඉහළ නැගලා. ආණ්ඩුව දැන් අයවැය නැතිව නිතර බඩුමිල සේවා ගාස්තු වැඩි කරනවා.

                              රටේ ආර්ථිකය හොඳනම් මේ විදියට තෙල් මිල වැඩිකරන්නේ කොහොමද? ඒ නිසා ඊට හේතුව රටේ ආර්ථිකය ඉතා වේගයෙන් කඩා වැටෙමින් තිබීමයි. පැලැස්තර විසඳුම්වලින් ගොඩගන්න බැරි තරමට ආර්ථිකය කඩා වැටිලා. පසුගිය කාලයේ මහින්ද රාජපක්‍ෂ පාලනය නිෂ්පාදනය වැඩිකළේ නැහැ. සහල් ආනයනය සඳහා රුපියල් මිලියන 2,000ක් වෙන් කරලා තිබෙනවා. රට වටේ මුහුද තිබියදීත් කුඹුරුවලත් මාලු හදන්න ඉඩ දෙනවා. මාලු ආනයනය සඳහා රුපියල් මිලියන 16,000ක් වියදම් කරනවා. කිරිපිටි ගෙන්වීමට, රුපියල් මිලියන 37,000ක් ද, සීනි ඇමති කෙනෙක් ඉන්න රටේ සීනි ගෙන්වීමට රුපියල් මිලියන 47,000ක් වෙන් කරනවා. යුද්ධය අවසන් වී තිබෙන රටක කෘෂි, කාර්මික නිෂ්පාදන ඉහළ දමන්න පුලුවන්කම තිබියදී සියලු නිෂ්පාදන ආනයනය කරන තත්වයක් උදාකරලා තිබෙනවා. 

                              රාජපක්‍ෂ පාලනයේ නිෂ්පාදනයක් නොමැතිවා සේම ජනතාවට සාධාරණ ලෙස බෙදීයාමක් නැහැ. ආණ්ඩුව කළේ මූල්‍ය අරමුදලින් ණය ලබාගන්න එක පමණයි. ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසිවලට යටවෙලා අධ්‍යාපනය, සෞඛ්‍ය පෞද්ගලික අංශයට ලබාදෙන්න කටයුතු කරමින් ඉන්නවා. සපිරි පාසැල් ව්‍යාපෘතිය එන්නේ ඒ විදියට. දෙමව්පියන්ගේ දැඩි විරෝධතා මැද එම ප‍්‍රාථමික පාසැල් වසා දැමීමේ කි‍්‍රයාවලිය සිදුකරමින් ඉන්නවා. පැසැල්වල නඩත්තු කටයුතු සඳහා දෙමව්පියන්ගෙන්, ආදි ශිෂ්‍යයින්ගෙන් මුදල් අයකරමින් ඒ සඳහා චක‍්‍රලේඛ නිකුත් කරමින් ඉන්නවා. ජාත්‍යන්තර ණය අරමුදලේ කොන්දේසි අනුව අධ්‍යාපනයට වෙන්කරන ප‍්‍රතිපාදන මේ වන විට 1.56% දක්වා අඩුකළා. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ගේන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම තමයි සෞඛ්‍ය අමාත්‍යංශයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණය ආධාර ලබාදීමේ පොරොන්දුවක් තිබෙවා. ඒ සඳහා කොන්දේසි වන්නේ සෞඛ්‍ය සේවය පෞද්ගලික අංශයට ලබාදීම සඳහා ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම. 2009 ජූලි 16වනදා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 2.6ක ණයක් ගන්න ගිවිසුම් අත්සන් කළා. කොන්දේසි වුණේ නව බදු ක‍්‍රමයක් සකස් කිරීම හා බදු ආදායම් පුළුල් කිරීමයි. ඒ අනුව ආණ්ඩුව බදු කොමිසමක් පිහිටෙව්වා. 

