ඔබේ අත ඔබම බලාගන්න 2 - Palm Reading

හස්‌ත රේඛා විද්‍යාව යටතේ පසුගිය කලාපයෙන් අත්ලක පිහිටන ප්‍රධාන රේඛා හයක්‌ පිළිබඳව හැඳින්වීමක්‌ කළා ඔබට මතක ඇති. මෙවර කලාපයේ සිට එම ප්‍රධාන රේඛාවන් පිළිබඳව එකින් එක විස්‌තර ඉදිරිපත් කිරීමටයි අපේ බලාපොරොත්තුව. ඒ අනුව අද ලිපියෙන් විස්‌තර කරන්නේ ජීවන රේඛාව පිළිබඳවයි.

දැන් ඔබේ අවධානය අත්ලේ රූප සටහන වෙත යොමු කරන්න. රූප සටහනේ ජී ජී වශයෙන් රේඛාවන් සලකුණු කර ඇත්තේ ජීවන රේඛාවයි. මෙම රේඛාව පීතෘ රේඛාව කියාත්, ආයුෂ රේඛාව කියාත් සමහරු හඳුන්වති. මෙහිදී අපි පාරම්පරික ක්‍රමයට එයට ජීවන රේඛාව කියා හඳුන්වමු. ජීවන රේඛාව ආරම්භ වන්නේ දබර ඇඟිල්ලේ මුල පිහිටන ගුරු (බ්‍රහස්‌පති) මණ්‌ඩලයෙනි. එය අවසන් වනුයේ සිකුරු මණ්‌ඩලය වට කරමින් කවාකාර ලෙස මැණික්‌ කටුව ප්‍රදේශයෙනි. ජීවන රේඛාවෙන් ආයු කාලය නිශ්චය කරන බව කියෑවෙන නමුත් මෙම රේඛාවෙන් ආයුෂ පමණක්‌ නොව තවත් බොහෝ කරුණු හෙළිකරන බව කිව හැකිය.
අත්ල හිමියාගේ ශරීර සෞඛ්‍යය, රෝගාබාධ ඒවා ඇතිවන කාල වකවානු, ජීවිතයේ ජයග්‍රහණ හා පරාජය ආදී සුවිශේෂී සිදුවීම් යනාදි බොහෝ දේවල් ජීවන රේඛාවේ පිහිටීම තුළින් පෙන්නුම් කරයි. ගුරු මණ්‌ඩලය අසලින් මෙම රේඛාව පටන්ගන්නා බැවින් ජිවිතයේ මුල් භාගය (ළමා කාලය) සංකේතවත් කරන්නේ ගුරු මණ්‌ඩලය අසල පවතින කොටසිනි. මෙම කොටස ඇතැම් අයගේ දම්වැල් ආකාරයෙන්ද සමහර විට රේඛාවේ දූපත් සලකුණු ආකාරයෙන්ද දැකිය හැක. ඒ අනුව හෙතෙම කුඩා කාලයේදී රෝග පීඩාදියෙන් දුකට පත්ව සිටි බව කියවෙයි. සමහර අයගේ ජීවන රේඛාව සහ ශීර්ෂ රේඛාව එකම තැනකින් පටන්ගෙන ඇත. එවැනි අය තර්කානුකූලව කතා කරන හොඳ බුද්ධියක්‌ ඇති අය වෙති.

මෙම රේඛා දෙක අතර සුළු පරතරයක්‌ පවතීනම් එවැනි අය ස්‌වාධීන, සාධාරණ අදහස්‌ දරන අය වන අතර ඔවුන් තමන්ගේ ක්‍රියා පිළිවෙළ නිශ්ශබ්දව ඉදිරියටම ගෙන යයි. එම රේඛා දෙක අතර ලොකු පරතරයක්‌ ඇත්තේ නම් ඒ අය ඉතා ඉක්‌මන්කාරී මෙන්ම අන් අය සමග අඩදබර කිරීමටද පෙළඹෙති. හදිසි ඉක්‌මන් තීරණ ගැනීමද ඔවුන් තුළින් පෙන්නුම් කරයි. ජීවන රේඛාවේ දිගින් පමණක්‌ කෙනෙකුගේ ආයුෂ මැනිය නොහැක. එහෙත් ශරීර ශක්‌තිය එහි පුළුල් බව දැන ගැනීමට හැකිය. පැහැදිලිව, ඝනව, කාවැද්දුණු රේඛාවෙන් ප්‍රබල ශරීර ශක්‌තියකින් යුක්‌ත බව පෙන්නුම් කෙරේ. ඔහුට දැඩි වෙහෙසකට වුවත් මුහුණදිය හැක. මෙවැනි අය රෝගී වුවත් ඉක්‌මණට සුවය ලබයි. ජීවන රේඛාව අඳුරු පැහැයෙන් යුතුව අපැහැදිලි ලෙස වැටී ඇත්නම් හෝ එයින් අතු පහළට විහිදී ඇත්නම් එවැනි අයගේ සෞඛ්‍යය එතරම් යහපත් නොවේ.

