කටුගෙයි පඩිපෙළ කඩා වැටී ගුරු සිසු 38ක්‌ තුවාලයි

කොළඹ ජාතික කෞතුකාගාරයේ තරප්පු පෙළක් කඩාවැටීමෙන් අනතුරට ලක්වූ පාසල් සිසු සිසුවියන් 30 දෙනෙක් සහ ගුරු දෙගුරුන් 8 දෙනෙක් ඊයේ (28) කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළහ.අධ්‍යාපන චාරිකාවක් සඳහා කෞතුකාගාරය නැරඹීමට පැමිණි මේ සිසු දරු දැරියෝ හම්බන්තොට දඹරැල්ල මහා විද්‍යාලය, ගලගෙදර විද්‍යාගම මහ විද්‍යාලය හා අඹගස්දූව සුමනජෝති මහා විද්‍යාලයේ අය වෙති.

තම මවුපිය ගුරුවරුන් සමඟ කෞතුකාගාරය නැරඹීමට පැමිණි මේ සිසු සිසුවියෝ තරප්පු පෙළ දිගේ එහි දෙවැනි මහලට නැගීමේදී තරප්පු පෙළ ගැලවී ඔවුන් අඩි 40ක පමණ පහතට ඇද වැටී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ තරප්පු පෙළ මත සිසු දරු දැරියන් මෙන්ම ගුරු දෙගුරුන් 60ක් පමණ සිට ඇත.අනතුරින් පසු මේ සිසු දරු දැරියෝ කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කෙරිණි.රෝහල් ගත කළ තුවාලකරුවන්ට සුළු හා මධ්‍යම ප්‍රමාණයේ අනතුරු සිදුව ඇති බව කොළඹ ජාතික රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

මෙම හදිසි අනතුර හේතුවෙන් කොළඹ ජාතික කෞතුකාගාරය හෙට සිට තාවකාලිකව වසා දැමීමට කෞතුකාගාර පාලන අධිකාරිය තීරණය කර ඇත.







Gossip Lanka Hot News Previous News Archive