                           ඒ වගේම එම ගිවිසුමේ ලංකා විදුලිබල මණ්ඩලය සහ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් යම් යම් කොන්දේසි අඩංගුවී තිබුණා. මුදල් අමාත්‍යංශය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධානියා වූ සටවුට් කාන්ට යැවූ ලිපියේ මේ සම්බන්ධ කරුණු අන්තර්ගත වෙලා තිබුණා. 2008 විදුලි ගාස්තුව 35%කින් වැඩිකර තිබුණේ ඒ කොන්දේසි අනුවයි. ඊනියා අධිරාජ්‍ය විරෝධයක් ගැන කියන ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම් අනුව විදුලි පනත ගෙනාවා. දැන් නැවත සංශෝධන සහිතව විදුලිබල කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මාස ගණනක් ශී‍්‍ර ලංකාව තුළ හිඳිමින් ආණ්ඩුවේ බළධාරීන් සමඟ කළ සාකච්ඡාවල ප‍්‍රථිපල තමයි මේවා. මේ සැරේ ණය මුදල් ගන්නේ නැහැ කියලා ආණ්ඩුව පම්පෝරි ගහනවා. නමුත් ඇත්ත කතාව ආණ්ඩුවේ නිළධාරීන් පිරිසක් නිව්යෝක් ගියා. අරමුදලේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කළා. නමුත් ඔවුන් අයවැය හිගය පියවාගන්න ණය දෙන්න බැහැ කිව්වා. මෙවර මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ආපසු යනවිට මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළා. 

                       එම නිවේදනයේ විදුලිබල මණ්ඩලය සහ තෙල් සංස්ථාව ගැන කරුණු සඳහන් වෙනවා. මේ ආයතන පිළිබඳ සාකච්ඡා කරලා එම ආයතනයන්ගේ පිරිවැයට සාපේක්‍ෂව කටයුතු සිදුකරන්න කියලා උපදෙස් ලබාදී තිබෙනවා. මෙවර තෙල් මිල ඉහළ ගියේ ඒ කොන්දේසි අනුවයි. නැතිව මේ තෙල් මිල වැඩිකරන්නේ ජමියතුල් උලමා සංවිධානය නෙමෙයි. ඊට හේතු දෙකක් තිබෙනවා. එකක් ඩොලර් බිලියන එකක ණය ලබාගැනීමේ අරමුණින් මූල්‍ය අරමුදලේ කොන්දේසි කි‍්‍රයාත්මක කිරීම. අනික ආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාවය හා නාස්තිකාර වියදම් පියවා ගැනීමට. ආණ්ඩුව පහුගිය කාලයේ හෙජින් ගිවිසුමෙන් විශාල මුදුල් ප‍්‍රමාණයක් නාස්ති කළා. එහි අලාභය ගෙවන්න සිදුවුවහොත් තෙල් සංස්ථාවට අත්වන ඉරණම හිතාගන්නත් අමාරුයි. ඊට අමතරව ආණ්ඩුව බාල තෙල් ගෙන්වලා විශාල පාඩුවක් සිදුකළා. අනෙක් පැත්තෙන් ලංකාවට ලිහිසි තෙල් ගෙන්වීමෙන් සහ ෂෙඩ් වලට අවශ්‍ය පොම්ප ආනයනයෙන් විශාල කොමිස් ජාවාරමක් සිදුකළා. වත්මන් ඇමතිවරයාට එම ආනයන කි‍්‍රයාවලිය නැවැත්වීමට සිදුවුණා. එම අතයට ගනුදෙනුවලින් රටට විශාල පාඩුවක් සිදුවුණා.
 