 මෙවැනි අයට යම් දෙයකට ඉදිරිපත් වීමට ඇති ශාරීරික හා මානසික ශක්‌තිය දුර්වලය. ඇතැම් අයගේ ජීවන රේඛාව චන්ද්‍ර මණ්‌ඩලය දක්‌වා දික්‌ව පිහිටයි. එවැනි අයට වැඩුණු දේහයක්‌ හිමිවන අතර උසින් වැඩි බවක්‌ද පෙන්වයි. මෙම රේඛාව කුඩාවට දුර්වලව පිහිටීම අසුබයි. එවැන්නෝ නිතර අසනීපවලට ලක්‌වෙන අතර අන්‍යයන්ද ප්‍රිය නොකරයි. ජීවන රේඛාව කැඩීම්, බිඳීම්, කැපීම් නොමැතිව දීර්ඝ ලෙස පිහිටියේ නම් ඔහු හෝ ඇයට නිරෝගී සැපවත් ජීවිතයක්‌ ගත කිරීමට හැකියි. රතු පැහැයෙන් යුතු ජිවන රේඛාව ශරීරයේ ඇති වේගවත් බව මෙන්ම ශක්‌ති සම්පන්න බව ප්‍රකට කරන අතර රෝස පැහැති වූ ජීවන රේඛාව මනා ශරීර සෞඛ්‍ය තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. කහ පැහැයෙන් යුතු රේඛාව දක්‌වන්නේ අලස ස්‌වභාවයෙන් යුතු ජීවිතයකි. සියුමැලි වූද, දුර්වර්ණ වූද ජීවන රේඛාව රෝගී තත්ත්වයක්‌ ඇති බවට සලකුණක්‌ වෙයි.

මෙම රේඛාවෙන් ලම්බාකාරව ඉහළට නැගෙන රේඛාව වාසනා රේඛාවයි. මෙය කෙනකුගේ ජීවිතයේ භාග්‍යය උදාවන කාලය පෙන්වයි. එම වයස්‌ සීමාව නිවැරැදිව කීමට නම් රේඛාව මැනිය යුතු වේ. ජීවන රේඛාවෙන් පහළට ගමන් ගන්නා රේඛා අශුභඵල ගෙන දෙයි. එමගින් ඉහත තත්ත්වයෙන් පසුබෑමක්‌ පෙන්නුම් කරයි. ඉහළට ගමන්ගන්නා රේඛා වැඩිවු තරමට සුබඵලද වැඩියෙන් උදාකරයි. සිකුරු මණ්‌ඩලයේ සිට ඇදී එන රේඛාවකින් ජීවන රේඛාව කැපීගිය හොත් දුක්‌ කරදර, හදිසි අනතුරු බාධා සතුරු වියවුල් ආදියට හේතු වේ.

ජීවන රේඛාවෙන් පටන්ගන්නා රේඛාවක්‌ රවි මණ්‌ඩලය වෙත යොමු වූයේ නම් ධනලාභ, කීර්ති ප්‍රශංසා, ගෞරවාදිය හිමිවෙන අතර මෙවන් රේඛාවක්‌ බුධ මණ්‌ඩලය වෙත යොමු වූයේ නම් ව්‍යාපාර දියුණුව ඇති වේ. ජීවන රේඛාවෙන් ඇරැඹුන රේඛාවක්‌ ගුරු මණ්‌ඩලය දක්‌වා විහිද ගියේ නම් උසස්‌ අධ්‍යාපනයෙන් ඉමහත් ප්‍රතිඵල ලබාගැනීමට වාසනාව හිමිවේ. සියලු අදහස්‌ ඉටුවේ. ස්‌ත්‍රියකගේ මෙවන් රේඛාවක්‌ පිහිටියේ නම් සුවිශේෂී පුද්ගලයෙකු සමග විවාහය සිදු වේ. විවාහය අතිශයින්ම වාසනාවන්ත වේ.


මුල්ලේරියාව හිඹුටානේ
පියතිලක ද අල්විස්‌
අංක 158, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය

-සබැදි පුවත්-
1.ඔබේ අත ඔබම බලාගන්න - Palm Reading


Gossip Lanka Hot News Previous News Archive