ඔබේ අත ඔබම බලාගන්න 4 - Palm Reading

 ආදරය විවාහය හා මිනිස්‌කම ගැන කියන හෘදය රේඛාව
අත්ලක පිහිටි ප්‍රධාන රේඛාවල් අතරින් ජීවන, ශීර්ෂ රේඛාවන් පිළිබඳව විස්‌තර පසුගිය කලාපවල පළවුනා බවට මතක ඇති. මෙවර කලාපයෙන් විස්‌තර කරන්න අදහස්‌ කරන්නේ තවත් ප්‍රධාන රේඛාවක්‌ වන හෘදය රේඛාව පිළිබඳවයි. මේ සමඟ පළවන රූප සටහන බලා එය හඳුනාගන්න. ශීර්ෂ රේඛාවට ඉදිරිපසින් එනම් සුලඟිල්ලට පහළ ප්‍රදේශයේ සිට දබරගිල්ල දෙසට මෙම රේඛාව විහිද යයි.

මෙම රේඛාව ක්‍රම කිහිපයකින් අවසන් වෙයි. ඇතැම් අයගේ මෙම රේඛාව ශනි මණ්‌ඩලයෙන් (මැදගිල්ලෙ මුල) අවසන් වෙන අතර තවත් විටෙක මෙය පහළට නැමීවද පවතියි. කෙසේ වුවද හෘදයේ තත්ත්වය පිළිබඳව තොරතුරු හෙළිකරන සුවිශේෂ බැවින් මෙය හෘදය රේඛාව වශයෙන්a නම්කර ඇත.
මේ මගින් හෘදයේ ලේ ගමනා ගමනය, ආදරය, විවාහය, කරුණාව, දයාව, චින්තවේග ආදී මානුෂික හැඟීම් ප්‍රකට කරයි. සමහර අයගේ මෙම රේඛාව නොමැතිවීමටද හේතු ඇත. මෙය පිහිටා නොමැති අයගේ සිත්වල සෙනෙහස, අනුකම්පාව අඩුය. ආත්මාර්ථකාමී බව, කෝපසහගත බව, දුෂ්ට බව ඔවුන් තුළින් දැකිය හැක. එසේම මෙම රේඛාවේ දිග, පළල, ගැඹුර, වර්ණය ආදිය ගැන ද සැලකිලිමත් විය යුතුය. හොඳ හෘදය රේඛාවක්‌ පිහිටියේ නම් හොඳ පෞරුෂයක්‌ හොඳ සෞඛ්‍යයක්‌a, හොඳ ආකල්ප වැනි හැමදේම පවතී, හෘදය රේඛාව ප්‍රමාණයටත් වඩා ඉහළට ගියවිට මණ්‌ඩලවල ශක්‌තිය අඩුකරයි. මණ්‌ඩල යනු ඇඟිලිමුල ප්‍රදේශයයි. ඒ පිළිබඳ පසු ලිපිවලින් ඔබට දැනගත හැකිය. මේ අයුරින් රේඛාව පිහිටිවිට ඔවුන් තුළ ඊර්ෂයා සහගත බව හා දරුණු ස්‌වභාවයක්‌ පෙන්නුම් කරයි. එමෙන්ම වැඩි පෙම් සබඳතාවයක්‌ද ඇතිකර ගනී.

එසේම මෙම රේඛාව පමණට වඩා පහත්වීමද අයහපත්. එසේ වූ විට ආත්මාර්ථකාමී බව, කලබලකාරී බව ඔවුන් තුළින් දැකිය හැක. හෘදය රේඛාව ගුරු මණ්‌ඩලය මතදී බෙදී ගොස්‌ තිබේ නම් එය ඉතා වාසනාවන්ත පිහිටීමකි. මෙවැනි ලකුණ ඇති ඔහු හෝ ඇය ඉතාමත් සැනසිලිදායක ජීවිතයක්‌ ගතකරයි. අවංක හදවත්a ඇති ඔවුන් සමාජය අතර ජනප්‍රිය වේ. හැමවිට සිනාමුසු මුහුණින් කල් ගෙවන ඔවුන් හැමවිටම අන් අයට උදව් උපකාර කිරීමටද පසුබට නොවේ. එවැනි අය පහසුවෙන්ම පෙම් සබඳතාවයන්ට පැටලේ. හෘදය රේඛාව ගුරු මණ්‌ඩලය මතදී අතු තුනකට බෙදී නම් වාසනාවන්තය. විවාහයක්‌ සිදුවීමට සලකුණකි. එමගින් වාසනාවන්ත දරුවන් ලැබීමටද හේතුවේ. මෙම රේඛාව මගින් කෙනෙකුගේ ආයුෂ ප්‍රමාණයද කිව හැකි බැව් පැරණි පොත්වල සඳහන්ය. හෘදය රේඛාව කෙටි නම් ආයුෂ කෙටි බව කියෑවේ.