                         මිහින් ලංකා 2010 වනවිට කෝටි 681,066ක පාඩුවක් සිදුකර තිබෙනවා. ආණ්ඩුවේ මෙම නාස්තිකාර වියදම් දැන් ජනතාව මත පටවමින් තිබෙනවා. විවාහ සහතිකය 1,000 සිට 5,000 දක්වා වැඩිකරන්න සිදුවන්නේ ඒ නිසයි. මරණ සහතිකය 1,000 සිට 2,000 වන්නේ ඒ අනුවයි. පල්ලියේ විවාහයේ මුද්දර ගාස්තු 25 සිට 750 දක්වා වැඩිවන්නේ ඒ අනුවයි. ලංකාවට ගොඩබාන පෙට‍්‍රල් ලීටරයක සාමාන්‍ය මිල රුපියල් 84.18ක්. ඒ සඳහා අයකරන පැල් ගාස්තු වශයෙන් රුපියල් 14.21ක්, වරාය ගාස්තු රුපියල් 2.31ක් නිෂ්පාදන ගාස්තු රුපියල් 25ක්, එකතුවූ විට පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 115.71ක් වෙනවා. ඒ සඳහා තෙල් සංස්ථාවේ ලාභය සහ අනෙකුත් සේවා ගස්තු සමඟ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 125කට වෙළඳපොලට නිකුත්කරන්න පුළුවන්කම තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසය වනවිට එම වියදමම සලකා බැලුවහොත් පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 120ක මුදලකට නිකුත්කළ හැකියි. ඇත්තෙන්ම ආණ්ඩුව පිරිපහදුව සිදුකරනවා නම් මෙම වියදම තවත් අඩුකළ හැකියි. නමුත් දැන් පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 162යි.

                       ආණ්ඩුව රුපියල් 40ක පමණ අමතර ලාභයක් ලබනවා. සාමාන්‍යයෙන් අපේ රටේ මාසික තෙල් පරිභෝජනය ලීටර් මිලියන 80ක්. ඉන් 80%ක් පමණ තෙල් සංස්ථාව නිකුත්කරන අතර 20% ක් පමණ අයි. ඕ. සී. සමාගම නිකුත් කරයි. ඒ අනුව ආණ්ඩුව පෙට‍්‍රල් විකිණීමෙන් රුපියල් මිලියන 2,560ක අමතර ලාභයක් ලබනවා. මෙහි තිබෙන බරපතලම ගැටළුව වන්නේ අයි. ඕ. සී. සමාගම ඉතා අධික ලාභයක් ලැබීමයි. ආණ්ඩුව අයි. ඕ.සී. සමාගට ලබාදී තිබෙන පහසුකම් නිසා එම සමාගමට පෙට‍්‍රල් ලීටරයක් සඳහා යන වියදම අඩුයි. අයි. ඕ.සී. සමාගම පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 45ක වැඩිපුර ලාභයක් ලබනවා. ඒ නිසයි ඔවුන් වැඩිපුර පෙට‍්‍රල් අලෙවිකරනු ලබන්නේ. ආණ්ඩුව දිගින් දිගටම කියන්නේ විදුලිබල මණ්ඩලයේ පාඩුව මකාගන්න විදුලිබල මණ්ඩලයට සහන මිලට ඉන්ධන ලබාදෙන බවයි. 

                   තෙල් සංස්ථාව පාඩු ලබනවා කියමින් ආණ්ඩුව අනෙක් පැත්තෙන් සිදුකරන්නේ තෙල් මිල ඉහළ දමමින් තෙල් සංස්ථාවේ පාඩුව ජනතාව මත පැටවීමයි. මෙහි අනෙක් බරපතල කරුණ වන්නේ විදුලි බල මණ්ඩලය පාඩු ලබනවා කියමින් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් අයි. ඕ. සී. එක මිලියන 800ක පමණ අමතර ශුද්ධ ලාභයක් ලබාගැනීමයි. මොකද අයි. ඕ. සී. එකෙන් විදුලිබල මණ්ඩලයට සහන මිලට ඉන්ධන ලබාදෙන්නේ නැහැ. ඉන්දියානු සමාගමෙන් කොමිස් ලබාගැනීම සඳහා කරන අතයට ගනුදෙනුවක් මේ. මේක තමයි රහස. ලංවීම පාඩු ලබනවානම් එයට මැදිහත්විය යුත්තේ මහා භාණ්ඩාගාරයයි. එහෙම නැතිව එම පාඩුව තෙල් සංස්ථාවට විතැන් කිරීම ආණ්ඩුව කරන මෝඩ වැඩක්. ඒ වගේම නොවැම්බර් මාසය වන විට මෙරටට ගොඩ බාන ඩීසල් ලීරටයක මිල රුපියල් 93.31කි. ඒ සඳහා වරාය ගාස්තු, නිෂ්පාදන ගාස්තු, තෙල් සංස්ථාවේ අනෙකුත් වියදම් සහ ලාභය එකතුකළ විට ඩීසල් ලීටරයක් රුපියල් 108කට වෙළඳපොලට නිකුත්කරන්න පුළුවන්. දෙසැම්බර් මාසයේ ඩීසල් ලීටරයක ආනයන මිල රුපියල් 103.93 දක්වා මඳක් වැඩිවුණා. නැවත ජනවාරි මාසයේ එය රුපියල් 93.53 දක්වා අඩුවුණා. ඒ කරුණු සැලකිල්ලට ගෙන ඩීසල් ලීටරයක දළ අගය රුපියල් 112ක් පමණ වෙනවා. එහෙම තිබෙද්දී ආණ්ඩුව රුපියල් 6ක පමණ අමතර ලාභයක් ලබනවා. ඒ වගේම ආණ්ඩුව පී. වී. කියන විදේශ සමාගම ලොකු වංචාවක් තිබෙනවා. 

ආණ්ඩුව සමහර සමාගම් සමඟ දීර්ඝ කාලීන කොන්ත‍්‍රාත්තුවලට අත්සන් තබනවා. ඒ අනුව ලෝක බැංකුවේ තෙල් මිල අඩු වුවත් ඊට වඩා වැඩි අගයන්වලට තෙල් ආනයනය කරන්න ආණ්ඩුවට සිදුවෙනවා. පසුගියදා පී.වී. කියන සමාගම සමඟ අත්සන් කළ ගිවිසුමට අනුව ඩොලර් 765.9ක් වූ තෙල් බැරලය ආණ්ඩුව ගෙන්වන්නේ ඩොලර් 1007.40ටයි. ඒ අනුව එක තෙල් බැරලයක් සඳහා ආණ්ඩුව ඩොලර් 24.142ක අලාභයක් සිදුකරගන්නවා. ආණ්ඩුව මේ වනවිට නැව් 6ක් එම කොන්ත‍්‍රාත්තුව අනුව ආනයනය කර තිබෙනවා. එයින් අප රට ලබා ඇති අලාභය ඩොලර් මිලියන 10ක් පමණ වෙනවා. මෙවැනි කරුණු නිසා තමයි ආණ්ඩුවට තෙල් මිල ඉහළ දමන්න සිදුවන්නේ. ආණ්ඩුව කොමිස්වලට, අල්ලස්වලට යටවෙලා තෙල් ආනයනය ජාවාරමක් බවට පත්වෙලා තිබෙනවා. මේ තෙල් මිල වැඩිවීමත් සමඟ හෙට අනිද්දාට බස් ගාස්තු, එළවලු මිල ඇතුලු සියලුම භාණ්ඩ හා සේවාමිල ඉහළ යනවා. ජීවන වියදම ඉහළ යනවා. 

මේ වනවිටත් පවුලක නඩත්තුවට යන වියදම රුපියල් 50,000 දක්වා වැඩිවෙලා. ජනතාව කබලෙන් ලිපට වැටිලා. ඉදිරියේදී විදුලි ගාස්තු වැඩිවෙන්න නියමිතයි. කෙළවරපිටිය විදෙස් සමාගමකට විකූණන්න පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා. නොරොච්චෝලේ බලාගාරය චීනෙට විකුණන්න යනවා. මේ ආකාරයට ආණ්ඩුවේ නාස්තිය, දූෂණය නිසා ආර්ථිකයට සිදුවන පාඩුව ජනතාව මත පටවමින් ගෙනයන එම පීඩාකාරී පාලනය වෙනස් කිරීම සඳහා මැදිහත් වන ලෙස ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා."

Gossip Lanka Hot News Previous News Archive