හෘදය රේඛාව බුධ මණ්‌ඩලය මතදී දූපත් ලකුණකින් අවසාන වේ නම් හෘදයාබාධයකින් මියයැමට හේතුවෙයි. බොහෝවිට එවැනි අය ලේ කැටි ගැසීමේ රෝගයකින්, කොලොස්‌ටරෝල් වැඩිවීමක්‌ තිබේ නම් එවැනි ලකුණු ඇති අය ලේ පරීක්‍ෂාකර ගැනීම වැදගත්ය. මෙම රේඛාවේ සිට අතු රේඛාවක්‌ බුධ මණ්‌ඩලයට වැටී තියේනම් එය දික්‌ කසාදයක පෙර නිමිත්තකි. ස්‌ත්‍රීන් හට මෙම ලකුණ විශේෂයෙන් බලපවත්වයි. ඒ කුඩා රේඛාවට සුළගිල්ලේ මැද පුරුකට විහිද ගොස්‌ කොක්‌කක්‌ ලෙස අවසාන වී තිබේ නම් කුඩා කාලයේදී කකුල්වල අංගවිකල භාවයක්‌ ඇතිවේ. පෝලියෝ රෝග සෑදෙන අයගේ අත්වල මෙම සලකුණ බොහෝවිට දැකිය හැක.

හෘදය රේඛාව ශාඛා සමූහයකින් ඇරඹීම වන්නේ නම් හෙතෙම ස්‌ථිර ආදරයක්‌ නොදක්‌වන කපටි පුද්ගලයෙක්‌ වෙයි. එය කඩින් කඩ වී පැවැතියේ නම් විකෘති කාමාශාවන්ගෙන් යුතු අයෙකි. හෘදය රේඛාව ශනි මණ්‌ඩලය අසලදී ශීර්ෂ රේඛාව ජේදනය කරන්නේ නම් නොගැලපෙන අයෙකු සමඟ විවාහවීමට සිදුවනු ඇත. බොහෝ විට විවාහය අසාර්ථකවනු ඇත. සිකුරු මණ්‌ඩලයේ (මහපටගිල්ල මුල) සිට ඇදී එන රේඛාව ජීවන, ශීර්ෂ සහ හෘදය රේඛාවන් ජේදනය කරමින් බුධ මණ්‌ඩලය කරා ගියේ නම් එම පිහිටීමද විවාහයක්‌ දික්‌කසාද වීමට හේතු වෙයි. හෘදය රේඛාවත් ශීර්ෂ රේඛාවත් ජේදනය වේනම් දරු සම්පතක්‌ පිළිබඳ මහත් දුකකට පත්වීමට සිදුවේ.

 තවද හෘදය රේඛාවේ බාධක, කැඩීම්, බිදීම් ආදිය වෙත්නම් ආදර සම්බන්ධතා බිඳ වැටෙන අතර ඒ සඳහා විවිධ ප්‍රශ්න මතුවෙයි. විවාහ වුවත් එම ජීවිතය අසාර්ථකවේ. අනියම් සම්බන්ධතා ඇතිවීම එයට හේතුවිය හැක. දඹරඟිල්ල සහ මැදඟිල්ල දෙසට නැවීගිය හෘදය රේඛාවක්‌ ඔබේ අතේ ඇත්නම් එය ඉතා වාසනාවන්තය. එවැනි අයකුගේ සිත් වෙනත් අයෙකුට ඇදී ගියහොත් ඔහු සැබැවින්ම කැපවී ආදරය කරයි.

විශේෂයෙන් මෙම සලකුණ කාන්තාවකට පිහිටියේ නම් සැබැවින්ම ඇය නැණවත්, ගුණවත්, උතුම් බිරිඳක්‌ වන අතර කාගේත් ආශිර්වාදය ලබයි. තම සැමියාට මෙන්ම තම දූ දරුවන්ටද සෙනෙහබර මවක්‌ වෙයි. මෙවන් බිරිඳක්‌ ලබන ස්‌වාමිපුරුෂයා මහා භාග්‍යවන්තය. මෙවැනි රේඛාවක්‌ ඇති පුරුෂයාද ඒ හා සමානය. බිරිඳට උතුම් ස්‌වාමිපුරුෂයෙක්‌ වෙන අතර දූ දරුවන්ට ආදරණීය පියෙකු වනු ඇත

පියතිලක ද අල්විස්‌
අංක 158 හිඹුටාන මුල්ලේරියාව නව නගරය
දිවයින පුවත්පත ඇසුරිනි

-සබැදි පුවත්-
1.ඔබේ අත ඔබම බලාගන්න 1 - Palm Reading
2.ඔබේ අත ඔබම බලාගන්න 2 - Palm Reading
3 .ඔබේ අත ඔබම බලාගන්න 3 - Palm Reading

Gossip Lanka Hot News Previous News Archive